කුසල්ගෙන් ශතකයක්

664

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ “B” කොටසේ තරග කිහිපයක් අද (16) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

රජීව වීරසිංහ හා සොහාන් රංගික පන්දුවෙන් දස්කම් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග අද (15) ආරම්භ විය.

මීගමුව ක්‍රීඩා සමාජය හා ලංකන්ස් ක්‍රිකට් සමාජය

කදිරාන පිටියේ කාසියේ වාසිය දිනූ මීගමුව කණ්ඩායමට එදිරිව අද දිනය ආරම්භ කරන විට ලංකන්ස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 43ක් රැස් කරගෙන සිටියේය.

මීගමුව ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 223 පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ ලංකන්ස් කණ්ඩායම වෙනුවෙන් චානක රුවන්සිරි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 37ක් ලබාගෙනයි. ශෙහාන් වීරසිංහ, චනුර ප්‍රනාන්දු හා උමංග චතුරංග ඇතුළු මීගමුව ක්‍රීඩකයින් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ලංකන්ස් පළමු ඉනිම ලකුණු 136කට සීමා කරන ලදි.

ලකුණු 87ක පළමු ඉනිමේ වාසියක් ද අතැතිව සිය දෙවන ඉනිම ආරම්භ කළ මීගමුව ක්‍රීඩා සමාජය තරගයේ දෙවන දිනය වූ අද දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 156ක් ලබා ගන්නා ලදි. එහි දී දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ ආදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 63යි.

මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 223/10 (74): අමිල වීරසිංහ 70, ප්‍රමිත් ප්‍රනාන්දු 51, ලසිත් කෘෘස්පුල්ලේ 20, රජීව වීරසිංහ 5/43, නවීන් කවිකාර 4/55.

ලංකන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම  – 136/10 (52.1): චානක රුවන්සිරි 37, ශසින් ප්‍රනාන්දු 24, තුශිර මදනායක 24, නවීන් කවිකාර 21, ශෙහාන් වීරසිංහ 3/33, චනුර ප්‍රනාන්දු 3/41, උමංග චතුරංග 3/50.

මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 156/5 (48): ලසිත් කෘෘස්පුල්ලේ 63, අකීල් ඉන්හාම් 33*, ශෙහාන් වීරසිංහ 32*.


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන නාවික හමුදා කණ්ඩායම අද දිනය ආරම්භ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 6ක් ලබා ගෙන සිටියේය.

මාතලේ දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ වයස අවුරුදු 20ක් වන කුසල් එදුසූරිය නාවික හමුදා පිල වෙනුවෙන් වර්ණවත් පිතිකරණයක නිරත වූයේ අද දිනය සඳහා තවත් ශතකයක් එක් කරමිනි. අවසානයේ ඔහුව ලකුණු 104කට සීමා කිරීමට කුරුණෑගල තරුණ කණ්ඩායමේ පන්දු යවන්නන්ට හැකි විය. අමතරව සුපුන් ලීලාරත්න හා ඉශාන් අබේසේකර අර්ධ ශතක ලබා ගත්තේ නාවික ලකුණු පුවරුව තව තවත් සවිමත් කරමිනි. නොදැවී ක්‍රීඩා කරන ඉශාන් ලකුණු 62*යි.  තරගය වැලිසර දී පැවැත්විය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 253/10 (83.2): හශාන් ප්‍රභාත් 84, රුවන්ත ඒකනායක 43, කල්හාන් සිනෙත් 26*, සුදාර දක්ෂිණ 3/49.

නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම  – 402/9d (91.1): කුසල් එදුසූරිය 104, සුපුන් ලීලාරත්න 67, ඉශාන් අබේසේකර 62*, අසිත් වීරසූරිය 39, තරුශන් ඉද්දමල්ගොඩ 35, මොහොමඩ් අල්ෆර් 25, තුසිත් ද සොයිසා 8/137

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 06/3 (5.3):

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන දිනය වූ අද දිනය අවසානයේ සිය දෙවන ඉනිම දියත් කරන ගාලු ක්‍රිකට් සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 172යි.

ගාලු කණ්ඩායම වෙනුවෙන් චානක විජේසිංහ ලකුණු 36ක් ලබාගෙන ලකුණු 178ක් දක්වා ගිය ගමනේ වැඩිම ලකුණු ලාභියා විය. ඩිල්ශාන් කාංචන ලකුණු 28යි. පන්දු යැවීමේ සොහාන් රංගික ලකුණු 47ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 35ක් ලබාගත් රොස්කො තටිල් වන අතර, ඊට අමතරව බුද්ධික සඳරුවන් නොදැවී ලකුණු 31*ක් ලබා ගන්නා ලදි. රජිත ප්‍රියාන් ලකුණු 33ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් ගුවන් හමුදා පළමු ඉනිම බිඳ දැමීමට අවශ්‍ය වෙඩිමුරය දියත් කළේය. අවසානයේ ගුවන් හමුදා කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 163ක් පමණි.

සිය දෙවන ඉනිමට ඇරඹුම ලබාගත් ගාලු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් චානක විජේසිංහ අර්ධ ශතකයක් ලබා ගත්තේය. ඔහුගේ ලකුණු 51ට අමතරව රවීන් සේයර් ලකුණු 36ක් රැස්කර ගත්තේය. දිලීප් තාරක කඩුලු 3යි. දිනය අවසන් වන විට ගාලු ක්‍රිකට් සමාජය ගුවන් හමුදා පළමු ඉනිමට වඩා ලකුණු 187ක් පෙරමුණේ සිටියි.

ගාලු ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 178/10 (65): චානක විජේසිංහ 36, ඩිල්ශාන් කාංචන 28, සොහාන් රංගික 5/47.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම  – 163/10 (51.3): රොස්කො තටිල් 35, බුද්ධික සඳරුවන් 31*, උදයවංශ පරාක්‍රම 28, ලක්ෂාන් ප්‍රනාන්දු 28, රජිත ප්‍රියාන් 3/33, ගයාන් සිරිසෝම 3/50.

ගාලු ක්‍රිකට් සමාජය දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 172/7 (59): චානක විජේසිංහ 51, රවීන් සේයර් 36, ලසිත් ප්‍රනාන්දු 35, දිලීප් තාරක 3/14.

විශ්ව ප්‍රනාන්දුගෙන් දක්ෂ පන්දු යැවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන T10 සුපිරි ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම, මරත ඇරැබියන්ස් කණ්ඩායම සහ පක්ටූන්ස් කණ්ඩායම සමඟ…

පොලිස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය

අද උදෑසනම පානදුර පළමු ඉනිම ලකුණු 250කට සීමා වෙද්දී, එම පිල වෙනුවෙන් අද දිනය තුල අර්ධ ශතකයක් ලබා ගැනීමට ශස්රික පුස්සෙගොල්ලට හැකි විය. අවසානයේ ලකුණු 250කට සීමා වූ පානදුර ක්‍රීඩා සමාජයේ කඩුලු 5ක් දවා ගැනීමට නිමේශ් විමුක්ති සමත් විය.

අනතුරුව පිටියට පිවිසි සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් අකිල ලක්ෂාන් පිටිය සිසාරා සිය පිත්ත හැසිර වූයේ අර්ධ ශතකයක් ලබා ගනිමිනි. ඔහුගේ ලකුණු පුවරුව ලකුණු 87ක් වෙද්දී එයට නැවතුම් තිත තැබීමට ධනුෂ්ක බණ්ඩාර ඇතුළු පානදුර ක්‍රීඩා සමාජ පන්දු යවන්නන්ට හැකි විය. අවසානයේ පොලිස් පළමු ඉනිම ලකුණු 196කට සීමා විය.

පළමු ඉනිමේ ජයග්‍රහණයක මානසිකත්වය ඇතිව පිටියට පිවිසි පානදුර පිල දෙවන දිනය අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 22ක් ලබා සිටින්නේ පොලිස් ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමට වඩා ලකුණු 76ක් ඉදිරියෙන් සිටිමිනි.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 250/10 (91.2): කශිස් නවීඩ් 111, ශස්රික පුස්සෙගොල්ල 51, විශ්ව චතුරංග 38, නිමේෂ් විමුක්ති 5/62, කල්‍යාණ රත්නප්‍රිය 3/56.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 196/10 (61.1): අකිල ලක්ෂාන් 87, තරිඳු ඩිල්ශාන් 36, ධනුෂ්ක බණ්ඩාර 4/68, මොහොමඩ් රමීස් 3/31.

පානදුර ක්‍රීඩා සමාජ දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 22/0 (8): 

මෙම තරග සියල්ලම හෙට (17) තෙවන හා අවසන් දිනටත් ක්‍රියාත්මක වේ.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න