Kurunegala & Polgahawela into semi finals

ප්‍රිමියර් ලීග් කාන්තා පාපන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිහාරිය යූත්, කෝට්ටේ, කුරුණෑගල සහ පොල්ගහවෙල යන ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය ලිපි: මාරිස්ටෙලා සහ හමීඩ් විදුහල් අවසන් මහා තරගයට

A – කාණ්ඩය

තිහාරිය  ක්‍රීඩා සමාජය අනෙක් සියළු ක්‍රීඩා සමාජ අභිබවා මෙම කාණ්ඩයේ පළමු තැන හිමි කරගැනීමට සමත් විය. තිහාරිය කාන්තාවන් හට පළමුව ක්‍රීඩා කිරීමට මුණ ගැසුණේ ගනේමුල්ල ක්‍රීඩා සමාජයයි. එහිදී තිහාරිය ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවය සහ පිටිය තුළ ඔවුන්ගේ මනා කළමනාකාරිත්වය හේතුවන් එම තරගය ගෝල 1-0ක් ලෙස ජය ගන්නට තිහාරිය ක්‍රීඩා සමාජය සමත් විය.

හැටන් ෆෝඩයිස් ක්‍රීඩා සමාජයේ කාන්තා කණ්ඩායම හා මොරටුව DMFL ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයෙන් ගෝල 2-0ක් ලෙස ෆෝඩයිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරන ලදී.

හැටන් ෆෝඩයිස්  ක්‍රීඩා සමාජය හා තිහාරි ක්‍රීඩා සමාජය අතර තරගයේදී ප්‍රතිවාදී ෆෝඩයිස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ගෝල 10–00ක් ලෙස ප්‍රතිවාදීන් අසරණ කරමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට තිහාරිය ක්‍රීඩිකාවන් සමත් විය.

අවසන් තරගය ‍වූ ගනේමුල්ල ක්‍රීඩා සමාජය හා මොරටුව DMFL ක්‍රීඩා සමාජය අතර  තරගයේ ආධිපත්‍ය පතුරවමින් ගණේමුල්ල ක්‍රීඩා සමාජය ගෝල 13–00ක් ලෙස ජයග්‍රහණය කලේය.

B – කාණ්ඩය

මෙම කාණ්ඩය යටතේ කණ්ඩායම් 4ක් ක්‍රීඩා කිරීමට නියමිත වූ නමුත් කෝට්ටේ ක්‍රීඩා සමාජය, අම්බලන්ගොඩ ක්‍රීඩා සමාජය හා රත්නපුර ක්‍රීඩා සමාජය යන කණ්ඩයම් 3 පමණක් තරග කරන ලදි.

එහිදී කෝට්ටේ ක්‍රීඩා සමාජය හා අම්බලන්ගොඩ ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය ගෝල 5–0ක් ලෙස කෝට්ටේ ක්‍රීඩිකාවන් ජය ගන්නා විට අම්බලන්ගොඩ ක්‍රීඩා සමාජය විසින් ගෝල 3–1ක් ලෙස රත්නපුර ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.

කෝට්ටේ ක්‍රීඩා සමාජය මෙම කණ්ඩයේ පළමු තැන හිමි කරගැනීමට හේතු වූ තවත් තරගයක් පැවතියේ රත්නපුර ක්‍රීඩා සමාජය සමඟිනි. එම තරගය ද ගෝල 5-0ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගන්නට කෝට්ටේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

C හා D කාණ්ඩයේ තවත් තරග කිහිපයක් ඉදිරි සතිය තුළදී පැවැත්වීමට නියමිතයි.

A හා B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා තිහාරිය ක්‍රීඩා සමාජය හා කෝට්ටේ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගන්නා අතරතුර පොල්ගහවෙල ක්‍රීඩා සමාජයත්, කුරුණෑගල ක්‍රීඩා සමාජයත් අතිරේක කාණ්ඩයකින් සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

එම කාණ්ඩයේදී පොල්ගහවෙල ක්‍රීඩා සමාජය හා මාදු මාතා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ගෝල 2–1ක් ලෙස පොල්ගහවෙල ක්‍රීඩකයින් ජය ලබා ගන්නා විට, ඉතා තියුණු තරගයක් වූ කුරුණෑගල ක්‍රීඩා සමාජය හා අනුරාධපුර ක්‍රීඩා සමාජය අතර තරගය ලකුණු 6-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට කුරුණෑගල ක්‍රීඩා සමාජය සමත්  විය.

තීරණාත්මක තරගයක් වු කුරුණෑගල හා පොල්ගහවෙල ක්‍රීඩා සමාජය අතර තරගය ගෝල 2–0ක් ලෙස ජය ගන්නට කුරුණෑගල ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඉන් අනතුරුව ආරම්භ වූ මාදු මාතා හා අනුරාධපුර ක්‍රීඩා සමාජය අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූයේ ගෝල 1–1ක් ලෙස සම ලකුණු මට්ටමකිනි.

පොල්ගහවෙල සහ අනුරාධපුර ක්‍රීඩා සමාජ ගෝල 3-0ක් ලෙස ජය ගන්නා විට, අනුරාධපුර ක්‍රීඩා සමාජය, කුරුණෑගල සමාජය හමුවේ ගෝල 6–0ක් ලෙස පරාජයට පත්විය.

ඊට අමතරව කුරුණෑගල හා මාදූ මාතා ක්‍රීඩා සමාජය අතර තරගයේදී ගෝල 4–2ක් ලෙසින් ජයග්‍රහණය ලබා ගන්නට කුරුණෑගල ක්‍රීඩා සමාජය සමත් විය.

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගවලදී කුරුණෑගල ක්‍රීඩා සමාජය හා කෝට්ටේ ක්‍රීඩා සමාජය මුණගැසීමට නියමිත අතර පොල්ගහවෙල ක්‍රීඩා සමාජය සමඟින් තිහාරිය යූත් ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතයි.

අවසන් පූර්ව තරග

ජනවාරි 21- කුරුණෑගල ක්‍රීඩා සමාජයට එදිරිව කෝට්ටේ ක්‍රීඩා සමාජය- උදෑසන 8.30 – කැළණිය පාපන්දු ක්‍රීඩාංගණය

ජනවාරි 22 – පොල්ගහවෙල ක්‍රීඩා සමාජයට  එදිරිව තිහාරි ක්‍රීඩා සමාජය – උදෑසන 8.30 – කැළණිය පාපන්දු ක්‍රීඩාංගණය

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට