පෙලිකන්ස් – මොරගස්මුල්ල පළමු කාණ්ඩයේ ශූරතා සටනට

733
Premier League finals Pelicans vs Moragasmulla preview

ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ තරගාවලියේ අවසන් මහා තරගය හෙට (සැප්තැම්බර් 10) පැවැත්වීමට නියමිතයි. එහිදී කුරුණෑගල පෙලිකන්ස් ක්‍රීඩා සමාජය, පසුගිය වසරේ ද අවසන් තරගයේ පාර්ශවයක් වූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සමගින් තරග වදිනු ඇති.

පසුගිය ලිපි: 15න් පහල පාපන්දු තරගාවලිය මේ මස 13 වැනිදා සිට

පෙලිකන්ස් ක්‍රීඩා සමාජය තම සුපුරුදු ක්‍රීඩාංගනය වන කුරුණෑගල මලියදේව විදුහල් පිටියේදී වැඩි ප්‍රේක්ෂක සහයෝගයක් සමගින් තරග වැදීමත්, මොරගස්මුල්ල ක්‍රීඩකයන් පසුගිය වසරේ අඩුපාඩු මගහැරගෙන මෙවර වඩාත් සටන්කාමී ලෙස තරගාවලියට එක්ව සිටීමත් හේතුවෙන් අවසන් තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගැනීමේ පෙර ලකුණු දර්ශනය වෙමින් පවතී.

පළමු වටයේ දස්කම්

පෙලිකන්ස් ක්‍රීඩා සමාජය පළමු වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට වඩා ගෝල 7ක් වාර්තා කිරීමට සමත් වූ අතර මොරගස්මුල්ල ක්‍රීඩකයන් ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට වඩා පළමු වටයේදී ගෝල 10ක් වාර්තා කිරීමට සමත් වී තිබුණි. මේ අනුව මොරගස්මුල්ල කණ්ඩායම වඩාත් ප්‍රබලයන් ලෙස පෙනුනත් පෙලිකන්ස් කණ්ඩායම පළමු වටයේදී ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ගෝල සංඛ්‍යාව අවම වීම ඔවුන්ගේ පසුපෙළ ක්‍රීඩකයන්ගේ ශක්තිය පිලිබඳ උදාහරණයකි.

පෙලිකන්ස් කණ්ඩායම පළමු වටයේ ඔවුන් සහභාගී වූ තරග 7න් 4ක් ජයගෙන 1 තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් විය. මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පළමු වටයේ තරග හතෙන් 6ක් ජයගත් අතර පරාජය වූයේ එක් තරගයක් පමණි. එම වාර්තාව මගින් ඔවුන්ගේ ස්ථාවර ආධිපත්‍ය ප්‍රදර්ශනය වෙයි. කෙසේ වෙතත් මේ කණ්ඩායම් දෙකම පළමු වටයේදී තම කාණ්ඩවල පෙරමුණ ගන්නට සමත් විය.

අවසන් වටයේ (පිළිමලුන් පිටුදැකීමේ තරග වටයේ) දස්කම්

මෙම කණ්ඩායම් දෙකටම පිළිමලුන් පිටුදැකීමේ වටයේදී එතරම් අභියෝගයක් එල්ල නොවීය. කණ්ඩායම් දෙකටම සටනක් දීමට සිදුවූයේ අවසන් පූර්ව තරග වටයේදීයි. එම තරග දෙකේදී පෙලිකන්ස් සහ මොරගස්මුල්ල කණ්ඩායම් පළමු අර්ධය අවසන් වනවිට ගෝල 1 – 0 ක් ලෙස පසුපසින් සිටි අතර තරග ජයග්‍රහණය සඳහා දෙවන අර්ධයේදී දැඩි සටනක් දීමට සිදුවිය.

ෂන්මුගරාජ් සංජීව් පෙලිකන්ස් කණ්ඩායම වෙනුවෙන් අවසන් පූර්ව තරගයේ තරුව බවට පත් වෙමින් ගෝලයක් වාර්තා කල අතර, රෙඩ් ස්ටාර් කණ්ඩායම අභිබවමින් දෙවන අර්ධයේදී වාර්තා කල ගෝල මගින් පෙලිකන්ස් ක්‍රීඩකයන් අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගන්නට සමත් විය.

මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයද, අවසන් පූර්ව තරගයේ දෙවන අර්ධයේ ගෝල 3ක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබද්දී, මේ කණ්ඩායම් දෙකම 2017 ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියට සුදුසුකම් ලබන්නටද සමත් විය.

තරග රටාව

පෙලිකන්ස් ක්‍රීඩා සමාජය පසුගිය තරග සියල්ලේම පාහේ අනුගමනය කලේ තරගයේ තීව්‍රතාවය කෙමෙන් වර්ධනය කරමින් ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයන්ගේ අවධානය බිඳ දමමින් වාසිය ලබා ගැනීමේ ක්‍රමවේදයක්. ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන්ගේ ස්ථානගත වීම් වෙනස්වී ඇති අවස්තාවලදී  සිය ඉක්මන් පන්දු හුවමාරු කිරීමේ හැකියාව මගින් පසුපෙළ බිඳ දමා ඊට වටිනාකමක් එක් කරන්නට ඔවුන් සමත් විය.

මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය මීට පෙර පැවති බොහෝ තරග වලදී තම අවිය ලෙස භාවිත කලේ ප්‍රතිවාදීන් නොමග යවනසුලු තනි පහරේ (One Touch Play) සහ ඔවුන් බලාපොරොත්තු නොවන දිශාවට සිදුකරන හුවමාරු කිරීම් වැනි ක්‍රීඩා විලාශයකුයි.

මහේෂ් කුමාර් සහ ඩිලාන් මධුශංක මොරගස්මුල්ල කණ්ඩායම වෙනුවෙන් ඉහල දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතර ප්‍රධාන තැනක් ගනී.

චතුර ගුණරත්න සහ ෂන්මුගරාජා සංජීව් පෙලිකන්ස් කණ්ඩායමේ ඉදිරි ගමනට වැඩි දායකත්වයක් ලබා දුන් අතර සංජීව් අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග දෙකේදීම ගෝල වාර්තා කල ක්‍රීඩකයෙක්ද වේ.

මෙම තරගය ඉතා පරස්පර තරග රටාවන් අනුගමනය කරන කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් වුවත් දෙපාර්ශ්වයම අඩු වැඩි වශයෙන් ක්‍රීඩාවේ සියලු අංශ වල දස්කම් පෙන්වා තිබීම හේතුවෙන් ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ තරගාවලියේ අවසන් මහා තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට