ගෙලිඔය ක්‍රීඩා සමාජය අවසන් තරගයට

1258
Geli Oya FC vs Great Star SC

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන කාණ්ඩයේ එක් අර්ධ අවසන් තරගයක දෙවන අදියර ගෙලිඔය ක්‍රීඩා සමාජයත්, Great Star ක්‍රීඩා සමාජයත් අතර අද (15) බෝගම්බරදී නිමාවට පත්වූයේ ගෝල 01:01ක් ලෙසිනි.

පසුගිය ලිපි: වැඩි වාසිය රත්නම්ට සහ ගෙලිඔයට

 

පෙර පැවැති පලමු අදියර ගෙලිඔය ක්‍රීඩා සමාජයට වැඩි වාසි අත්කර දෙමින් ගෝල 1:0ක් ලෙස නිමාවීම හේතුවෙන් මෙම තරගයට ඔවුන් අවතීර්ණ වූයේ වාර්තා කල එම එක් ගෝලයේ වාසියත් සමගය.

Great Star කණ්ඩායමට මෙම තරගය පුරාවටම දැඩි පීඩනයක් එල්ලව තිබුණේ එක් ගෝලයක පරතරය මෙම තරගයේදී අනිවාර්යයෙන්ම අවම කරගත යුතුව තිබූ නිසාවෙනි.

දැඩි බලාපොරොත්තු සහිතව කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වූවත් තරගය ආරම්භ වී පලමු මිනිත්තු කිහිපය තුල නිසි අයුරින් තරගයට අවතීර්ණ නොවූ හැඩක් කණ්ඩායම් දෙකෙන්ම දක්නට ලැබුනි.

නමුත් තරගයේ පලමු මිනිත්තු කිහිපය නිමාවනවාත් සමගම තම සුපුරුදු ක්‍රීඩා විලාසයන් වලට කණ්ඩායම් අවතීර්ණ වන හැඩක් දක්නට ලැබිණ.

තරගය දෙපිරිසටම දෝලනය වෙමින් තිබුනද තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කිරීමට අවස්ථාව ලැබුනේ Great Star ක්‍රීඩා සමාජයට වුවත්, පෙර පෙල දකුණු අන්තය හරහා නිර්මාණය වුනු මෙම අවස්ථාව ගෝලයක් බවට පරිවර්තනය කරගන්නට පෙරපෙල මධ්‍ය ක්‍රීඩකයන්ට නොහැකි විය.

තරඟයේ ප්‍රථම ගෝලය සාර්ථක කරගනු ලැබුවේ ගෙලිඔය කණ්ඩායම විසිනි. පසුපෙල ක්‍රීඩයන් හා දැල්රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාම් සමග ඇති වූ වැරදි වැටහීම හේතුවෙන් ගෙලිඔය ක්‍රීඩක රාජු සරන්රාජ්ට පන්දුව දැල වෙත යොමු කිරීම පහසු විය.

ලබාගත් ගෝලය තරගයේ සානුබලයක් කරගත් ගෙලිඔය ක්‍රීඩකයන් හොඳින් තරගය හසුරවමින් Great Star කණ්ඩායමට තරගයේ ජය ඈත් කරමින් ක්‍රීඩා කරනු ලැබීය.

තරගයේ මිනිත්තු 30ක් ගෙවීයන විටත් ගෝල 1:0ක් ලෙසින් ඉදිරියෙන් සිටි ගෙලිඔය ක්‍රීඩකයන් තවත් ශක්තිමත් වූයේ අඩියු අයිසැක් මැදපෙල ක්‍රීඩකයා ඇතුළු සමස්ත මැද පෙලම හොදින් ක්‍රියාත්මක වීම නිසා වෙනි.

පලමු අර්ධයේ මිනිත්තු 45ක් ගෙවී ගියත් සිව්වන විනිසුරු විසින් එක් කරන ලද මිනිත්තු 3ක අමතර කාලය Great Star ක්‍රීඩකයන්ට වාසනාවත්න මිනිත්තු කිහිපයක් විය. ඒ තරගය 1:1 ලෙස සම කරමින් ඔවුන් තම පලමු ගෝලය වාර්තා කිරීම හේතුවෙනි.

පසුපෙල මගින් ඉහලින් යොමුකරන ලද පන්දුව පෙරපෙල ක්‍රීඩක අනිල් ශාන්තට හිමි වූ අතර දඩුවම් පහර සීමා කොටුවට පිටතින් එල්ල කල පා පහර දැල්රකින්නා පසු කරමින් දැල වෙතට පන්දුව යොමු කිරීමට සමත් විය.

පලමු අර්ධය : ගෙලිඔය කණ්ඩායම 1:1 Great Star ක්‍රීඩා සමාජය

මෙම තරගයේ වැදගත්කම වටහාගත්තාක් මෙන් දෙවන අර්ධය තුල තම අනසක පතිරවීමට Great Star කණ්ඩායම දැරූ උත්සහය සාර්ථක විය.

දෙවන අර්ධය තරමක් උණුසුම් ස්වභාවයක් ඉසිලූ අතර දෙවන අර්ධය පුරාවටම ගෙලිඔය කණ්ඩායම පසුපෙලට වැඩි බරක් දමමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුනි.

දෙවන අර්ධය ආරම්භ වූ විගසම ආක්‍රමණය දියත් කල Great Star ක්‍රීඩකයින් දෙවන අර්ධයේ තම පලමු අවස්ථාව අහිමි කරගන්නා ලදී. තරගයේ පැවති උණුසුම නිසාම 52 වන මිනිත්තුව තුල කහ කාඩ් පතක අවවාදයක් ලබන්නට Great Star ක්‍රීඩක පසිඳු විශ්වජිත්ට සිදුවිය.

තවත් ගෝලයක් පෙනි පෙනී එම අවස්ථාව මග හරවා ගැනීමට ජේම්ස් පොවුලඩියිට සිදුවිය. තවත් කහ කාඩ් පතක අවවාදයක් Great Star ක්‍රීඩක අස්කාර් අහමඩ්ට හිමි වුයේ 63 වන මිනිත්තුවේදීය.

ගෙලිඔය කණ්ඩායම ආක්‍රමණයන් අමතක කර දමා Great Star කණ්ඩායමේ ආක්‍රමනයන්ගෙන් බේරීමට උත්සහ දරන අන්දමක් දැක්නට ලැබුණ.

තවත් ගෝලයක් ලබා ගැනීමට තිබූ අගනා අවස්තාවක් 83 වන මිනිත්තුවේදී Great Star කණ්ඩායමට උදාවිය. දඩුවම් පහර සීමාවෙන් අඩි කිහිපයකට පිටතින් හිමිවුණු නිදහස් පහර ලබා ගත් ඔලුවේලුම් ඔලුවාලේගේ බලාපොරොත්තු සුන් කරමින් පන්දුව ගෝලයේ හරස් බාර් එකේ වැදී ඉවතට ගියේ වාසනාව Great Star කණ්ඩායමට අද නොමැති බව කියාපාමිනි. ගෝලයක් ලබා ගැනීමට දැඩි උත්සහයක යෙදී සිටි Great Star ක්‍රීඩකයන්ට දෙවන අර්ධයේදී ලබා ගත හැකි වූයේ කහ කාඩ් පත් තුනක් පමණි.

Great Star කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන් කරමින් තරගය 1:1ක් ලෙසින් නිමාවට පත්විය.

අවසන් ලකුණු සටහන: ගෙලිඔය ක්‍රීඩා සමාජය 1:1 Great Star ක්‍රීඩා සමාජය

ThePapare.com තරඟයේ වීරයා: අඩියු අයිසැක් (ගෙලිඔය)

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ගෙලිඔය ක්‍රීඩා සමාජයේ කළමනාකරු එම්. ෆර්වීන්

“පලමු අර්ධයේ ක්‍රීඩා කල ආකාරය තරගය පුරාවටම අනුගමනය නොකිරීම ලොකු අඩුපාඩුවක්. දෙවන අර්ධයේ තරගයේ ස්වභාවයට අනුගත වෙමින් අනුගමනය කල තරග විලාසය අප‍ට අද ජය ගෙනත් දුන්නා. අවසන් තරගයට කණ්ඩායම සූදානම් කිරීම තමයි වැදගත්ම බලාපොරොත්තුව.”

ගෝල ලාබීන්;

ගෙලිඔය: 22′ රාජා සරන්රාජ්

Great Star: 45+2′ අනිල් ශාන්ත

කහ කාඩ් පත්;

Great Star: 52′ පසිදු විශ්වජිත්, 63′ අස්කාර් අහමඩ්, 87′ මොහොමඩ් මාෆ්රස්

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට