ලෝක කුසලාන සංචිතයෙන් ශ්‍රී ලාංකිකයෙකු ඉවතට

17558

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ අසනීප තත්වය සුව අතට හැරීම සඳහා තවත් දින කිහිපයක කාලයක් ගත වන නිසාවෙන් ඔහුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඔහුගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා කසුන් රාජිත කණ්ඩායමට ආදේශ කරනු ඇත.

නුවන් ප්‍රදීප් හෙට සෙල්ලම් කරන්නේ නෑ?

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප් හෙට (28) දිනයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගය සඳහා…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා ThePapare.com වෙත මේ බව තහවුරු කරන ලදි.

නුවන් ප්‍රදීප්ට ඇතිව තිබෙන රෝගය පැපොල බව හඳුනා ගෙන ඇති අතර එය සුවවීම සඳහා සති කිහිපයක් ගත වන බවට වෛද්‍යවරුන් විසින් පවසා තිබේ. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉතාමත් ඉක්මනින් මේ තීරණය ගෙන ඇත.

මෙම රෝගී තත්වය නිසාවෙන් ඊයේ (28) පැවැත්වුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගයට ද ක්‍රීඩා කිරීමට ප්‍රදීප් හට අවස්ථාව නොලැබුණු අතර ශ්‍රී ලංකාව එම තරගය කඩුලු 9කින් පරාජයට පත්විය.

එසේම බංග්ලාදේශ තරගය වෙනුවෙන් ප්‍රදීප් ඇතුළු කණ්ඩායම දැල තුල පුහුණුවීම් වල නිරත වෙමින් සිටිය දී ප්‍රදීප්ගේ දකුණු අතෙහි සුලැඟිල්ලෙහි පන්දුව වැදීම නිසාවෙන් ඔහු පසුගිය 9 වැනිදා ද ආබාධයට ලක් විය. ඉන්පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් එංගලන්තය සමඟ පැවති තරගයේ දී අවසන් හා තීරණාත්මක කඩුල්ල දවාගෙන ශ්‍රී ලංකාවේ ජය තහවුරු කිරීමට ප්‍රදීප් සමත් විය.

දකුණතින් වේගපන්දු යවන 32 හැවිරිදි ප්‍රදීප් පසුගිය දා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේ දී සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 4ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එම ජයග්‍රහණයේ එක් නියමුවෙක් බවට පත්විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

නුවන් ප්‍රදීප් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර කසුන් රාජිතව ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා කරන ඉල්ලීම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙත යවා තිබෙන අතර ඒ සඳහා අද (29) සවස් වන විට අනුමැතිය හිමිවෙනු ඇත.

ප්‍රදීප් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි වයස අවුරුදු 26ක් වන දකුණතින් වේගපන්දු යවන කසුන් රාජිත තරගාවලියේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එංගලන්තයේ රැඳී සිටින ලදි. මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 6ක් ක්‍රීඩා කර තිබෙන රාජිත එහි දී කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව ඇත.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2ක් ජයගෙන තරග තුනක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තීරණාත්මක ක්‍රිකට් තරගය ජූලි මස 1 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඩරම් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<