වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කීමට හොඳක් ඇත්තේම නැති දැයි විමසුවොත් සමහරෙකු ඊට “නැහැ” යනුවෙන් පිළිතුරු දීමට හැකියි. එහෙත් මේ රචනය, කෙතරම් දෝෂාරෝපණ එල්ලකරමින් වුවත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඇති ආදරය නිසාම ඉන් ඉවත නොයන “උග්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්” වෙතයි.

‘ක්‍රිකට් පරිපාලන ගැටලු’ ආසියාතික රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව ආදී රටවල්වලට නවමු අත්දැකීමක් නොවේ. ඒවා විසඳාගත යුතුය. එහෙත් ඒ ගැටලු නොතකමින් ඉදිරියට යන දක්ෂ ක්‍රීඩකයන්, මේ සෑම රටකම ක්‍රිකට් ක්‍රීඩාවට බලාපොරොත්තු දී ඇතිවා සේම, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ද කැපවී ඇත.

ශ්‍රී ලංකාවෙන් අර්ජුනලා, අරවින්දලා, මුරලිලා, වාස්ලා, මහේලලා, සංගලා බිහිවූයේ පෙර සඳහන් කළ පරිපාලන ගැටලු සම්පූර්ණන්ම විසඳුණු පරිසරයක දී නම් නොවේ. එසේ නම් වත්මන් ක්‍රීඩකයන්ට ද එය කළ හැකිය.

courtesy - imgci.com
courtesy – imgci.com

පසුගිය ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පරාජය වීම ගැන නොයෙකුත් මත, දොස්, පහරදීම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වුවද, අපගේ මේ උත්සාහය, දියුණු කර ගතහොත් සරු අනාගතයකට මඟ කියන, තවමත් ජයග්‍රහණයෙන් කෙළවර නොවූ දස්කම් ගැන ඔබට කීමටයි.

එවන් දස්කම් කිහිපයක් ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය තුළ දී දැකිය හැකි විය. අවාසනාව වූයේ, ඒ මත ගොඩනැගීමට අවශ්‍ය මානසික වපසරිය ක්‍රීඩකයන් සතු නොවීමයි. නමුත් මේ සියල්ල ආරම්භයන් සේ සැලකිය හැකි නම් නුදුරු අනාගතයේ දී ම වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මඟ කියනු ඇත. ඒ ආරම්භයන් මොනවා ද?

දික්වැල්ලගේ ආරම්භයන් (පළමු එක්දින තරග දෙක)

Dickwella

ඔහු ඉතා වේගවත් වදන් මෙන්ම වේගවත් පහරවල් ද ඇති ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයට පත්වීමත් සමඟින් සිය දක්ෂතා වෙනස්ම තලයකට රැගෙන යාමට ඔහු සමත් විය. තමන් ක්‍රීඩා කළ බොහෝ තරගවල දී ලකුණු 20-25-30 බැගින් ඉක්මනින් ලබාගෙන ආරම්භයන් ලබා ගැනීමට ඔහු සමත් විය.

එහි සාර්ථකත්වය අවස්ථා කිහිපයක දී පමණක් ලබා ගන්නට ඔහු සමත් වූයේ ඉනිම 24ක දී ශතක දෙකක් කරා යමිනි. එහෙත් බොහෝ අවස්ථාවල දී ඔහුගේ කඩුල්ල බිඳී ගියේ ඕනෑවට වඩා විශ්වාසයෙන් පහරවල් කරා යෑම නිසා බැව් පෙනී ගිය අතර, විචාරක රසල් ආනල්ඩ් විසින් ද ඒ බව සනාථ කරනු ලැබුණි. අඩුම ඉනිම ගණනක දී එක්දින ලකුණු 1000 සීමාව පසුකිරීමට අවස්ථාව ලැබී තිබුණත් එය ඔහු අතින් මඟ හැරී ගියේ එබැවිනි.

දැනටත් අඩුම ඉනිම ගණනක දී එක්දින ලකුණු 1000 පසු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට ඉනිම දෙකක දී ඔහුට අවශ්‍ය වන්නේ ලකුණු 109කි. රෝයි ඩයස්, ඉනිම 27ක දී එම සීමාව පසුකොට ඔහුට ඉදිරියෙන් සිටියි.

වාර්තා කෙසේ වෙතත් දික්වැල්ලට තම ඉක්මන් ආරම්භයන් බුද්ධිමත් අවසානයන් කරා ගෙන යන්නට හැකි නම්, ඔහුට ද අපට ද එය සතුටක් වනු ඇත.

සිරිවර්ධන – කපුගෙදර සම්බන්ධතාවය (දෙවන එක්දින තරගය)

Siriwardhana

කණ්ඩායමක කඩුලු වේගයෙන් දැවී යන විට පහළ මැදපෙළ සිට එය වළකා ගැනීම විශේෂ දස්කමකි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥ පිතිකරුවන්ට අයත් කර්තව්‍යයකි. ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි, ශ්‍රී ලංකාවේ රසල් ආනල්ඩ්, ඕස්ට්‍රේලියාවේ මයික් හසී, මයිකල් බෙවන් ආදී ක්‍රීඩකයන් ඒ සඳහාම නිර්මාපිතය.

නිමා වූ ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු 5ක් ලකුණු 121ක් තුළ දැවී තිබුණු අවස්ථාවේ පිතිකරණයේ යෙදුණු මිලින්ද සිරිවර්ධන සහ චාමර කපුගෙදර, ලකුණු 91ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කණ්ඩායම නොවැටී තබා ගත්තේය. එහෙත් එය අවසන් කළ යුතු ක්‍රමය ඔවුන් විසින් වටහාගෙන නොතිබිණි.

එබැවින් ඒ සියල්ල වතුරේ ගිය ද, එවන් දිරිමත් ඉනිමක් හොඳින් අවසන් කිරීමෙන් වැටී සිටින ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයා ද නැගිට්ට විය හැකි බව අපි හොඳින්ම දනිමු.

අකිල ධනංජය 6/54 (දෙවන එක්දින තරගය)

Akila

ශ්‍රී ලංකා කණ්ඩායමට එක් විශේෂඥ කඩුලු ලබා ගන්නෙකු රහිත වීමෙන් (මාලිංගගේ වේගය මඳවීමත් සමඟ) ජය ගත හැකිව තිබූ තරග කිහිපයක්ම අප අතින් ගිලිහිණි. මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම වගකීම කරට ගෙන සිටිවුන් ය. ඕනෑම කණ්ඩායමකට එවන් විශේෂඥයෙකු අවශ්‍ය ය. කොටින්ම ඇෆ්ගනිස්තානයට ද අද රෂීඩ් ඛාන් වැන්නෙකු ඇත.

ශ්‍රී ලංකාව එවන්නෙකු සොයමින් වෙහෙසෙද්දී, මහේල ජයවර්ධන විසින් මින් වසර 5කට පෙර ක්‍රිකට් පුහුණු සැසියක දී ‘ඇස්වසාගෙන අහුලාගත්’ මේ යොවුන් තරුව ඉදිරියට පැමිණියේය. මෙතෙක් ඉන්දියාවට එරෙහිව දඟපන්දු යවන්නෙකු යැවූ තෙවන හොඳම පන්දු යැවීම ඔහු විසින් සනිටුහන් කළේ ලකුණු 54ක් තුළ කඩුලු 6ක් දවාලමිනි. ඉන් පළමු කඩුලු 5 වාර්තා වූයේ පන්දු 13ක් තුළයි.

ඉන්දියාව, එසේත් නැත්නම් දඟ පන්දුවලට හොඳින්ම පහර දෙන ක්‍රිකට් කණ්ඩායම එවන් ආකාරයෙන් පුදුමයට පත්කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් බොහෝ අවස්ථාවල සමත්ව ඇත. අකිලට පෙර මුත්තයියා මුරලිදරන් විසින් ලකුණු 30කට කඩුලු 7ක් ද, අජන්ත මෙන්ඩිස් විසින් ලකුණු 13කට කඩුලු 6ක් ද ඉන්දියාව හමුවේ වාර්තා කොට ඇත.

දැන් අවශ්‍ය වන්නේ අලුතින් උපන් ධනංජයව රැකගැනීමයි.

තිරිමාන්නගේ ආගමනය (තෙවන එක්දින තරගයේ සිට)

Lahiru

“සංගාගේ අනුප්‍රාප්තිකයා” ලෙස ලෝක ක්‍රිකට් වේදිකාවට ගෙන එන ලදුව, අයහපත් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස දස්කම්වලින් තොරවී කණ්ඩායමෙන් ඉවතට විසිවූ ලහිරු තිරිමාන්න වසරකින් පමණ පසුව යළිත් ජාත්‍යන්තර එක්දින පිටිය තරණය කරන්නේ ඉන්දියාවට එරෙහි තෙවන එක්දින තරගයේ දී යි.

සෙමෙන් ආරම්භයක් ලබාගෙන තම විශ්වාසය ගොඩනගා ගනිමින් ලකුණු 80ක් ලබා ගන්නට ඔහු සමත් වූ අතර එය අප දන්නා සාමාන්‍ය තිරිමාන්නගේ ඉනිමක් මෙන් ඡායාරූපකරුවන් පිනවන ඉනිමක් නොවූවද “තමන් ජාත්‍යන්තරය සඳහා සූදානම්” යන වග ඔහු විසින් ප්‍රකට කරනු ලැබිණි. සිව්වැනි එක්දින තරගයේ දී ලකුණු 18ක් පමණක් ලබාගත් තිරිමාන්න යළි පස්වැනි එක්දින තරගයේ දී ලකුණු 67ක් වාර්තා කළේය.

“තිරිමාන්න කියන්නේ මේ කණ්ඩායමේ ඉන්න හොඳම පිතිකරුවා!” ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත්වීමට පෙර ලෝක පූජිත පිතිකරු අරවින්ද ද සිල්වා පැවසූ දේ යළි සිහිවෙයි. ඉතින් අපි ඔහුව හොඳින් කළමනාකරණය කරමු.

මැතිව්ස්ගේ පන්දු යැවීම සහ පන්දු රැකීම

Mathews

“ක්‍රිකට් ලොවේ මීළඟ ජැක් කාලිස්” ලෙස බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලද හැකි 50%ක දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් මඟහැරී ගියේ ඔහුගේ ආබාධ තත්වයන් හේතුවෙනි. මැතිව්ස්ගේ 50%ක් යනු “විශේෂඥ පිතිකරුවෙකුගේ දක්ෂතා” ය. ඉතිරි 50%ත් එක්වුණි නම්?

කලකට පසුව මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කරනු පසුගිය තරගාවලියේ දී දැකිය හැකි විය. ඊටත් වඩා විශේෂ වූයේ වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයාට සාගතය ඇති කරමින් මැකී තිබූ මැතිව්ස්ගේ අතිදක්ෂ පන්දු රැකීම් යළි දැකිය හැකි වීමයි. දෙවන එක්දින තරගයේ දී ශිඛර් ධවාන් දවා ගැනීම වෙනුවෙන් අති දක්ෂ උඩපන්දුවක් ලබාගත් මැතිව්ස් තරගාවලිය පුරා පන්දු යවමින් කඩුලු 2ක් ද දවාගත්තේය.

ඔහු සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයට ළඟාවෙමින් සිටින බැව් පෙනේ. අපි ඔහුවත් කළමනාකරණය කර ගනිමු.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙරදිග ක්‍රිකට් සංචාරය අත ළඟටම පැමිණ ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ඉවසීමේ සීමාව කට අගටම පැමිණ ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සිරුරු බිත්තියට තබා සිර කොට ඇත. මේ ඔවුන් සියලු අභියෝග ජය ගත යුතු කාලයයි.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ නොයෙකුත් ගැටලු ඇත. එහෙත් අප අඳුරේ සිට අඳුරට සාප කරනවා විනා අඳුරෙන් එළියට එන යම් මාර්ගයක් සොයාගත යුතුය. එය නම් ජයග්‍රහණයට මාර්ගයයි. මතක තබා ගත යුතු කරුණ නම් සියල්ල අවසානයේ දී ප්‍රේක්ෂකයන්ගේ මතකයෙහි රැඳෙන්නේ ජයග්‍රහණයට පාර කියූ ක්‍රීඩකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය මිස පරිපාලකයන්ගේ හෝ ඇතැම් ක්‍රීඩකයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නොවන බවයි.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න