වරාය අධිකාරිය සුපිරි 8 දෙනාගේ වටයට

170

2019 අන්තර් සමාජ ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා වරාය අදිකාරී කණ්ඩායම සමත් වී තිබේ. B කාණ්ඩයේ ක්‍රීඩා කළ ඔවුන් එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. මෙම ආසියානු වොලිබෝල් තරගාවලිය චීන තායිපේ හිදී පැවැත්වේ.

ටිරෝන් හා යාපාගේ ජයග්‍රහණයෙන් පමණක් ශ්‍රී ලංකාවට සැනසීමක්

20 වැනි ආසියානු Samila විවෘත වෙරළ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී …..

2018 වසරේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් තරගාවලිය (මංචි ජාතික වොලිබෝල් ශූරතාවලිය) ජයග්‍රහණය කරමින් වරාය අධිකාරි කණ්ඩායම මෙම ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. එහි දී ඔවුන් B කාණ්ඩයෙන් තරගාවලියට පිවිසුණු අතර එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් ලෙස ඉරානය නියෝජනය කරමින් Shahrdari Varamin කණ්ඩායම, ඉන්දුනීසියාව නියෝජනය කරමින් Polri Samator කණ්ඩායම හා ටර්ක්මෙනිස්තානය නියෝජනය කරමින් හා Galkan යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියි.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙම තරගාවලියට Lanka Lions ලෙස සහභාගි වූ අතර ඔවුන් 7 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම හා Galkan කණ්ඩායම අතර තරගය

තරගාවලියේ පළමු තරගය සඳහා Galken කණ්ඩායම සමඟින් තරගයට පිවිසි වරාය අධිකාරි කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළේ වට 3-2ක් ලෙසිනි.

තරගයේ මුල් වට දෙකම Galken කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 22-25ක් හා 20-25ක් ලෙසිනි. නමුත් තරගයට අවතීර්ණ වූ වරාය කණ්ඩායම ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් සමඟින් ලකුණු 25-22ක්, 25-21ක් හා 15-12ක් ලෙස අනික් වට 3ම ජයග්‍රහණය කරමින් නොතිබුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් ජනිත සුරත් ලකුණු 30ක් වාර්තා කළ අතර එම ලකුණු 30, spike අවස්ථාවන් 25ක්, පන්දුව පිරිනැමීමේ දී ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් 3ක් හා පන්දු වැළැක්වීමෙන් ලබා ගන්නා ලකුණු  2ක් මගින් වාර්තා විය.

ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය spike අවස්ථාවන් 18ක් මගින් කණ්ඩායමට ලකුණු එක් කළ අතර මළිඳු දිනිත් ලකුණු 13ක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිරිමි ජාතික වොලිබෝල් සංචිතයන් තේරීමට සූදානම්

උදාවූ 2019 වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ……

වරාය අධිකාරි කණ්ඩායම හා Polri Samator කණ්ඩායම අතර තරගය

මෙම තරගය නිමා වීමට ද වට 5ක් ගත වීම විශේෂත්වයකි. එහි දී පළමු වටයේ ජය ඉන්දුනීසියාවේ Polri Samator කණ්ඩායම හිමි වූයේ ලකුණු 20-25ක් ලෙසිනි. එම වටයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ වරාය අධිකාරි කණ්ඩායම දෙවැනි හා තුන්වැනි වට ජයග්‍රහණය කළේ ලකුණු 25-22ක් හා 26-24ක් ලෙසිනි.

තරගයේ සිව්වැනි වටයේ දී නැවතත් තරගයට අවතීර්ණ වූ Polri Samator කණ්ඩායම එම වටය ලකුණු 24-26ක් ලෙස ජයග්‍රහණය කළේය.

තරගයේ තීරණාත්මක වූ පස්වැනි වටයේ දී අතිදක්ෂ ක්‍රීඩා රටාවක නිරත වූ වරාය අධිකාරි කණ්ඩායම එම වටය ලකුණු 15-10ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය.

මෙහි දී ද වැඩිම ලකුණු ලාභියා වීමට ජනිත සුරත් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 27කි. Spike අවස්ථාවන් 21ක්, පන්දුව වැළැක්වීමෙන් ලබා ගන්නා ලකුණු 4ක් හා පන්දුව පිරිනැමීමේ අවස්ථාවන් 2ක් මගින් එම ලකුණු 27 ඔහු කණ්ඩායමට එක් කළේය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය Spike අවස්ථාවන් 20ක්, පන්දුව වැළැක්වීම මගින් ලබා ගන්නා ලකුණු 3ක් හා එක් පන්දු පිරිනැමීමේ අවස්ථාවක් මගින් ලකුණු 24ක් කණ්ඩායම එක් කළේය.

වරාය අධිකාරි කණ්ඩායම හා Shahrdari Varamin කණ්ඩායම අතර තරගය

මෙම තරගය ආරම්භයේ සිටම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය නියෝජනය කළ Shahrdari Varamin කණ්ඩායම සමත් වූ අතර පළමු වටය ලකුණු 17-25ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය.

දෙවන වටයේ දී වරාය අධිකාරි කණ්ඩායම තරමක තරගයක් ලබා දීමට උත්සාහ කළ නමුත් ප්‍රබල ප්‍රහාරයන් හමුවේ එම වටය ද ලකුණු 21-25ක් ලෙස පරාජය වීමට වරාය කණ්ඩායමට සිදු විය. තුන්වැනි වටය තීරණාත්මක වූ අතර එම වටයේ දී ද වරාය කණ්ඩායමේ ප්‍රහාරය Shahrdari Varamin කණ්ඩායම අභිබවා යාමට තරම් ප්‍රමාණවත් නොවිනි. ලකුණු 21-25ක් ලෙස එම වටය ද ජයග්‍රහණය කළ ඉරානයේ Shahrdari Varamin කණ්ඩායම මෙම තරගය වට 3-0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙම තරගයේ දී ද වරාය අදිකාරී කණ්ඩායම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ ජනිත සුරත් ලකුණු 17ක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේ Spike අවස්ථාවන් 15ක් හා පන්දු පිරිනැමීමේ අවස්ථාවන් 2ක් මගිනි.

තමන් මුහුණ දුන් තරග 3ම ජයග්‍රහණය කළ ඉරානයේ Shahrdari Varamin කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<