ලෝක යොවුන් දැල්පන්දු කුසලානයට ලංකාවෙන් 21ක්

294
Netball World Youth

8 වන වරට පැවැත්වෙන ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරගාවලිය බොට්ස්වානා රාජ්‍යයේ ගැබොරෝන් නුවරදී ජූලි මස 08 වන දින ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගේ සංචිතයක් තෝරා ගෙන ඇත.

2015 වසරේ දී ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම වසරේ දී 04 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර ඒ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වූ අතර අභ්‍යන්තර අර්බුද කිහිපයකට ද එය හේතු වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරේ දී ශූරතාවය දිනා ගැනීම හේතුවෙන් මෙම වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර නොදෙන බව මුලින් ප්‍රකාශ කළ සිටියත්, මේ වන විටත් තරගාවලිය සඳහා සූදානම් වීමට විශාල මුදලක් වැය කර තිබීමත් තරගාවලියට සහභාගී වීමෙන් වැළකී සිටියහොත් දඩ මුදලක් ගෙවීමට සිදුවීමත් නිසා ක්‍රීඩා අමාත්‍යවරයාට පසුව ඔහුගේ තීරණය වෙනස් කිරීමට සිදු විය.

දැල්පන්දු ක්‍රීඩාවට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කණ්ඩායම සඳහා පුහුණු උපදේශකවරියක් සහ පුහුණුකාරිනියන් දෙදෙනෙක් තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ පුහුණු උපදේශක ධූරය සඳහා තෝරා ගෙන ඇති අතර අමල්කා ගුණතිලක සහ ජානකී ගුණසේකර පුහුණුකාරධූර සඳහා තෝරාගෙන ඇත. ආනන්ද වන්නිතිලක පුහුණු කරන්නා ලෙස කටයුතු කරනු ඇත. අමල්කා ප්‍රබල කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන අතර ජානකී කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පුහුණුකාරධූරය හොබවයි.

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය සඳහා තෝරා ගෙන තිබූ ක්‍රීඩිකාවන් 18ක් දෙනා අතරින් ලෝක කුසලානය සඳහා සහභාගී වන සංචිතයට තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩිකාවන් 12 දෙනෙක් පමණි. ඉහළ දස්කම් අතර සිටින වෙනත් ක්‍රීඩිකාවන් 09 දෙනෙක්ට ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ වරම් හිමි වේ.

ආසියානු තරගාවලියේ දී මතභේදයට ලක්වූ ක්‍රීඩිකාවන් දෙපළක් වන නදී ප්‍රනාන්දු සහ සචිනි රොද්‍රිගෝ ලෝක කුසලාන සංචිතයට ද තෝරා ගත් ක්‍රීඩිකාවන් 12 දෙනා අතරට ඇතුළත් වන අතර තමන්ගේ ස්ථානය තහවුරු කර ගත් අනෙක් ක්‍රීඩිකාවන් වන්නේ රශ්මි දිව්‍යාංජලී පෙරේරා, නිලුමි හපුආරච්චි, පූර්ණි ලක්ෂානි ගමගේ, මන්දිරා චාරුණී සම්පත්, කවීනා රාජපක්ෂ, මල්ෂා සත්සාරි රත්නායක, හෂිනි පෙරේරා, නිලූෂා වර්ණකුල, ඉමේෂා නිර්මානි සහ හන්සිමා දිසානායකයි.

හන්සිමා දිසානායක ආසියානු දැල්පන්දු තරගාවලියේ දී ආබාධයකට ලක්වුවද වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව සංචිතයට ඇතුළත් කර ඇත. ආසියානු තරගාවලියේ දී සෑම තරගයක්ම ක්‍රීඩා කරමින් ඉහළ දස්කම් දැක්වූ කොළඹ විසාකා විද්‍යාලයේ තරුෂි ඉලංගරත්න ලෝක කුසලාන සංචිතය තේරීමේ කටයුතු සඳහා සහභාගී නොවීම හේතුවෙන් සංචිතය සඳහා ඇතුළත් කර නොමැත.

ඒ අනුව ලෝක කුසලාන සංචිතය සඳහා තෝරා ගෙන ඇති නවක ක්‍රීඩිකාවන් 09 දෙනා වන්නේ බිමන්‍යා රත්නායක, නටාෂා අලුවිහාරේ, රශ්මි නිර්මානි, ආලෝකා උදාරි දිසානායක, දිල්ෂානි කවීෂා, සුසීමා කුමාරි බණ්ඩාර, මෙලනි විජේසිංහ, සෙත්මි දනෝෂි සහ ගන්‍යා සේනානායක යි.

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සුසීමා කුමාරි බණ්ඩාර සහ කොළඹ විසාකා විද්‍යාලයේ මෙලනි විජේසිංහ තවමත් අවුරුදු 18න් පහළ ක්‍රීඩිකාවන් වන අතර පසුගිය වසරේ පැවති සමස්ත ලංකා තරගාවලියේ දී ඔවුන් දෙදෙනා ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. 2016 වසරේ අවුරුදු 17න් පහළ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් සුසීමා කුමාරි පිදුම් ලැබූ අතර මයිලෝ අවුරුදු 16න් පහළ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ මෙලනි විජේසිංහ යි.

තරගාවලිය සඳහා තෝරා ගෙන ඇති සංචිතය ඉදිරි දින කිහිපය තුළ දී තම පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ක්‍රීඩිකාවන් 21 දෙනාගේ සංචිතය (ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරගාවලිය)

  • බිමන්‍යා රත්නායක (කාන්තා විද්‍යාලය)
  • නටාෂා අලුවිහාරේ (හිල්වුඩ් විද්‍යාලය, මහනුවර)
  • රශ්මි දිව්‍යාංජලී (ප්‍රෙස්බිටීරියන් කාන්තා පාසල, දෙහිවල)
  • නිලුමි හපුආරච්චි (නාවික හමුදා කණ්ඩායම)
  • පූර්ණි ලක්ෂානි (යුද හමුදා කණ්ඩායම)
  • මන්දිරා චාරුණී (සෙලාන් බැංකුව)
  • රශ්මි නිර්මානි (CDB ෆිනෑන්ස්)
  • කවීනා රාජපක්ෂ (හිල්වුඩ් විද්‍යාලය, මහනුවර)
  • මල්ෂා රත්නායක (සෙලාන් බැංකුව)
  • සචිනි රොද්‍රිගෝ (යුද හමුදා කණ්ඩායම)
  • හෂිනි පෙරේරා (යුද හමුදා කණ්ඩායම)
  • නදී ප්‍රනාන්දු – නිලූෂා වර්ණකුල (නාවික හමුදා කණ්ඩායම)
  • ආලෝකා උදාරි දිසානායක (උසස් බාලිකා විදුහල, මහනුවර)
  • දිල්ෂානි කවීෂා (Sacred Heart Convent, Galle)
  • සුසීමා කුමාරි බණ්ඩාර (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල)
  • මෙලනි විජේසිංහ (විසාකා විද්‍යාලය)
  • සෙත්මි දනෝෂි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල)
  • ඉමේෂා නිර්මාණි (නාවික හමුදා කණ්ඩායම)
  • ගන්‍යා සේනානායක (කාන්තා විද්‍යාලය)
  • හන්සිමා දිසානායක (ගුවන් හමුදා කණ්ඩායම)  

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට