පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝක කුසලානය ජයග්‍රහණය කරයි

869

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා දීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ (17) එංගලන්තයේ දී සමත් වූහ. ඒ එංගලන්තයේ නිව්සවුත් වේල්ස් හි දී පැවැති හය වැනි විස්සයි විස්ස පොලිස් ක්‍රිකට් ශූරතාව දිනා ගනිමිනි. 

මීට පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව, විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාව සහ ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනා ඇත. 

වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා….

මෙවර පැවති පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරා අපරාජිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් මහා තරගය හා එක් වූයේ බටහිර ඕස්ට්‍රේලියා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමඟය. නමුත් පැවති වර්ෂාව හේතුවෙන් අවසන් මහා තරගයේ තීරණය Bowl Out ක්‍රමය යටතේ පැවැතිණි. එහි දී පළමු වටයේ දී දෙපිලේ ක්‍රීඩකයෝ 1:1ක් සේ ලකුණු ලබා ගත් අතර දෙවැනි වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1:0 සේ ඉදිරියේ සිටිමින් 2019 පොලිස් ක්‍රිකට් ලෝක කුසලානයට හිමිකම් කීහ.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග බටහිර ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියාව (නිව් සවුත්වේල්ස්), Rest Of the World Police, Royal Military Police, Kent Police CC, Worcester City Police CC, New York Police Department සහ සත්කාරක එංගලන්ත යන කණ්ඩායම් 9 සහභාගී විය.

පොලිස් ලෝක කුසලාන තරගාවලියක් ආසියානු රටක් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහකාර පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර හෙබ විය. පොළොන්නරුව ගිරිතලේ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කමල් පුෂ්පකුමාර ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් සමාජයේ පළමු පෙළ කණ්ඩායමේ කළමණාකරු මෙන්ම ක්‍රීඩකයෙක් ලෙසින් ද කටයුතු කළේය.

“අපි අපේ පොලිස් නාමය ලෝකයට ගෙන ගියා. ඒ මගින් ඉතිහාසයේ අලුත් පිටුවක් ලියන්නට අපිට හැකි වුනා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නාමයට සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් කුසලානයක් දිනා දීමට අපිට හැකි වුනා. ඒ ගැන අපිට නිරහංකාර සතුටක් තියෙනවා. තරගාවලිය තුළ දී අපි නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් අපේ ක්‍රිකට් ක්‍රීඩාව සැලකුවේ ඉතා පහත් මට්ටමේ. අපේ පොලිස් නාමයට සැලකුවේත් ඒ ආකාරයෙන්. නමුත් තරගාවලිය අවසන් වෙන විට අපිට ඒ සියල්ල වෙනස් කරන්න හැකි වුනා.” ජයග්‍රහණය සම්බන්ධයෙන් කණ්ඩායම් නායක කමල් පුෂ්පකුමාර Thepapare.com හමුවේ පැවැසුවේය.  

මංජුල ජයවර්ධන

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් සමාජයට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී මෙන්ම ඊට සහභාගී වීමේ දී දුෂ්කරතා රාශියකට ම මුහුණ දීමට සිදුව ඇත. ඔවුන් මුහුණ දුන් ප්‍රධානතම දුෂ්කරතාව වූයේ මූල්‍ය අර්බුදයයි. එහි දී ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10ක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණි. එමෙන්ම පොලිස් ක්‍රිකට් සමාජ අරමුදලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ද ඔවුන් වෙත ලැබුණි. ඉතිරි මුදල් සම්පාදනය කර ගැනීමේ දී නායකත්වය පසෙක දමා සංවිධායකයෙක් ලෙසින් ද කමල් පුෂ්පකුමාර කටයුතු කරමින් සුවිශේෂී දායකත්වයක් මෙම කණ්ඩායම වෙනුවෙන් දක්වා ඇත. 

අපිට මෙම තරගාවලියට සහභාගී වෙන්න ලැබුණ පළමු අවස්ථාවයි මේ. ඒක අමතක නොවන අත්දැකීමක් කර ගන්නයි අපිට අවශ්‍ය වුනේ. අපේ මේ සිහිනය සැබෑ කර ගන්න වර්තමාන පොලිස්පතිතුමා වගේ ම ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත ද දැක්වූ දායකත්වය කවදාවත් අමතක කරන්න බැහැ. ඔවුන් සෑම දෙයක් සොයා බලමින් අපිව දිරිමත් කළා. අපිට අවශ්‍ය පහසුකම් සලකා දීමට කැප වුනා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමත් අප කණ්ඩායමක් ලෙසින් ඉතාම අගේ කොට සලකනවා.” කමල් පුෂ්පකුමාර තව දුරටත් අදහස් දක්වමින් පැවැසුවේය. 

අතිශය දුෂ්කරතාවලට මුහුණ දෙමින් ගිය කණ්ඩායමට එරට දී ද නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී නම් තත්ත්වය කුමනාකාරයෙන් තිබෙන්නට ඇද්ද? එහි දී මුහුණ දීමට සිදු වූ සියලු දුෂ්කරතා රට වෙනුවෙන් ඉවසා සිටීමට කමල් පුෂ්පකුමාර ඇතුළු පොලිස් ක්‍රීඩකයෝ ගිවිස ගත්හ. 

මාලින්ද අබේරත්න

“ආසියානු රටක කණ්ඩායමක් ලෙසින් මෙවර තරගාවලියට සහභාගී වූයේ අපි පමණයි. ඔවුන් අපි තරගාවලියට එක්වෙන විට දී ම නොයෙකුත් දේවලින් අපිව නොසලකා හැරියා. අඩුම තරමින් අපේ කණ්ඩායමට හිමි විය යුතු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, තරගාවලියේ හොඳම පිතිකරු සහ තරගාවලියේ හොඳම පන්දු යවන්නා යන සම්මාන පවා ලබා දුන්නේ නැහැ. ඒ විතරක් නොවේ අවසන් මහා තරගය හිතා මතාම ප්‍රමාද කරමින් තරග කරමින් ජයග්‍රහණය කරන්න තිබුණ අවස්ථාව පවා අහිමි කළා. නමුත් අවසානයේ කෙටි මාර්ගවලින් ජයග්‍රහණය කරන්න කිසිවෙක්ටත් බැරි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්න අපිට අවස්ථාවක් හිමි වුනා.” නායක කමල් පුෂ්පකුමාර තරගාවලියේ දී ඔවුන් මුහුණට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා සම්බන්ධයෙන් සිහිපත් කළේය. 

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා…

තරගාවලියේ කැපී පෙණෙනම ක්‍රීඩකයා බවට පත්ව තිබුණේ මහේෂ් ප්‍රියදර්ශන ය. ඔහු සහභාගී වූ තරගවල දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 210ක් සහ වේගපන්දු යවමින් කඩුලු 13ක් දවාගෙන තිබුණි. එය තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ද ලැයිස්තු ගත කරන්නේ නම් ඉහළින් ම සටහන් විය යුතු බවකි ඔවුන් පවසන්නේ. 

ඊට අමතරව මංජුල ජයවර්ධන, ලසන් කුමාර ද සිල්වා, මාලින්ද අබේරත්න, ගයන්ත සමීර විජේතිලක සහ සමිත් දුෂාන්ත ප්‍රනාන්දු ද තරගාවලිය තුළ දී සුවිශේෂී දක්ෂතා දක්වා ඇත. තරගාවලියේ සංවිධායකයෝ තරගයෙන් තරගයට ක්‍රීඩකයන් ඇගයීමට ලක් කළේ නම් ශ්‍රී ලංකාව සහභාගී වූ සෑම තරගයක ම තරගයේ වීරයා සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිව තිබිණැයිද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අදහසයි.

“කුමන තත්ත්වයකින් අපට සැලකුවත් අපිට අවශ්‍ය වුනේ මේ තරගාවලියට ඉතා හොඳින් මුහුණ දෙන්න. මොකද ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට්  කණ්ඩායමක් මේ වැනි තරගාවලියකට සහභාගී වූ පළමු අවස්ථාව මේක. එම අවස්ථාවේම අපිට ලෝක ශූරයන් වෙන්න අවස්ථාව ලැබීම ගැන ඇත්තේ පුදුම සතුටක්. කණ්ඩායම පුහුණු කිරීම ගැන පැවැසුවහොත් එය කිසිදු අපහසුතාවක් තොරව කළ ක්‍රියාවක් කියල කියන්න පුළුවන්. මොකද මෙරට ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විතවයි අපි තරගාවලියට සහභාගී වුනේ.” පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ සහ පන්දු රැකීමේ පුහුණුකරු පාලිත කුමාර මහතා Thepapare.com වෙත පැවැසුවේය.

පාලිත කුමාර මහතා වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ඔහු විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම වසර 8ක් නියෝජනය කළ ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහු වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා Foundation ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ 2017/18 වසරේ නායකත්වයේ ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ඉදිරියේ තවත් ලෝක කුසලානයක උණුසුම ලබා දුන් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම Thepapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් එක් කරමු. 

පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම;

කමල් පුෂ්පකුමාර (නායක) දර්ශන සම්පත් විජේසිංහ, මාලින්ද අබේරත්න, සුජාන් මයුර, සුරාජ් මල්ලවරාජා, ලහිරු දියන්ත සිල්වා, ලසන් කුමාර ද සිල්වා, ජනක කුමාර රත්නායක, උදාර සඳකැළුම්, නිශාන්ත කුමාර නිව්ටන්, සමිත් දුෂාන්ත ප්‍රනාන්දු, මහේෂ් ප්‍රියදර්ශන, මංජුල ජයවර්ධන, තාමර තේජාන් වීරසූරිය, ගයන්ත සමීර විජේතිලක

නිලධාරීන්;  චන්ද්‍රලාල් සමරකෝන් (කළමණාකරු) අංජුල රුවන් කුමාර විජේරත්න (Trainer) රංජිත් චමින්ද කුමාර (Physio) , පාලිත කුමාර (පිතිකරණ සහ පන්දු රැකිමේ පුහුණුකරු) මේනක බණ්ඩාර (ලකුණු සටහන්කරු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<