මාතලේ පොඩි දඟයා “සිතුල් විජේසේකර“

1331

වමතින් පා දඟපන්දු යවන සිතුල් විජේසේකර මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් පිටියෙන් කාලයකට පසු මතු වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පිය උරුමයත්, මව් පාර්ශ්වයේ උරුමයත් කර පින්නාගෙන ක්‍රිකට් පිටියට පිවිසි සිතුල් හෙට දවසේ ක්‍රිකට් පිටියේ පෙළහර පාන්නෙක් බැව් මේ වන විට පෑ දක්ෂතා මගින් තහවුරු කර ඇත. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්.

දේවපතිරාජයේ බැටින් මැෂිම “පවන් සන්දේශ්”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කැපී පෙණෙන චරිතයක් බවට පත් වීමට රත්ගම දේවපතිරාජ…

සිතුල් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ පවුලේ බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී ඇති නිසා. ඔහුගේ පියා ජගත් විජේසේකර සාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මාමා වන බී. කේ. මහින්ද මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ 1992 වසරේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. සරා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙක්.

“සිතුල්ට ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්න අපේ ආභාෂය බොහෝ විට බලපාන්න ඇති. මොකද පුතා පුංචි කාලෙ සිටම දැක්කේ ක්‍රිකට්. ගෙදර ඒ තරමටම ක්‍රිකට් මාතෘකාවක් වෙලා තිබුණා. අපෙත් ලොකු ආසාවක් තිබුණා පුතාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න.” සිතුල්ගේ මාමා, මහින්ද පැවසුවා.

පළාත් පුහුණුකරු සුනිල් ප්‍රනාන්දු මහතා සමග

සිතුල් බහ තෝරන්නත් කලින් පන්දුවත් පිත්තත් සමඟ තමයි ඔට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා සිතුල් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ කුමන කාලෙදැයි ටක්කෙටම කියන්න කාටවත් මතකයක් නැහැ. පුංචිම පුංචි දවස්වල සිටම සිතුල්ගේ සෙල්ලම් බඩු අතර ක්‍රිකට් පිත්තටත් පන්දුවට විශේෂ තැනක් හිමි වුනා. තාත්තගෙත් මාමගෙත් කැමැත්ත ක්‍රිකට් නිසා ඔවුන් කළේ සිතුල් ද ටිකෙන් ටික ඊට යොමු කිරීමයි.

මෙහෙම ගත වූ කාලය සිතුල් පළමුවෙන් ගිය විජය විද්‍යාලය දක්වාම ගෙන ගියා. ඒ අතර කාලයේ තාත්තාත් මාමාත් ඔහුගේ පුහුණුකරුවන් වුනා. තමන් දන්න දේවලින් නිතරම සිතුල්ව දැනුවත් කරන්න මේ දෙන්නා කටයුතු කළා. ගෙදර Net Practice කරන්න අවශ්‍ය වාතාවරණය පවා හැදුවා. මේ නිසා සිතුල්ට වැඩි කාලයක් ක්‍රිකට් වෙනුවෙන් ගත කරන්න ලැබුණා. සිතුල් වුනත් කැමැත්තෙන්ම ඊට සහභාගී වුනා.

ඔය අතරේ සිතුල්ගේ පාසල වෙනස් වෙනවා. ඔහු විජය විද්‍යාලයෙන් සාන්ත තෝමස් විද්‍යාලයට පිවිසෙනවා. ඒ ආපු වසරේ දී ම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ද යොමු වෙනවා.

“සිතුල් මට හමුවෙන්නේ වයස අවුරුදු 13න් පහළ පුහුණුවීම්වලට එද්දි. ඔහු පුහුණුවීම්වලට එද්දිම සුවිශේෂී ක්‍රීඩකයෙක් බව හැඟුණා. දෙයක් කිව්වත් ඒක ඉතාම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඉතා දක්ෂ නිහතමානී ක්‍රීඩකයෙක්.” සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් පුහුණුකරු ඉන්දික විජේසේකර මහතා පැවසුවා.

සිතුල් ගෙදර සාමාජිකයන් සමග

පුහුණුවට ආ පළමු වසරේ දී ම සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය හිමි කරගන්නා සිතුල් තෙවැනි වසරේ දී කණ්ඩායම් නායකත්වයට ද පත්වෙනවා. නායකයෙක් ලෙසින් සිතුල් තම කණ්ඩායම දෙවැනි වටය දක්වා රැගෙන ඒමට සමත් වෙනවා.

පන්දු යවන්නෙක් ලෙසින් වැඩි කාර්යයක් කළ සිතුල් පළමු වටයේ දී ලකුණු 88කට කඩුලු 21ක් ලබා ගන්නවා. ඒ තරග 6ක දී. ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම වෙන්නේ මහනුවර මඩවල විද්‍යාලයට එරෙහිව ලකුණු 22කට ලබා ගත් කඩුලු 13යි. එය 2017 වසරේ පන්දු යවන්නෙක් විසින් දැක්වූ ඉහළම දක්ෂතාව ද වෙනවා. පිතිකරුවෙක් ලෙසින් ඉනිම් හතරක දී ලකුණු 110ක් ලබා ගන්නවා.

අනතුරුව පැවති දෙවැනි වටයේ දී ද කඩුලු 11ක් ලබා ගන්නා සිතුල් තරගාවලියේ කඩුලු 32ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙනවා. එම වසරේ දී මාතලේ දිස්ත්‍රික් වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන්නේ ද සිතුල්.

පුහුණුකරු ඉන්දික විජේසේකර සමඟ

එම දක්ෂතාවත් සමගින් සිතුල් මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට එක් වෙනවා. මෙය සිතුල්ගේ මෙම වයස් කාණ්ඩයේ පළමු වසරයි.

සිතුල් ඇතුළු සාන්ත තෝමස් විද්‍යාලය මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ තරගාවලියේ පළමු කොටස නියෝජනය කරනවා. තරගාවලියේ J කාණ්ඩය නියෝජනය ඔවුන් පළමු වටය නිමා කරන්නේ එහි පළමුවැනියා වෙමින්.  

එම වටයේ දී ඔවුන් මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලවලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගන්නවා. කුරුණෑගල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය වෙතින් පළමු ඉනිමේ පරාජයන් සහ කෑගලු විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාල සමඟ තරග විසඳුමකින් තොරවත් නිමා කර තිබෙනවා.

ඩිල්ශාන්ගේ තැන ගන්නට කළුතරින් බිහිවෙන පුංචි තරුව ‘විශාර’

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස නියෝජනය කරන කළුතර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක…

“සිතුල් හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතා අපිට දෙවැනි වටයට පැමිණෙන්න බොහෝම ඉවහල් වුනා. විශේෂයෙන්ම අපට අවශ්‍ය අවස්ථාවල දී ඔහු තමයි කණ්ඩායම ඉදිරියට ගෙනාවේ. මම විශ්වාස කරනවා දෙවැනි වටයේ දී සිතුල් මීට වඩා වැඩි දෙයක් කණ්ඩායම වෙනුවෙන් කරයි කියලා.” පුහුණුකරු ඉන්දික විජේසේකර පැවසුවා.

මෙවර තරගාවලියේ දී සිතුල් ලකුණු 112කට කඩුලු 21ක් ලබා ගන්නවා. සිතුල් නියෝජනය කළ කාණ්ඩයේ වැඩිම කඩුලු ලාභියා වෙන්නේ ඔහු. ඔහුගේ හොඳම දක්ෂතාව වෙන්නේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව ලකුණු 13කට ලබා ගත් කඩුලු 5යි. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන සිතුල් ලකුණු 139ක් ලබා ගන්නවා.

“හැම තරගයක දී ම කණ්ඩායමේ නායක තිසුම් අයියා ගොඩාක් උදව් කළා. අනෙක් ක්‍රීඩකයන් ද ඒ විදිහටම උදව් කළා. ඉන්දික සර්, විද්‍යාලයේ ක්‍රිකට් භාර සර් හැමෝම කිවුවේ හොඳින් පන්දු යවන්න එතකොට විකට් එයි කියලා. ඒ අවවාදත් සමඟ මම හැම තරගයක දී ම කඩුලු ලබා ගන්න උත්සාහ කළා. හොඳින් පන්දු යැවුවා.” සිතුල් තමන් මුහුණ දුන් තරගාවලිය ගැන පැවසුවේ එවැන්නක්.

සිතුල්ගේ මේ ගමනේ දී සාන්ත තෝමස් විද්‍යාලයීය පුහුණුකරු ඉන්දික විජේසේකර, දිස්ත්‍රික් පුහුණුකරු ප්‍රියන්ත වේරගොඩ සහ පළාත් පුහුණුකරු සුනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඉතා වැදගත් වැඩ කොටසක් කරනවා. එමෙන්ම විද්‍යාලයීය විදුහල්පතිවරයා, විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්යවරයා සහ විද්‍යාලයේ සෑම දෙනෙක්මත් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව හා බැදී සිටිනවා. මේ සියලුම දෙනාටම ස්තූති කරන්න සිතුල් අමතක කළේ නැහැ.

සිතුල් පවුලේ සාමාජිකයන් සමඟ

සිතුල්ගේ ක්‍රිකට් කතාවේ පියා ජගත් විජේසේකර, මව ස්වර්ණා විජේසේකර සහ අක්කා අනුරාධා විජේසේකර ප්‍රමුඛ තැන සිටිනවා. එමෙන්ම මාමා, බී. කේ. මහින්දට ද හිමි වෙන්නේ සුවිශේෂී තැනක්.

“අම්මත්, තාත්තත්, අක්කත් ගොඩාක් උදව් කරනවා. පුළුවන් හැම තරගයක්ම බලන්න ඇවිත් මාව දිරිමත් කරනවා. ඒක මට ශක්තියක්. ඒ වගේම මගේ මාමා තමයි මාත් එක්ක නිතරම ඉන්නේ. මගේ අඩුපාඩු ගොඩාක් කියල දෙන්නේ මාමා. ඒ වගේම අනෙක් මාමලත් උදව් කරනවා. ඔවුන්ගේ බලාපොරොත්තුවත් මම ක්‍රිකට්වලින් ඉස්සරහට යන එක. ඔවුන්ගේ වගේම මගේත් බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායම දක්වා මේ ගමන යන්න.” සිතුල් පැවසුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කඳවුරට එක් වී තමන්ගේ දක්ෂතාවන්ගෙන් රට පෝෂණය කිරීම අභිප්‍රාය කර ගත් සිතුල් විජේසේකරට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<