2018 වසරේ දී චීනයේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයේ තේරීම් කටයුතු මේ වන විට පැවැත්වේ.

තේරීම් තරග 2017 ජූලි මස 19 වන දින සිට 23 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉරානය, ඕමානය සහ කිර්ගිස් ජනරජය සමඟ ‘A’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

16න් පහළ කණ්ඩායම් තේරීම කල් යයි

2018 කනිෂ්ඨ ආසියාතික පාපන්දු ශූරතාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු, පාපන්දු සම්මේලනය විසින් දින නියමයකින් තොරව කල් දමා ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.

මේ වන විට උපරිම දක්ෂතා අතර සිටින, තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත සංචිතය නියෝජනය කිරීමට සුදුසු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පිළිබඳව ThePapare.com විවරණයක් කරන ලදි.

නවීන් ජූඩ් (ජාවා ලේන් SC)

Naveen Jude19 හැවිරිදි කොළඹ රාජකීය විද්‍යාලයේ නවීන් ජූඩ් පසුගිය මාස 11-12ක පමණ කාලය තුළ පාපන්දු පිටිය තුළ විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වූ අතර ඔහු මේ වන විට ජාවා ලේන් SC කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් බවට පත්ව ඇත.

2016 වසරේ දී පැවති ‘Dialog’ ශූරයින්ගේ කුසලානයේ දී අතිශය දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ ජාවා ලේන් කණ්ඩායමට ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩය දක්වා පසුබසින්නට සිදුවුවත් එම තරගාවලිය තුළ දී ද විශිෂ්ට අන්දමින් දස්කම් දක්වන්නට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන නවීන් ජූඩ් සමත් විය.

‘Dialog’ ශූරයින්ගේ කුසලානයේ දී පැවති තරග 8 දී ගෝල 6ක් වාර්තා කර ගන්නට ඔහු සමත් වූ අතර පොලිස් සහ සෝන්ඩර්ස් SC කණ්ඩායම්වලට එරෙහිව ගෝල 2 බැගින් හා නිව් යන්ග්ස් සහ ගුවන් හමුදා කණ්ඩායම් වලට එරෙහිව එක් ගෝලය බැගින් එම ගෝල 6 වාර්තා විය. ඉන් අනතුරුව පසුගිය දා අවසන් වූ FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ජාවා ලේන් කණ්ඩායම තම ක්‍රීඩා සමාජ ඉතිහාසයේ ප්‍රථම වරට සමත් වූ අතර එම තරගාවලියේදීත් සුපුරුදු දස්කම් අතරට පැමිණෙන්නට නවීන් ජූඩ් සමත් විය.

එම තරගාවලියේ පැවති තරග 6 තුළ දී ද ගෝල 6ක් වාර්තා කර ගන්නට ඔහු සමත් විය. ඔහු එම තරගාවලියේ දී ප්‍රබල කිරුළපන යුනයිටඩ් සහ රිනවුන් SC කණ්ඩායම්වලට එරෙහිව ගෝල 2 බැගින් රැස්කරගත් අතර අර්ධ අවසන් තරගයේ දී සෝන්ඩර්ස් කණ්ඩායමට එරෙහිවත්, අවසන් මහා තරගයේ දී යුද හමුදා කණ්ඩායමට එරෙහිවත් එක් ගෝලය බැගින් රැස්කර ගන්නට සමත් විය.

‘Dialog’ ශූරයින්ගේ කුසලානය අවසානයේ දී යුද හමුදා කණ්ඩායමේ මොහොමඩ් ඉසදීන් ගෝල 8ක් වාර්තා කර ගන්නට සමත් විය. එමෙන්ම FA කුසලාන පාපන්දු තරගාවලියේ දී ඊස්වරන් සහ සුපර් සන් SC වැනි එතරම් ප්‍රබල නොවන කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරමින් ඉසදීන් පිළිවෙළින් එම තරගවල දී ගෝල 5 හා 3 බැගින් රැස්කර ගන්නට සමත් වූ අතර අනෙක් පසින් ජාවා ලේන් කණ්ඩායමට FA කුසලාන තරගාවලියේ දී රිනවුන්, ක්‍රිස්ටල් පැලස් FC සහ සෝන්ඩර්ස් වැනි ප්‍රබල කණ්ඩායම් සමඟ තරග වැදීමට සිදු විය. එම තරගාවලි දෙකේ දී ම වැඩිම ගෝල ලාභියා බවට පත්වෙමින් වෙමින් ‘Golden Boot’ සම්මානයෙන් පිදුම් ලබන්නට ඉසදීන් සමත් විය. එමෙන්ම ඉසදීන් යුද හමුදා කණ්ඩායම වැනි ජාවා ලේන් කණ්ඩායමට වඩා ප්‍රබල කණ්ඩායමකට ක්‍රීඩා කරන අතර ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර වසර ගණනාවක අත්දැකීම් ද ඇත. ඒ අනුව නවීන් ජූඩ් ජාවා ලේන් වැනි කණ්ඩායමකට ක්‍රීඩා කරමින් පසුගිය තරගාවලිවල දී දැක්වූ දක්ෂතා වලින් ඔහුගේ දක්ෂතාව මනාව පිළිබිඹු වේ.

අෆීල් මොහොමඩ් (කොළඹ FC)    

Afeelශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය තුළ දක්ෂතා අතර සිටින තවත් තරුණ ක්‍රීඩකයෙකු වන අෆීල්, ‘Central’ හෝ ‘Defensive Midfield’ සහ ‘Center Back’ ස්ථානවල ක්‍රීඩා කිරීමට සමත්ය. තම පාසල් කණ්ඩායමේ දී සහ අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ දී මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළ ඔහුව, කොළඹ FC කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රූමි එම කණ්ඩායමේ ‘Center Back’ ස්ථානය සඳහා යොදා ගනියි.  

එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට ඉක්මනින් හැඩ ගැසුණු ඔහු මේ වන විට මොහොමඩ් රමීස් සමඟින් කොළඹ FC කණ්ඩායම වෙනුවෙන් එම ස්ථානයේ ක්‍රීඩා කරන අතර ඔවුන් පිට පිට දෙවරක් ‘Dialog’ ශූරයින්ගේ කුසලානයේ ශූරතාවය දිනා ගන්නට සමත් වූ අතර පසුගිය දා අවසන් වූ FA කුසලාන තරගාවලියේ ද අර්ධ අවසන් වටය දක්වා පැමිණෙන්නට සමත් විය. ‘Dialog’ ශූරයින්ගේ කුසලානයේ කණ්ඩායම් 16 තරග වටයේ දී කොළඹ FC කණ්ඩායම තරග 04ක දී ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් අතර ඔවුන් ප්‍රතිවාදීන්ට එක් ගෝලයකට වඩා ලබා දුන්නේ තරග 03ක දී පමණි. ඉන් අනතුරුව පැවති සුපිරි 8 දෙනාගේ තරග වටයේ දී ඔවුන් ප්‍රතිවාදීන්ට තරග දෙකක දී කිසිදු ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් අතර ඉතිරි තරග 5 තුළ දී ප්‍රතිවාදීන්ට රැස්කර ගැනීමට අවස්ථාව ලබා දුන්නේ එක් ගෝලය බැගින් පමණි. ඒ අනුව ඔවුන් සමස්ත තරගාවලිය තුළ තරග 15ක දී ගෝල 14ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ සමස්ත තරගාවලි ඉතිහාසයේ ඒ වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් දැක්වූ දෙවන හොඳම දක්ෂතාවය දක්වමිනි.  

අෆීල්ගේ වේගය සහ ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ලබාගැනීමට ඇති හැකියාව ඔහුව සාර්ථක පසුපෙළ ක්‍රීඩකයෙකු බවට පත්කර ඇති අතර ඔහු සන්සුන්ව පන්දුව හැසිරවීමට දක්වන කුසලතාවය ඔහුට සාර්ථක මැදපෙළ මෙන්ම පසුපෙළ ක්‍රීඩකයෙකු බවට පත්වීමට ඉවහල්ව ඇත.

කවීෂ් ප්‍රනාන්දු (නිව් යන්ග්ස් FC)

Kaveesh Fernandoනිව් යන්ග්ස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක කවීෂ් පසුගිය වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සංචිතයට ද ඇතුළත් වූ ක්‍රීඩකයෙකි. ඔහු දිනෙන් දින සිය දක්ෂතා වර්ධනය කරමින් ක්‍රීඩා කරන අතර ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දිගු කලක පටන් ගෝල රකින ක්‍රීඩකයාගේ ස්ථානය තහවුරු කර ගෙන සිටින සුජාන් පෙරේරා හට ළඟදීම තර්ජනයක් වනු නොඅනුමානයි.

2016/17 තරග වාරයේ දී ඔහුගේ ඉදිරිපිට ශක්තිමත් පසුපෙළ ක්‍රීඩකයින් නොසිටියත් ඔහුගේ කාර්යභාරය හොඳින් ඉටු කරන්නට ඔහු සමත් විය. කණ්ඩායම් තරග වටයේ දී ඔහු එක් තරගයක දී ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් අතර තරග 04ක දී ප්‍රතිවාදීන්ට එක් ගෝලයකට වඩා රැස්කර ගන්නට අවස්ථාව ලබා දුන්නේ නැත. සුපිරි 8 දෙනාගේ තරග වටයේ දී ඔහු තරග 02ක දී ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් අතර තරග 04ක දී ලබා දුන්නේ එක් ගෝලයක් පමණි. එමෙන්ම ඊට අමතරව ඔහු එක් දඬුවම් පහර අවස්ථාවක් ද නවතා ගන්නට සමත් වූ අතර තවත් අපහසු පහරවල් කිහිපයක්ම ආරක්ෂාකාරීව නවතා ගන්නට සමත් විය.

සර්වාන් ජොහාර් (කොළඹ FC)

Zarwanසර්වාන් ජොහාර් යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු ක්‍රීඩකයෙකු නොවේ. කොළඹ FC කණ්ඩායම වෙනුවෙන් සහභාගී වූ සිය දෙවන තරග වාරයේ දී, එනම් පසුගිය දා අවසන් වූ තරග වාරයේ දී ද සිය උපරිම දක්ෂතා අතරට ළඟා වන්නට ඔහු සමත් විය.

සර්වාන් දක්ෂ ගෝල වාර්තා කරන්නෙකු මෙන්ම දක්ෂ මැදපෙළ ක්‍රීඩකයෙකු ද වේ. ඔහු 2016/17 තරග වාරයේ දී සිය දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් විය. මේ වන විට මැදපෙළ ක්‍රීඩා කරන ඔහු තම වේගයත්, පන්දුව හසුරුවන විලාසයත් දියුණු කර ගැනීමට සමත් වී ඇති අතර කොළඹ FC කණ්ඩායම 6 වරක් FA කුසලානය දිනා ගැනීම සඳහා මෙහෙය වූ රව්මි මොහිදීන්ගේ උපදෙස් යටතේ ඔහු තම දක්ෂතාවන් වර්ධනය කරගෙන ඇත.

2016 වසරේ ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී තරග 3ක දී ඔහුව ThePapare.com තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර ඒ අතරට තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කළ රිනවුන් SC කණ්ඩායම සමඟ පැවති තරගය ද ඇතුළත් වේ. කෙසේ වුවත් පන්දුව හැසිරවීමේ දී දක්වන විනය තවදුරටත් ඔහු වර්ධනය කර ගත යුතු ය. කොළඹ FC කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රූමි ඒ වෙනුවෙන් කටයුතු කරනු ඇති අතර සර්වාන්ගෙන් උපරිම දක්ෂතාවය කණ්ඩායම වෙනුවෙන් ලබා ගැනීමට ද ඔහු කටයුතු කරනු ඇත.

සංජුක ප්‍රියදර්ශන (සෝන්ඩර්ස් SC)

Sajukaසෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ‘Center Back’ ස්ථානයේ ක්‍රීඩා කරන සංජුක ද දිනෙන් දින තම දක්ෂතා වර්ධනය කර ගනිමින් ක්‍රීඩා කරමින් සිටියි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ‘Center Back’ ස්ථානයේ ක්‍රීඩා කරන දුමිඳු හෙට්ටිආරච්චි සමඟින් සෝන්ඩර්ස් කණ්ඩායම තුළ එම ස්ථානයේ ක්‍රීඩා කරන සංජුක දැඩි විශ්වාසයක් සහිතව ක්‍රීඩා කරන අතර ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය සෝන්ඩර්ස් කණ්ඩායමට පසුගිය දා අවසන් වූ FA කුසලානයේ අර්ධ අවසන් වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට බෙහෙවින් වැදගත් විය.

ඔහු පසුගිය දින වල පැවති තරගවල දී ‘City FL ජනාධිපති කුසලානයේ දී මොරගස්මුල්ල SC කණ්ඩායමටත්, FA කුසලානයේ තෙවන වටයේ දී රත්නපුර MC කණ්ඩායමටත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් අතර උපරිම දක්ෂතා අතර සිටි නවීන් ජූඩ්ව ද සිය පාලනයට නතුකර ගන්නට ඔහු සමත් විය.

ධනුෂ්ක මදුසංක (කොළඹ FC)

Danushka Madushankaධනුෂ්ක ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට 2016 වසරේ දී නායකත්වය ලබා දෙන ලදි. එමෙන්ම ඔහු පසුගිය වසර 03 පුරාවට කොළඹ FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සමත් විය.

කොළඹ FC කණ්ඩායම වෙනුවෙන් අවශ්‍යම තරගවල දී සහ අවශ්‍යම අවස්ථාවල දී ගෝල වාර්තා කර දුන් ධනුෂ්ක කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රූමි හට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් බවට පත්ව ඇත. ඉදිරිපෙළ ක්‍රීඩා කරන ඔහුව මැදපෙළ මෙන්ම ‘Right Wing’ ස්ථානවල ක්‍රීඩා කිරීමට යෙදවීමට ද හැකියාව ලැබීම තුළින් රූමි හට ධනුෂ්ක ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වන බව නොඅනුමානයි.

FA කුසලාන තරගාවලියේ දී සුපුරුදු දක්ෂතා අතර සිටිමින් ක්‍රීඩා කළ ඔහු, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව සහ අර්ධ අවසන් තරගවල දී ඔහු කොළඹ FC කණ්ඩායම තුළ සිටින වටිනාම ක්‍රීඩකයෙක් බව සනාථ කළේය.

චාමර ද සිල්වා (ජාවා ලේන් SC)

Chamara De Silvaපසුගිය මාස කිහිපය තුළ දක්ෂතා දැක්වූ තවත් ‘Center Back’ ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වන්නේ චාමර ද සිල්වා යි. ඔහු ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ නමුත් නව පුහුණුකරුවෙකු යටතේ සහ ‘Center Back’ ස්ථානයේ ෆහීම් නිසම්දීන් සමඟ එක් වීමත් සමඟ ඔහු සිය සුපුරුදු දක්ෂතා අතරට ළඟා වීමට සමත් විය. ජාවා ලේන් කණ්ඩායම FA කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්න ද මෙය බෙහෙවින් ඉවහල් විය.

ඔහුට සිය උස සහ ශක්තිය විශාල වාසියක් වී ඇති අතර නිසැකවම ඔහුව ශ්‍රී ලංකාව තුළ සිටින දක්ෂතම ‘Center Back’ ක්‍රීඩකයෙකු ලෙස දියුණු කිරීමේ හැකියාව පවතී.

මොහොමඩ් මුජීබ් (රිනවුන් SC)

Mejeebරිනවුන් කණ්ඩායමේ ක්‍රීඩා කළ අෆාම් අක්රම් ආබාධයකට ලක්වීමෙන් අනතුරුව රිනවුන් SC කණ්ඩායමටත්, කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් අමනුල්ලා හටත් හමු වූ මැණිකක් ලෙස මුජීබ්ව හඳුන්වා දිය හැක. හමීඩ් අල් හුසේනි විදුහල වෙනුවෙන් මැදපෙළ ක්‍රීඩා කළ මුජීබ් ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවන සතියේ දී රිනවුන් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ අතර කණ්ඩායම වෙනුවෙන් තරග කළ පළමු තරග කිහිපය තුළ දී ම පන්දුව හැසිරවීමෙන් සහ පන්දුව හුවමාරු කිරීමෙන් විශිෂ්ට දස්කම් දක්වන්නට ඔහු සමත් විය.

ඔහු රිනවුන් කණ්ඩායම වෙනුවෙන් තරගයක් ආරම්භ කළ දෙවන තරගයේ දී ම ගෝලයක් රැස්කර ගැනීමට සමත් වූ අතර එම තරගයේ දී ම තවත් ගෝලයක් වාර්තා කර ගැනීමට සහාය වූයේ ThePapare.com තරගයේ වීරයා බවට පත්වෙමිනි. ඔහු පන්දුව හොඳින් හසුරුවන්නටත්, වේගයෙන් පන්දුව රැගෙන යන්නටත්, ඔහු වෙත එන පන්දු හොඳින් ග්‍රහණය කර ගන්නටත් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරයි.

ඊට අමතරව අෆාම් අක්රම්, දිලීප් පීරිස්, රිස්කාන් රහීම් සහ රාසික් රිෂාඩ් යන ක්‍රීඩකයින් පිළිබඳව ද සිහිපත් කළ යුතුය. අෆාම්, දිලීප් සහ රාසික් පසුගිය වසරේ ආසියානු ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර ඔවුන් මේ වන විට එහි දී සිදුවූ ආබාධ සඳහා කරන ලද සැත්කම් වලින් සුවය ලබමින් පසුවෙයි.

දිලීප් ගෝල රැස්කර ගැනීමට සුවිශේෂී දක්ෂතාවයක් දක්වන අතර ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයින් පසුකරමින් පන්දුව රැගෙන යාමට දක්වන හැකියාවත්, ඔහුගේ වේගයත් ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. ජාවා ලේන් කණ්ඩායමෙන් ඉවත් වී රිනවුන් කණ්ඩායම සමඟ එක්වීමෙන් අනතුරුව අෆාම් මේ වන විට ස්ථාවර ක්‍රීඩකයෙක් බවට පත්ව ඇත. ‘Wing’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු මේ වන විට රිනවුන් කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙක් බවට පත්ව ඇත.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ රාසික් රිෂාඩ් 2016 වසරේ ශ්‍රී ලංකා ජාතික අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළ අතර ඔහු මේ වන විට සෝන්ඩර්ස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයා ලෙස නිතර තරග වලට සහභාගී වෙමින් සිටියි.

රිස්කාන් රහීම් රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන එතරම් ඇගයීමකට ලක්නොවූ ක්‍රීඩකයෙකු ලෙස සඳහන් කළ හැක. රිෆ්නාස්, ෆාසාල්, ෆාසුල්, හකීම් සහ උස්මාන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් අතරේ ‘Left Back’ ස්ථානයේ විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරන්නට රිස්කාන් සමත්ව ඇත.

අප නම් කළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඔබ එකඟ වන්නේද? ඔවුන් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසු ද? ඔබ සිතන අන්දමට අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසු ක්‍රීඩකයින් කවුරුන්ද? පහතින් ඔබගේ අදහස් දක්වන්න.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට