ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ලකුණු මැෂිම – පැතුම් නිස්සංක

4203

මෑත කාලයේ ලද පරාජිත තරගාවලි අතරට නවසීලන්තය සමඟ ඉකුත්දා අවසන් වූ ටෙස්ට් තරගාවලියත් එක් වුනා. කණ්ඩායමට ඇතුළත් කරලා තිබුණ පිතිකරුවන් තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම ඒ පරාජයට හේතු වුනා කියලා තමයි, පරාජයේ නිදහසට කියපු කරුණු අතර කියැවුණේ.

ඇත්තටම බැලුවොත් පසුගිය කාලේ කණ්ඩායමෙන් ඉවත් වුන ජ්‍යෙෂ්ඨයින් වෙනුවට කණ්ඩායමට ආපු ක්‍රීඩකයින් දිගින් දිගටම දක්ෂතා පවත්වා ගෙන යෑමට අපොහොසත් වීම තමයි වත්මන් කණ්ඩායමේ අසාර්ථකත්වයට හේතු වෙලා තියෙන්නේ කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ.

අඩුපාඩු සකසා ගෙන එකට එක කිරීමේ අරමුණින් සිංහයින් පිටියට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ….

නමුත් අද අපි ඔබට කියන්න හදන ක්‍රිකට් තරුව නම් ටිකක් වෙනස්. ඔහු ඔහුටම ආවේණික ක්‍රීඩා ශෛලියක් ගොඩ නගා ගත්ත කෙනෙක්. ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබපු වයස අවුරුදු 13න් පහළ අවධියේ පටන් මේ වන තෙක්ම සිය දක්ෂතා එක දිගටම රඳවා තබාගෙන ඉන්න ඔහු සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි. අන්න ඒක තමයි අනෙක් ක්‍රීඩකයින්ට වඩා ඔහුගේ තියෙන සුවිශේෂීත්වය.

වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන අවධියේ ඉඳලම වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න වරම් ලබපු ඔහු පසුගිය කාලයේ ලකුණු මැෂිමක් බවට තම පිත්ත පත් කරගත්ත කෙනෙක්. ඔහු නමින් පැතුම් නිස්සංක.

නම ඇසුණ ගමන් කණට නුහුරු ගතියක් දැනුනත්, දේශීය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව උනන්දුවක් දක්වන ක්‍රීඩාලෝලීන්ට නම් පැතුම්ගේ නම එච්චර නුහුරු නුපුරුදු නෑ. මොකද කියනවා නම්, මෑත කාලීන දේශීය පිටියේ නොනවතින අන්දමින් ලකුණු රැස් කරපු, එහෙමත් නැත්නම් ශතක, ද්විත්ව ශතක වාර්තා කරපු පිතිකරුවෙක් ඉන්නවා නම් ඒ පැතුම් නිස්සංකම පමණක් නිසා.

ජාතික කණ්ඩායමේ දොර තවම විවෘත නොවුනත්, විශේෂඥ පිතිකරුවක්ගේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් ඒ සඳහා වන උවමනාවටත් වඩා සුදුසුකම් සපුරාලීමට පැතුම් මේ වන විටත් සමත්වී තියෙනවා. තවමත් 20 වැනි විය ගෙවමින් සිටින පැතුම්ව ජාතික කණ්ඩායමට නම් නොකළත් ඔහු ගැන ගොඩක් දෙනෙක් ඇහැ ගහගෙන ඉන්නේ දැන් පැවැත්වෙන ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ දී ඔහු දක්වලා තියෙන දක්ෂතා නිසා.

කොළඹ එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන පැතුම, මේ වන විට සහභාගි වෙලා තියෙන තරග 3 දී රැස් කරලා තියෙන ලකුණු සංඛ්‍යාව 550ක්. එයට අජන්ත මෙන්ඩිස් ඇතුළු දේශීය තරගාවලියේ දක්ෂතා තියෙන ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරන යුද හමුදා කණ්ඩායමට එරෙහිව රැස් කරන ලද නොදැවුණු ලකුණු 206ක ඉනිම සහ මුවර්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ රැස් කරන ලද ලකුණු 163ක ඉනිමත් දෙවැනි ඉනිමේ රැස් කරන ලද ලකුණු 84ක ඉනිමත් ඇතුළත්. මේ ලකුණු මැෂිම පටන් ගත්තේ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන්ම රැස්කරපු ලකුණු 74ක ඉනිමත් සමඟයි.

හැදෙන්න දුන් කාලය අවසානයි, දැන් වැඩ පෙන්වන්න – ලසිත් මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, සියලු දෙනා කණ්ඩායම ….

එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කිරීමට කලින් පැතුම් ක්‍රීඩා කළේ බදුරලිය ක්‍රීඩා සමාජයට. ඒ තරග වාරයේදීත් ශතක දෙකකුත් එක්ක ලකුණු 700කට ආසන්න සංඛ්‍යාවක් රැස් කිරීමට පැතුම් සමත් වුනා. ඒ දක්ෂතාව නිසාම එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකාවත් එක්ක ගහපු ටෙස්ට් තරගාවලියට පෙර පැවති ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් පැතුම්ට හිමි වුනා. ඒත් ඒ තරගය නම් පැතුම්ට ඒ තරම් හොඳ වුනේ නැති තරගයක්.

ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටින විට දී ජෝස් බට්ලර් එල්ල කරපු පහරක් පැතුම්ගේ ඔළුවේ වැදීම නිසා සිහිසුන්ව රෝහල් ගත වන්නත් ඔහුට සිද්ධ වුනා. ඒත් ඊට කලින් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් 10 වැනි පිතිකරුවා විදියට පන්දුවට පහර දෙන්න ආපු පැතුම් ලකුණු 29ක් ලබාගන්නත් සමත් වුනා.

පැතුම්ගේ ගම කළුතර, තුනේ පන්තියේ ඉඳලා කළුතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබපු පැතුම් මුලින්ම වයස අවුරුදු 15න් පහළ ජාතික කණ්ඩායමකට ඇතුළත් වෙන්නෙත් අවුරුදු 13න් පහළ අවසන් වසර ක්‍රීඩා කරද්දී. ඒ 15න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යෙදිලා තිබුණ මැලේසියානු තරග සංචාරයේ දී. එතැනින් ජාතික තලයට පැමිණි පැතුම් මේ වන විට

එංගලන්තය සමඟ පැවති පුහුණු තරගයේ දී පන්දුව වැදීමෙන් පසු පැතුම්ව පිටියෙන් එළියට රැගෙන ගිය අයුරු.

සෑම වයස් කාණ්ඩයක් යටතේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වෙලා සිටිනවා.

වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරද්දී මීපාවල අමරසූරිය විදුහලට එරෙහිව පැතුම් පන්දු 109ක දී රැස් කරපු ලකුණු 221ක ඉනිමත් ඔහුගේ ක්‍රිකට් දිවියට පන්නරයක් එකතු කරපු ඉනිමක්. එය අදටත් වේගවත්ම ද්විත්ව ශතකයට හිමිකම් කියන වාර්තාවක්.

එම වසරේ දී ප්‍රීමා පළාත් තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයා විදියට සම්මාන දිනා ගන්නේ පැතුම්ගේ හොඳම කාලය විදියට සැලකෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කරන කාලයේයි. මුලින්ම 2014 වසරේ දී කළුතර විදුහල නියෝජනය කරමින් ලකුණු 1000 සීමාව ඉක්මවාලමින් එම වසරේ දක්ෂතම පිතිකරුට හිමි සම්මානය පැතුම් දිනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒ සෑම වයස් කාණ්ඩයකම දක්ෂතම පිතිකරුවා බවට හෝ දක්ෂතම පන්දු රකින්නා බවට පත්වීමටත් පැතුම් සමත්වී තිබීම විශේෂ කරුණක්.

ඒ වෙද්දී කළුතර විදුහල ක්‍රීඩා කරන්නේ දෙවැනි පෙළ තරගාවලිය. නමුත් පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවය මත පැතුම් අවුරුදු 17න් පහළ ක්‍රීඩා කරද්දීම කොළඹ ඉසිපතන විදුහලට එනවා.

ජාතික කර්තව්‍යයට මුල් තැන දෙමින් පාසල් තරග වාරයට ක්‍රීඩා කරන පැතුම්, එම වසරෙදි ක්‍රීඩා කරපු තරග 9 දී මුළු ලකුණු 928ක් ලබා ගන්නවා. ඒකට ද්විත්ව ශතකයක්, ලකුණු 150ට වඩා වැඩියෙන් වූ එක් අවස්ථාවක් සහ තවත් ශතක දෙකක් ඇතුළත් කරගැනීමට පැතුම් සමත් වෙනවා.

ඊට අමතරව වයස අවුරුදු 17න් පහළ තරගාවලියෙදීත් ලකුණු 800ක් ඉක්මවා ලබා ගන්න සමත් වෙද්දී එයට ද ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක 5කින් තම ඉනිම වර්ණවත් කරගන්න පැතුම් සමත්වෙනවා.

ඔය දක්වපු දක්ෂතා මත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට පැමිණෙන්නට වරම් දිනා ගන්න පැතුම්, දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලබා ගත්ත ලකුණු 175ත් තීරණාත්මක ඉනිමක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒත් පළාත් තරගාවලිය යටතේ ගාල්ලට එරෙහිව ගිය අවුරුද්දේ ලබා ගත්ත ලකුණු 188ක ඉනිම මෙතෙක් දිවියේ ක්‍රීඩා කරන ලද හොඳම ඉනිම බවට සලකන බව තමයි පැතුම් ‘ThePapare.com’ අපිත් එක්ක කිව්වේ.

ද්විත්ව ශතක කීපයකටම හිමිකම් කියලා තිබුනත්, මේ ඉනිම සුවිශේෂී වෙන්නේ ඇයි කියලා ඇහුවම, පළාත් තරගාවලියකට ක්‍රීඩා කරපු පළවැනි අවස්ථාව වගේම දක්ෂතා ඇති ක්‍රීඩකයින් වැඩි පිරිසක් ප්‍රතිවාදී කණ්ඩායමේ පසුවීම ඒකට හේතු වුනා කියලා තමයි පැතුම් කියන්නේ.

පුහුණුකරු සුනිල් සිල්වා මහතා.

පැතුම්ගේ මුල්ම ගුරුවරයා වෙලා තියෙන්නේ එයාගේ තාත්තා. එස්. සුනිල් සිල්වා මහතා. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. කළුතර තිස්ස මැදි මහ විදුහලේ කනිෂ්ඨ අංශයේ පුහුණුකරුවා විදියට කටයුතු කරන සුනිල් මහතාගේ යටතේ තිස්ස මැදි මහ විදුහලේ කනිෂ්ඨ කණ්ඩායම ශූරතාවක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.

ඒ වගේම පැතුම් අවුරුදු 13න් පහළ වයසේ නායකයා විදියට කළුතර විදුහලේ ක්‍රීඩා කරනකොට ඒ කණ්ඩායමේ පුහුණුකරු විදියට කටයුතු කරලා තියෙන්නෙත් සුනිල් සිල්වා මහතා. කොහොම හරි ඒ වසරෙදි එම වයස් කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට පැතුම්ගේ නායකත්වයෙන් යුතු කළුතර විදුහල් කණ්ඩායම සමත්වෙලා තියෙනවා.

පොඩි කුසල් ගැන ටෙස්ට් නායක චන්දිමාල් කියන කතාව

කුසල් මෙන්ඩිස්ගේ වයස ….

ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වෙන එක තමයි පැතුම්ගේ අනාගත බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ලැබෙන හැම ඉනිමක දී ම ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න ඕන කියන අදහස පැතුම්ගේ හිතේ තියෙනවා. පැතුම් දැන් ඉන්නේ ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන තැන. ඒ කියන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සුදුසුකම් ලබලා.

පැතුම් කියන්නේ අනාගතයට හොඳම ආයෝජනයක් කියලා මේතාක් ක්‍රීඩා කරල තියෙන පළමු පෙළ තරග දිවිය දිහා බැලුවම පේනවා. තරග 17කට ක්‍රීඩා කරලා තියෙන පැතුම් ශතක 6ක් සහ අර්ධ ශතක 7ක් වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා. දකුණතින් පිත්ත හසුරුවන හුරුබුහුටි පැතුම් යුද හමුදාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 206ක ඉනිම ද සමඟ මුළු ලකුණු 1723ක් රැස් කරගනිමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 66.26ක් ලෙස සටහන් කර ගැනීමට සමත්ව සිටිනවා.

පැතුම් තවමත් ළාබාල ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහුට තව අත්දැකීම් අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා. ඒ අනුව ඔහු ගැන වැඩි අවධානයක් ලබා දීලා අවශ්‍ය ගුරුහරුකම් ලබා දුන්නොත් දක්ෂතා හිඟ ක්‍රීඩකයන් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ළතැවෙන ප්‍රශ්නයට කදිම විසඳුමක් වේවි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<

කැප්ෂන්

පැතුම් නිස්සංක