පැහැබර අනාගතයකට නම්

518
Path to the bright future

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අනිද්දා (20දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සංචාරක ක්‍රීඩකයින් අතින් නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී ලැජ්ජා සහගත පරාජයක් ලැබූ සත්කාරක ක්‍රීඩකයෝ, එක්දින තරගාවලිය සඳහා මුහුණ දෙන්නේ එකී ලැජ්ජාවෙන් සම්පූර්ණයෙන්ම මිදීමේ අභිප්‍රාය පෙරදැරිව යැයි අප විශ්වාස කරමු.

2017 ශ්‍රී ලංකාවේ පන්දු රැකීම දුර්වලම තත්ත්වයට පත්වූ වසරද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2017 වසර එතරම් සුබදායක නොවූ අතර සියලුම ආකාරයේ ක්‍රිකට් තරග 30ක්…

“අප කෙරෙහි විශ්වාසය තබන්න. තරගයක් දෙකක් පරාජය වූ පමණින් අපව අවතක්සේරු කරන්න ඉක්මන් වෙන්න එපා. අපි ඉතා ඉක්මනින් නැගී සිටිනවා. උපාය මාර්ගික හේතු මත සමහර දේවල් තිබෙනවා අපිට විවෘතව කතා කළ නොහැකි. නමුත් නියත වශයෙන්ම අපි අපේ දක්ෂතාවලට නැවත පිවිසෙනවා. අපිට එදා වගේම හෙටටත් ඔබේ සහයෝගය ලබා දෙන්න.” ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග ඇතිව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයා දැනුවත් කරමින් පවසා තිබුණි.

දැන් එළඹ ඇත්තේ එකී කාලයයි. නායක තරංග පවසනුයේ තමන්ට තමන් අපේක්ෂා කළ කණ්ඩායම ලැබී ඇති බවයි. එකී කණ්ඩායමට පැවරෙන පළමු කාර්යය වනුයේ, මේ වන විට ක්ෂයව යන තම ක්‍රිකට් අභිමානය නැවත තමන් වෙත ළඟා කර ගැනීම ය. එමෙන් ම තමන් වෙතින් ඉවත්ව යන ක්‍රිකට් ප්‍රේක්ෂක ප්‍රජාව නැවත ක්‍රීඩා පිටියට ගෙන්වා ගැනීම ද අත්‍යවශ්‍යම කාරණයක් වන්නේ ය.

මෙය මහා අභියෝගයකි. නායක තරංගට ලෙහෙසියෙන් වචන ගලපා ගැනීමට හැකි වූව ද ඒ සියල්ල පිටියේ දී ද ගලපා ගත යුතුය. වචනවලට වඩා ක්‍රියාව පහසු නැත. එබැවින් මේ අභියෝගයට මුහුණ දීමට තරංග පමණක් නොවේ කණ්ඩායම ම එකා වන්ව පෙළ ගැසිය යුතුය.

ඉන්දීය කණ්ඩායම යනු ලෙහෙසියෙන් සිතිය යුතු කණ්ඩායමක් නොවන බැව් අපට පසක් කර අවසන් ය. එක්දින තරග පිටියේ ද ඔවුන්ගේ දක්ෂතා ටෙස්ට් තරග ප්‍රතිඵල සේ  ම ය. ඔවුන් මේ වෙද්දී අන්තර් ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ රැඳී ඇත්තේ තෙවැනි ස්ථානයේ ය. අප එම ලැයිස්තුවේ 8 වැනියා ය. ඉන්දියාව එම ලැයිස්තුවේ තෙවැනියා වන්නේ තරග 40කට සහභාගී වෙමිනි. අප කණ්ඩායම එම ස්ථානයට පිවිස ඇත්තේ තරග 54කට සහභාගී වෙමිනි.  ඒ පරතරය ද අප කණ්ඩායමේ තැන තීරණය කර ඇත.

දෙරට අතර මේ දක්වා පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රතිඵල ද  ඒ බැව් කදිමට අනාවරණය කරයි.

තරග ඉන්දියාව ශ්‍රී ලංකාව සම වූ තරග විසඳුමක් නැති
150 83 55 1 11

මෙතෙක් පැවති තරග ප්‍රතිඵල කෙසේ වූව ද, ඉන්දීය කණ්ඩායම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හමුවන්නේ 2015 වසරට පසුව ය. ඉන්දියාවේ පැවති එම තරගාවලියේ දී 5-0ක දැවැන්ත පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලාංකිකයන්ට සිදු වුණි.

ලකුණු සාරාංශය

තරගය පළමුව පන්දුවට පහර දී දෙවැනිව පන්දුවට පහර දී ජය පරාසය
 1 ඉන්දියාව 363/5(50.0)        ශ්‍රී ලංකාව 194/10(37.2) ලකුණු 169
 2 ශ්‍රී ලංකාව 274/8(50.0) ඉන්දියාව 275/4(44.3) කඩුලු 6
 3 ශ්‍රී ලංකාව 242/10(48.2) ඉන්දියාව 245/44.1) කඩුලු 6
 4 ඉන්දියාව 404/5(50.0) ශ්‍රී ලංකාව 251/10(43.1) ලකුණු 153
 5 ශ්‍රී ලංකාව 286/8(50.0) ඉන්දියාව 288/7(48.4) කඩුලු 3

මෙම තරගාවලි පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ඉන්දීය කණ්ඩායම හමුවන්නේ මේ වසරේ ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ය. ඉන්දියාව හමුවු එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7කින් ජය ලබන්නේ ය. පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබා ගන්නා අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 322ක් ලබා ගන්නේ ය. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියට එක්වීමට මද හෝ අස්වැසිල්ලක් වී නම් ඒ නිමා වූ ජයග්‍රාහී එම තරගය ම පමණි. ඒ වන විට ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ඉහළ ම ස්ථානයන් අතර වැජඹුණ ඉන්දීය ක්‍රීඩකයෝ ICC ශූරයන්ගේ කුසලානය තම රටට ගෙන යෑමට පිඹුරුපත් සැකසූවේ අප කණ්ඩායම සමඟ තරගයෙන් පහසුවෙන් ජය ලබතැයි යන විශ්වාසයෙන් යුක්තව ය. නමුත් සිදුවූයේ අනෙනකි.

එම තරග ප්‍රතිඵලය එසේ වූව ද ගෙවී යන 2017 වසරේ ජාත්‍යන්තර එක්දින තරග ප්‍රතිඵල ද  ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කළ එතරම්ම හිතකර නොවේ. මේ දක්වා මේ වසරේ දී තරගාවලි හතරකට සහභාගී වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එකම හෝ තරගාවලියක් ජයග්‍රහණය ලැබීමට හැකි වී නැත.

වසර ආරම්භයේ දී දකුණු අප්‍රිකාව සමඟ තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ප්‍රතිඵලය 5-0ක පරාජයකි. අනතුරුව පැවති බංග්ලාදේශය සමඟ තරග 3කින් සමන්විත තරගාවලියේ ප්‍රතිඵලය වූයේ 1-1ක් සේ සම තත්ත්වයේ ය. එක් තරගයක් වර්ෂාවට අතහැර දැමුණි. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන අතර එහි දී ය අප ඉහත සඳහන් කළ ඉන්දීය තරගය ජයග්‍රහණය කරනුයේ. එම තරගාවලියේ දී අප දකුණු අප්‍රිකාවට සහ පාකිස්තානයට පරාජයට පත් වෙමින් තරගාවලියෙන් ඉවත් වේ. අනතුරුව මෙරට දී තරග 5කින් සමන්විත වූ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරගාවලියට එක්වෙමින් ඉන් 3-2ක් සේ පරාජය ලබමින් අවසන් වන්නේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හා එක්දින තරගාවලියට මුහුණ දීමට සූදානම් වන්නේ මේ වසරේ මෙතෙක් නිමා වූ තරග කාලසටහන එසේ තබාගෙනය. බැලූ බැල්මටම එය ලෙහෙසි කටයුත්තක් නොවේ. නමුත් ක්‍රිකට් යනු ඉතිහාසයේ සිදු වූ දේ නැවත නැවත එසේ ම සිදු නොවනු ඇත යන්න සනාථ කළ ක්‍රීඩාවකි. එබැවින් අප අපේ කණ්ඩායම කෙරෙහි තව දුරටත් විශ්වාසයෙන් සිටිය යුතුය.

නමුත් වහා වෙනස් විය යුතු කරුණු කිහිපයක්ම ඒ අතර වෙති. එය නිමා වූ ටෙස්ට් තරගාවලිය දෙස  විමර්ශනාත්මකව හෝ ඇසිපිල්ලමක් ගසන ඇසිල්ලෙන් බලන්නේ නම් හෝ වටහා ගත හැකි ය. මේ වටහා ගැනීමේ දී ක්‍රීඩකයන් දිගින් දිගට ම ආබාධයන්ට ලක් වීම වැනි කරුණු මඟ හැරිය යුතුය. එවැනි අවස්ථා අනතුරු තත්ත්වයේ ලා අප අනෙක් කරුණු දෙස වඩාත් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම අප නිමා වූ ටෙස්ට් තරගාවලියට පිවිසෙන්නේම ඉතාම දුර්වල පන්දු යැවීමක් සහ පන්දු රැකීමක් ඇති කණ්ඩායමක් සේ වර්ගීකරණයට ලක්වෙමිනි. එය වඩාත් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අපේ ක්‍රීඩකයෝ ද දෙවරක් නොසිතා කටයුතු කළෝ ය. ඊටත් වඩා එතැනින් නොනැවතුන ඔවුන් තෙවැනි ටෙස්ට් තරගයේ දී පිතිකරණයෙන් ද දුර්වල වෙමින් වෛරස් උණකාරයන් සේ පිටියේ හැසිරෙන්නට වූහ.

සැබැවින් ම එය කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය අනුව එවන් තත්ත්වයක් කිසිවෙක් බලාපොරොත්තු නොවෙති. නමුත් ඒ අවාසනාවන්ත දේම නැවත නැවතත් සිදුවුණි. ඉන්දීය හිටපු ක්‍රීඩක සුනිල් ගවස්කාර් අප කණ්ඩායම ඉන්දීය පළමුපෙළ කණ්ඩායමක් සමඟ හෝ ක්‍රීඩා කිරීමට නුසුදුසු යැයි පැවසුවේ එබැවින් විය යුතුය.

නමුත් මේ තත්ත්වය ලොව ඕනෑම කණ්ඩායමකට මුහුණ පෑ හැකි අකරතැබ්බයක් බැව් අප පෙන්වා දිය යුතුය. එය පෙන්වා දිය හැක්කේ ද අප කණ්ඩායමට ම ය.

මුරලි, සංගා සහ මහේලගේ නික්ම යෑමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීමක් සිදු වෙතැයි එකල බොහෝ කතා වුනි. නමුත් එකී වකවානුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මීට වඩා දක්ෂතා දැක්වූ බැව් කිව යුතුය. ඔවුන්ගේ නික්ම යෑමෙන් අනතුරුව සමීපව පැවති තරගවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ වඩාත් විශ්වාසයෙන් යුතුව පිටියේ තම මෙහෙවරෙහි නිරත වුනි. ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක්ගේ වෙනස්කමක් හැරෙන්නට අදටත් අප අපේ පිටියේ දී එම පිරිස් ම ය. නමුත් කුමක්දෝ අවාසනාවක් ඔවුන් වෙත වැටී ඇත. එදා විශ්වාසය දිනූ ක්‍රීඩකයෝ ය, අද මේ අසාර්ථක වී ඇත්තේ.

ඔවුන් වහා තම තමන්ගේ දුර්වලතා හඳුනා ගෙන ඉන් මිදිය යුතුය. එය පාලකයන්ට කළ හැක්කක් නොවේ. සියලු තර්ජනාංගුලි පාලකයන් වෙත මුදා හැරීම ක්‍රීඩකයන්ගේ තරම නොවේ. ක්‍රීඩකයන් පළමුවෙන්ම කළ යුත්තේ තම යුතුකම ඉටු කිරීම ය. ඊට පසුව පාලකයන්ගෙන් තම අයිතිවාසිකම් හෝ වෙනයම් යමක් වේ නම් එය ඉල්ලීම යුක්ති සහගත වේ.

මේ ප්‍රශ්නයේ දී මීට අඩු-වැඩි වශයෙන් ද පාලකයෝ ද ක්‍රිකට් හී මේ කඩා වැටීමේ වගකීම දැරිය යුතුය. විශේෂයෙන්ම ක්‍රීඩකයන්ට ක්‍රීඩා පිටියේ දී ඇවැසි නිදහස ලබා දිය යුතුය. මේ වන විට කණ්ඩායම හා පාලකයන් අතර යම් හෝ මත ගැටීමක් ඇත්නම් එය සමථයකට පත්කිරීම හෝ මුළුමනින්ම අමතක කර දැමීමේ ප්‍රමුඛයා විය යුත්තේ පාලකයෝ ය. එය මේ අවස්ථාවේ අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි.

අපට අත හැරී ඇත්තේ සොච්චමකි. ඒ සොච්චම අල්ලා ගැනීමට නම් පාලකයන් සේ ම ක්‍රීඩකයෝ ද එක මතයකට පැමිණිය යුතුය. ක්‍රිකට් හී “එක ජාතියක් එක කණ්ඩායමක්” යන්න බැනරයකට හෝ දැන්වීම් පුවරුවකට පමණක් සීමා නොකර එය කාගෙ කාගේත් හිත්වලට කාවද්දා ගන්නේ නම් ක්‍රිකට් හී අනාගතය සුබදායි වනු නොඅනුමානය.

එය අනිද්දායින් (20) ඇරඹෙන ඉන්දීය එක්දින තරගාවලියෙන් ම ආරම්භ වන්නේ නම් කෙතරම් අගනේ ද?

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න