අනතුරින් පසු පසිඳු පීරිස් නැවතත් සූදානම්

248

පසුගිය දා ඌව-කුඩාඔය දී  පැවති කොමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේ SL GT සුපර් කාර් තරගය අතරතුර ප්‍රවීණ මෝටර් රථ ධාවක පසිඳු පිරිස් බිහිසුණු අනතුරකටමුහුණ දුන්නේය.

pic 01මෑත ඉතිහාසයේ මෝටර් රථ තරගාවලියක සිදු වූ දරුණුතම සිදුවීමක් ලෙස සැලකුණු මෙම අනතුරින් පසිඳුගේ මෝටර් රථය මුළුමනින්ම පාහේ විනාශ වූ අතර, සිද්ධිය වූ සැණින් ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර කණ්ඩායම් ඔහුව වහා රෝහල්ගත කිරීමට කටයුතු කරන ලදි. දැඩි සත්කාර ඒකකයේ දින තුනක් පුරා කාලයක් ගත කළ පසිඳු, ජූලි මාසයේ සිට මේ දක්වා පැවති කිසිදු තරගයකට සහභාගී වූයේ ද නැත.

සැප්තැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත වලවේ සුපර්ක්‍රොස් තරග පිළිබඳ පසුගිය දා ශ්‍රී ලංකා ඉංජිනේරු හා යාන්ත්‍රික බලකා පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව පසිඳු ThePapare.com වෙත ප්‍රථම වරට අනතුර ගැන අදහස් දැක්විය.

අනතුරින් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පසිඳු දැක්වූයේ මෙවන් අදහසක්,

“ඇත්තටම දැන් නම් ගොඩක්ම හොඳ තත්වයේ ඉන්නවා, මොකද මගෙත් රේස් ඉතිහාසයේ සිදු වුන දරුණුම ඇක්සිඩන්ට් එක මේක. මම කවදාවත් ඇක්සිඩන්ට් එකක් වෙලා රෝහලේ ඉඳලා නැහැ. නමුත් මේ සැරේ දැඩි සත්කාර ඒකකයේත් දවස් තුනක් හතරක් ඉන්න වුනා”.

මාස දෙකකට ආසන්න කාලයක් මෝටර් රථ තරගවලින් ඉවත්වී සිටි පසිඳු, වලවේ සුපර්ක්‍රොස් තරගාවලියේ සිට නැවතත් සුක්කානම අතට ගැනීමට සුදානම් බව අපට දැනුම් දුන්නේය.

“වලවේ සුපර්ක්‍රොස් එක තමයි ඇක්සිඩන්ට් එකට පස්සෙ දුවන පළවෙනි රේස් එක, ඇත්තටම කාර් එක නම් තාම හදල ඉවර නැහැ. නමුත් මගෙ පරණ කාර් එක, මම රේස්වලට ආපු පළවෙනි කාර් එකම (නැවත) හදා ගත්තා”

ඉතා බිහිසුණු අනතුරකට මුහුණ දීමෙන් පසුව ඉතා සුළු කාලයකින් නැවත තරගවලට ඉදිරිපත් වීමට හේතුව විමසමින් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් පසිඳු,

“මේක (මෝටර් රථ තරග) ඇඟට විදගත්ත ලේ වල තියෙන දෙයක් වෙලා තියෙන්නේ, පහුගිය රේස් දෙක තුන යනකොට මට ගෙදර ඉඳලා රේස් බලන්න බැහැ. ඉතින් මම පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ල හිටියා, ඒත් හොරෙන් ටෙලිෆෝන් එක අරන් මොකද වුනේ කියල බලනවා, ඉතින් එක ඇඟට කාවැදිලා තියෙන්නේ.”

ත්‍රාසයෙන් පිරි මෝටර් රථ තරගාවලි තුල වේගවත්ම ඉසව්වක් ලෙස සැලකෙන SL GT සුපර් කාර් ඉසව්වේ තම එඩිතර සහ ආකර්ෂණීය ධාවන රටාව නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කර ගැනීමට සමත්වී ඇති පසිඳු පිරිස්, නැවත තරග බිමට පිවිසීම, ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාට සුබදායි පුවතක් වනු නොඅනුමානයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<