දිනේෂ් පැරාවලදී රට දිනවූ කතාව

155
Paralympic medalist Dinesh Priyantha

වුල රකින්නට ගොස්‌ අධ්‍යාපනය අට වසරෙන් නැවතුණි. රට රකින්නට ගොස්‌ එක්‌ අතක්‌ අප්‍රාණික විය. එහෙත් මේ වීර පුත්‍රයා තනි අතින් රටට ගෙන ආ හැකි ඉහළම ජයග්‍රහණයක්‌ පැරාලිම්පික්‌වලදී ගෙන දුන්නේය.

ඒ හපන්කම කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් ගැන දැන් රටම කතා කරති. එහෙත් ඔහු කොටින්ගේ වෙඩි උණ්‌ඩයට බිය නොවී ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දෙවැනි පැරාලිම්පික්‌ පදක්‌කමක්‌ ගෙන ඒමට දැරූ අපමණ වෙහෙසේ ආගිය කතාව රටම නොදනිති. පදක්‌කමටත් එහා ගිය කීර්තියත් ඉන් ඔබ්බට ගිය ආත්ම ශක්‌තියත් සමගින් ලෝකය සමග ඔට්‌ටුවන්නට හැකි බව පෙන්වූ දිනේෂ් ගැන නොදන්නා දෑ රටට හෙළි කිරීමට ‘දිවයින ඉරිදා ක්‍රීඩා සංග්‍රහය’ දිනේෂ් සමග කතිකාවතකට මුල පිරුවෙමු. ඒ කතාව රසවත්ය. බියකරුය. ආදර්ශමත්ය. එබැවින් ශ්‍රී ලංකාවේ පදක්‌කම් අහේනිය සංසිඳවීමට මේ රණ ශූරයා කළ වික්‍රමයටත් එහා ගිය කතාවක්‌ මෙහි ගැබ්ව තිබේ.

යුද හමුදා ජීවිතය සහ ආබාධයට පත් වුණ කාලය ගැන සඳහනක්‌ කළොත්…?

2005 මාර්තු 18 වැනිදා තමයි මම මුලින්ම යුද හමුදාවට සම්බන්ධ වුණේ. සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ තමයි මම පුහුණුව ලබන්නේ. මාස 9ක පුහුණුවකින් අනතුරුව 3 වැනි ගජබා රෙජිමේන්තුවට මාව අනුයුක්‌ත කළා. පස්‌සෙ මානුෂීය මෙහෙයුමේදී 57 වැනි සේනාංකයට 3 වැනි ගජබා රෙජිමේන්තුව අනුයුක්‌ත කළා. අක්‌කරයායන්කුලම්, කිලිනොච්චි වන්නි මානුෂික මෙහෙයුමේ කටයුතු සඳහා. ඊට පස්‌සේ 2008 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා තමයි කිලිනොච්චි ප්‍රදේශයේදී මට වෙඩි වැදුණේ.

වෙඩි ප්‍රහාරයට ලක්‌ වෙනකොට යුද හමුදාවට සම්බන්ධ වෙලා කොච්චර කල්ද…?

වසර 4 ක්‌ පමණ කාලයක්‌ වෙනවා.

වෙඩි වැදුණට පස්‌සේ සිහි කල්පනාවක්‌ තිබුණද…? එහෙම තිබුණා නම් මොන වගේ දෙයක්‌ද ඒ වෙලාවේ හිතුණේ…?

වන්නි මානුෂීය මෙහෙයුමේදී මම හිටියේ පළමුවැනි ආරක්‌ෂක වළල්ලේ. මගේ වම් අතට තමයි මුලින්ම වෙඩි වැදුණේ. උණ්‌ඩ 3 ක්‌ම වැදුණා එක පාරම. ඒ වෙලාවේ ගොඩක්‌ ලේ ගියා. පස්‌සේ මගේ යාලුවෙක්‌ වෙඩි අස්‌සේම තුවාලෙ බැන්දා. ඒත් ත්‍රස්‌තවාදීන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරපු නිසා මට කර කියාගන්න දෙයක්‌ නැතිව ගියා. මොකද පස්‌සට යන්න විදියක්‌ කොහෙත්ම තිබුණේ නැහැ. පස්‌සේ ඉන්න අයටත් මාව ගන්න එන්න හැකියාවක්‌ තිබුණේ නැහැ. මොකද ඔවුන් ආවොත් ඒ එන එක්‌කෙනාටත් වෙඩි වදිනවා. කොහොම හරි වෙඩි වැදිලත් පැයක්‌ විතර යනකම් මම ඒ ස්‌ථානයේම හිටියා. පස්‌සේ තනියම ආපස්‌සට දිව්වා. මම හිටපු තැන ඉඳන් දෙවැනි ආරක්‌ෂක වළල්ලට මීටර 600ක විතර දුරක්‌ තිබ්බා. ඒ යද්දිත් අනිත් අතටත් ආටි කෑල්ලක්‌ වැදිලා ඒකත් තුවාල වුණා. ඒ ආටි එක මම යන තැනට මීටර 50 ක්‌ 60 ක්‌ එහායින් වැටුණේ. ඒක නිසා කෑල්ලක්‌ විතරක්‌ වැදිලා මම බේරුණා. හිතේ තිබුණ ෆිට්‌ එක නිසාම ලේ බේරි බේරි මම දෙවැනි ආරක්‌ෂක වළල්ලට දිව්වා. පස්‌සේ එතන හිටපු සෙබලු මාව කරේ තියාගෙන අරන් ගියා.

ජීවිතය අහිමි වෙයි කියලා බයක්‌ දැනුනේ නැද්ද..?

ඒ වගේ දෙයක්‌ නම් කල්පනා වුණේ නැහැ. ඒත් එනකොට ආටි කෑල්ලක්‌ වැදුණම නම් ටිකක්‌ බය හිතුණා.

වෙඩි වැදුණට පස්‌සේ කොච්චර කලක්‌ අත් දෙකට ප්‍රතිකාර කළාද…?

අවුරුදු 2ක්‌ විතර ප්‍රතිකාර ලැබුවා. යුද හමුදා රෝහලේ තමයි ප්‍රතිකාර ගත්තේ.

වෙඩි වැදුණහම කොයි වගේ හැගීමක්‌ද දැනුණේ…?

ආබාධිත නෑ කියලම තමයි හිතුවේ.

ආබාධිත්වයට පත් වුණාම ඉදිරි කාලය කොහොම ගෙවන්න ඕන කියලද හිතුවේ…?

ඇත්තටම පැරා ක්‍රීඩාවක්‌ කියලා දෙයක්‌ ගැන මම දැනගෙන හිටියේ නැහැ. ආබාධිත වුණාට පස්‌සෙත් ඒ ගැන මම දැනගෙන හිටියේ නෑ ඒ ගැන. වැටුප හම්බවෙනවා කියලා දන්නවා. ඒ වැටුපෙන් මගේ බිරිඳ සහ දරුවන් එක්‌ක ජීවත් වෙන එක ගැන තමයි මම හිතුවේ.

ඔබගේ පාසල් කාලය ගෙවුනේ කොහොමද… මොනවද ඒ කාලෙද ඔබ කරපු ක්‍රීඩා…?

එතරම් දිගු පාසල් කාලයක්‌ මට තිබුණේ නැහැ. නිවාසාන්තර ක්‍රීඩා තරගවලට මම සහභාගිවුණා. ඒ කාලෙ මම කළේ යගුලියයි, කවපෙත්තයි, උස පැනීමයි.

ඒ කියන්නේ පාසල් කාලයේදී හෙල්ල විසි කළේ නැද්ද…?

හෙල්ල අල්ලලාවත් නැහැ.

ඒ කරපු ක්‍රීඩා වලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවද…?

ඔව්. මම චැම්පියන් වෙලා තියෙනවා. නමුත් නිවාසාන්තර තරගවලින් එහා තරගවලට මම සහභාගිවෙලා නැහැ.

ආබාධිත සෙබලෙක්‌ වුණාට පස්‌සේ පැරාලිම්පික්‌ වලට පිවිසුණ හැටි මතක්‌ කළොත්…?

ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රඳවා ගැනීම් කණ්‌ඩායමේ ඉන්නකොට පැරා සම්බන්ධව කටයුතු කරන සාජන් දසනායක කියලා කෙනෙක්‌ හරහා තමයි පැරා තරගවලට සම්බන්ධ වීමට අවස්‌ථාව උදාවුණේ. එයා මාව දැකලා කිව්වා මල්ලි නියම ක්‍රීඩාවක්‌ තියෙනවා අපි කරමුද කියලා. ඒත් මගේ නිවසේ ඉඳන් සාලියපුරට තියෙන දුර හින්දා මම කිව්වා මට එන්න බෑ කියලා. මොකද එයාලා ඉන්න සාලියපුරට අපේ ගෙදර ඉඳන් කිලෝ මීටර 60ක්‌ විතර තියෙනවා. ගජබා රෙජිමේන්තුව තියෙන්නේ මගේ නිවසේ ඉඳන් කිලෝමීටර 4ක දුරක්‌. දුරක ගිහින් රාජකාරි කරනවාට වඩා නිවෙස ළඟම ඉඳලා රාජකාරි කරන්නම් කියලා මම කිව්වා. ඒත් එයාලා ඇහුවේ නැහැ. ඔයාට ලොකු දෙයක්‌ කරන්න පුලුවන්, මල්ලි යන් කියලා මාව එක්‌කගෙන ගියා.

හෙල්ලයක්‌ අල්ලාවත් නැති ඔබගේ මොන වගේ දක්‌ෂතාවයක්‌ ඔහු දැකලා තියෙන්නේ…?

විශේෂයෙන්ම මගේ ඇග පත දැකලා තමයි. ඒ වගේම මට හොඳට ක්‍රිකට්‌ ගහන්න පුලුවන්. ආබාධිත වෙලා ඉද්දි ක්‍රිකට්‌ ගහද්දී මම තනි අතින් හයේ පහරවල් ගැහුවා. ඒ වගේම වේගයෙන් පන්දු යවන්නත් පුලුවන්. ආබාධයට ලක්‌වෙලා ඉදිද්දීත් මට පැයට කිලෝ මීටර 135ක වේගයෙන් පන්දු යෑවීමට හැකියාව තියෙනවා.

ඒ අරන් ගියාට පස්‌සේ 2011 වසරෙදි යුද හමුදා පැරා තරගාවලියට සහභාගිවුණා. ඒක තමයි මගේ පලමු තරගාවලිය. ඒකෙදි මම හෙල්ලයි, යගුලියයි කවපෙත්තයි කළේ. ඒකෙදි එතෙක්‌ යුද හමුදා පැරා තරගාවලියේ තිබ්බක වාර්තා ඔක්‌කොම බිඳ දමලා ඉසව් තුනෙන්ම මම රන් පදක්‌කම් 3 ම දිනුවා. ඒ වගේම එෆ්-46 කාණ්‌ඩයේ දක්‌ෂතම ක්‍රීඩකයා සම්මානයත් මම දිනාගත්තා.

හෙල්ල විතරක්‌ අතට ගත්තෙ කොහොමද…?

ඒ තරගාවලියෙන් පස්‌සේ මම අර කලින් කිව්වේ සාජන් දසනායක කියන කෙනා මාව උතුරු මැද පළාතේ මලල ක්‍රීඩා පුහුණුකරු අනුර ප්‍රීති කුමාර මහතාට භාර දුන්නා. මාස 7ක්‌ පමණ එයා යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළා. එහිදී පළමු වසරෙම මීටර 49.80ක්‌ වාර්තා කිරීමට මට හැකි වුණා. ඊට පස්‌සේ 2012 මැලේසියානු තරගාවලියකට යන්න අවස්‌ථාව උදා වුණා. ඒකෙදි මීටර 51.17ක්‌ විසි කරලා රන් පදක්‌කම දිනාගත්තා. ඊට පස්‌සේ 2013 වසරේ තිබුණු ලෝක ශූරතාවට යන්න මට බැරි වුණා. මගේ කකුලයි අතකුයි ආබාධයට ලක්‌ වුණ නිසා අවාසනාවන්ත විදියට මට ඒ තරගාවලිය අහිමි වුණා. පස්‌සේ 2014 ආසියානු තරගාවලියට කොරියාවට ගිහිල්ලා සිව්වැනියා වුණා.

ඔය කියන කාලයේදී ඒ තරගාවලි සඳහා වියදම් දැරුවේ කව්ද..?

යුද හමුදාවෙන් තමයි සියලුම වියදම් දැරුවේ. ඊට පස්‌සේ තමයි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනික්‌ කටයුතුවලට පහසුකම් ලබා දුන්නේ.

ඔබ පරිසාදන මට්‌ටම ඉක්‌මවමින් ඔලිම්පික්‌ වරම් දිනාගත් ක්‍රීඩකයෙක්‌. ඒ ගැනත් මතක්‌ කළොත්…?

ඒක සිද්ධ වුණේ 2016 ජර්මනියේ පැවැති තරගාවලියේදී. ඒක තමයි ඔලිම්පික්‌ සුදුසුකම් ලැබීම සඳහා තිබුණු අවසන් තරගාවලිය. මම ඒ තරගාවලියට සහභාගිවෙලා මීටර 53.69ක දක්‌ෂතාවයක්‌ වාර්තා කළා. ඒ දක්‌ෂතාවය පැරාලිම්පික්‌ තරගාවලියට සුදුසුකම් ලබාගන්න තරම් ප්‍රමාණවත් වුණා. ඒක තමයි එතෙක්‌ මම වාර්තා කරන ලද හොඳම දක්‌ෂතාවය.

මාස 6කට පෙර ක්‍රීඩාව තිත්ත වුණු කතාවකුත් ඔබ කළින් කිව්වා…? ඒ ඇයි…?

ඇත්තටම මට හිතුණා මට ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට අවස්‌ථාවක්‌ නැති වෙයි කියලා. මොකද එතකොට වෛද්‍ය හේතූන් මත මම යුද හමුදාවෙන් ඈත් වෙලයි හිටියේ. මුලු වැටුප ගෙවනවා. රාජකාරි කරන්න අමාරු නිසා ගෙදරට වෙලා හිටියා. මට ගෙදර අය එක්‌කත් ඉන්න ඕන කමකුත් තිබුණා. ඒත් ඒ ගියාට යුද හමුදා නිලධාරීන් ඉන්න දුන්නේ නැහැ. පුතා ඔයාට පුලුවන් දෙයක්‌ කරන්න කියලා සියලු අඩුපාඩුකම් මග හරවලා නැවත මාව ක්‍රීඩා කටයුතු වලට ගත්තා. ඊට පස්‌සේ තමයි මම ජර්මනියට යන්නේ.

මාස 6කට කළින් ක්‍රීඩාව එපා වෙච්ච මනුස්‌සයාට ලෝකය ජය ගන්න ශක්‌තිය ආවේ…?

ජර්මානු තරගාවලිය තමයි මගේ හිතට ආත්ම විශ්වාසය ආපු තරගාවලිය. මොකද මගේ පැරා ක්‍රීඩා කාලයේ වැඩිම දුරක්‌ වුණු මීටර 53.69 ක දුරක්‌ හෙල්ල විසි කරේ මේ තරගාවලියේදි නිසා. ඒ වගේම මගේ පිටුපසින් තවත් ක්‍රීඩකයෙක්‌ සිටීමත් මේ ජයග්‍රහණයට ලොකු රුකුලක්‌ වුණා. මාත් එක්‌ක ඔලිම්පික්‌ තරගාවලියට ගිය ගාමිණී ඒකනායක. එයා මගේ පිටුපසින් එනවා මාව හඹාගෙන. ඒ තරගාවලියේදි අනිල් මීටර 51 දශම ගාණක්‌ වාර්තා කළා. කරට කර අපි දෙන්නා හිටියේ

මෙතෙක්‌ ආපු ගමන් මගේ අපහසුතාවයට පත් වෙච්ච සිදුවීමක්‌ එහෙම තියෙනවද…?

නැහැ. එහෙම ලොකු ප්‍රශ්න නැහැ. තියෙන්න ගෙදර යන්න එන්න තියෙන අපහසුතාවය තමයි. ඒ එක්‌කම ඒ කාලදි මගේ බිරිඳට දෙවැනි දරුවා හම්බ වෙන්න හිටියා. ඒ තත්ත්වය මත බිරිඳව දාලා එන්නත් අපහසුතාවයත් තිබුණා. කොහොමත් දුව ලැබුණාට පස්‌සේ තමයි මං කොළඹ ආවේ.

අවසන් තරගකරුවන් 8 දෙනා අතරට තේරුණාම කොයි වගේ හැගීමක්‌ද දැනුණේ…?

ඇත්තටම ලොකු සතුටක්‌ දැනුණා. ඒත් ටිකක්‌ වෙලා යනකොට මට දැනුනා මට අනිවාර්යෙන්ම පදක්‌කමක්‌ තියෙනවා කියලා. මොකද දෙවැනි යොමු කිරීමේදි මීටර 58.23ක දුරක්‌ වාර්තා කිරීමත් සමග ඒ සතුට තවත් වැඩි වුණා.

මම ආයෙත් ටිකක්‌ මුලට යනවා. ඔබ කිව්වා නේද ඔබේ දක්‌ෂතාවය වැඩිවුණේ තවත් ක්‍රීඩකයකු ඔබ සමඟ කරට කර හිටිය නිසා කියලා. ඒ ගැන තව පැහැදිළි කිරීමක්‌ කළොත්…?

ඇත්තටම ඔව්. මම හිතන විදියට ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න නම් වැඩි තරගකාරීත්වයක්‌ තිබිය යුතුයි. තරගකාරීත්වයක්‌ නැති තැනක ක්‍රීඩාව හැදෙන්නේ නැහැ කියන ස්‌ථාවරයෙයි මම ඉන්නේ. මගේ පිටිපස්‌සෙන් කවුරු හෝ ක්‍රීඩකයෙකු හිටියොත් මම පරදින්නෙ නෑ කියන එක මගේ ඔලුවේ නිතරම වැඩ කරනවා. මොකද මම පොඩි කාලෙ ඉඳන්ම පරදින්න අකමැති කෙනෙක්‌ නිසා. ඉස්‌සරහට යන්න තරගකාරීත්වය ඉතාම වැදගත්.

තරග වැදුණු මතකය අවධි කළොත්…?

හෙල්ල යෑවීමේ ක්‍රම 2ක්‌ තියෙනවා. මම මගේ පළමුවැනි එක යෑව්වේ නෝ ඩික්‌ කියන එකෙන්. ඒක යෑව්වේ මම පියවර 5 කින්. එහෙම කරනකොටම මීටර 54.7යි ගාණක්‌ ගියා. එතැනින් මට විශ්වාසයක්‌ ඇති වෙනවා ඊළඟ එක තවත් පියවර වැඩි කරලා යවන්න. එහෙම වුණාම අනිවාර්යයෙන්ම අර වගේ 58 හෝ 59 එනවා කියලා දැනගෙන තමයි මම දෙවැනි එක යොමු කළේ. හිතුවා වගේම ඒක මීටර 58.33 ක්‌ දුරට ගියා.

මීටර 3ක්‌ කියන්නේ එසේ මෙසේ වැඩි වීමක්‌ නොවෙයි නේද…?

ඔව්. එක පාරටම මීටර 3ක්‌ වැඩියෙන් යවනවා කියන්නේ ලේසි නැහැ. ඒත් මගේ හිතේ තිබුණ විශ්වාසයයි, පදක්‌කමක්‌ දිනන්න ඕන කියලා තිබුණ හීනෙයි එකතු වෙලා තමයි මේ දේ සිද්ධ වුණේ. නැත්නම් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෙකු තරගාවලියකට ගියහම තමන්ගේ හොඳම කාලයවත් වාර්තා කරන්නේ නැහැ. මේ ගැන ක්‍රීඩා ඇමැතිතුමා සහ යුද හමුදාපතිතුමා පවා සඳහන් කර සිටියා.

ඔබ ඇයි යුද හමුදාවට බැඳෙන්න තීරණය කළේ. විශේෂයෙන්ම දරුණු යුද්ධයක්‌ පැවැති කාලයකදී…?

ඇත්තටම රට, ජාතිය ගැන ඇත්තටම ආදරයක්‌ හා කැක්‌කුමක්‌ තිබුණ කෙනෙක්‌ මම. ඒකත් ගොඩක්‌ මුල් වුණා හමුදාවට බැඳෙන්න. ඒත් එක්‌කම ආර්ථික අපහසුතාත් තිබුණා. මගේ තාත්තා එච්. එම්. බණ්‌ඩා මහතා. එයා මියෑදෙන්නේ 1999 වසරේදි. එතකොට මට වයස අවු. 13යි. තාත්තා මියෑදුණාට පස්‌සේ මම තමා තනිකරම පවුලේ බර කරට ගත්තේ. මට අක්‌ක කෙනෙක්‌ ඉන්නවා. ඒ වෙනකොට මල්ලිත් පොඩියි. අම්මා තමයි අපිව ජීවත් කළේ. මම ගොඩක්‌ මහන්සි වුණා. කියන්න ලැඡ්ජ වෙන්න ඕන නෑ, මම අනන්තවත් කුලී වැඩ කරලා බදාම අනලා තියෙනවා. එහෙම කරලා ඉස්‌කෝලෙත් ගියා. ගොඩක්‌ම ට්‍රැක්‌ටර් වලින් කුඹුරු හාන එක තමයි මම කළේ. විශේෂයෙන්ම කවුරුත් හාන්නෙ නැති වගල් වගේ අමාරු කුඹුරු මම කළා. ඒ කාලෙ මම ට්‍රැක්‌ටරය කරේ තියාගෙනයි හාන්නේ. මම හානකොට මිනිස්‌සු බලන් ඉන්නවා. ගොවියන්ට බැරි දේවල් මම අරගෙන කරනවා. අම්මයි මල්ලියි අක්‌කයි ජීවත් කළේ එහෙමයි. මට 18 සම්පූර්ණ වෙනකල් බලාගෙන හිටියේ හමුදාවට බැඳෙන්න. එහෙම වුණ ගමන්ම මම හමුදාවට බැඳුනා.

ඔබ කෙතරම් දුරට පාසල් අධ්‍යාපනය හැදෑරූ අයෙක්‌ද…?

මගේ පාසල කාගම ධාතුසේන විදුහල. කළින් කිව්වා වගේ මගේ පාසල් ජීවිතය 8 වසරෙන් ඉවර වෙනවා.

අධ්‍යාපනයට නැඹුරුවක්‌ තිබුණෙම නැද්ද…?

තිබුණා. මට හොඳට ඉගෙන ගන්න පුලුවන්. ආර්ථික අපහසුතා නිසා තමයි මගේ පාසල් ගමන නතර වුණේ. මම කළින් කිව්වා වගේ අම්මයි, අක්‌කයි, මල්ලි ජීවත් කිරීම තමයි මගේ ලොකුම අභියෝගය බවට පත්ව තිබුණේ.

අවසන් වරට පෙනී හිටිය වාර විභාගයේදි පන්තියේ කී වෙනිය වුණා කියල මතකද…?

මට මතක විදියට 8 වැනියා හෝ 9 වැනියා වුණා.

පන්තියෙ ළමයි කීයක්‌ හිටියද…?

හතළිස්‌ ගාණක්‌ හිටියා.

වැඩිම ලකුණු තිබුණේ මොන විෂයයන් වලටද…?

ගණිතයට තමයි වැඩිම ලකුණු තිබුණේ. 80, 90 වගේ ලබාගත්තා.

ඒ කාලේ හිටපු ගුරුවරු ගැන මතකයක්‌ තියෙනවද…?

ගණිතයට හිටියේ මාකට්‌ සර් කියලා සර් කෙනෙක්‌. එයාගේ ඇත්ත නම මාකට්‌ සර්ම තමයි. වැරද්දක්‌ වුණ ගමන්ම ගහන්නේ ගණිත අච්චු පොතෙන් නවලා.

ඒ කාලදි ඔබ දඩබ්බර චරිතයක්‌ද…? දඬුවම් විඳලා තියෙනවද…?

නෑ. මම දඩබ්බර චරිතයක්‌ නොවෙයි. ඒත් වයසේ හැටියට යාලුවොත් එක්‌ක කොල්ලො කරන දඟ වැඩ කරලා කාණ්‌ඩෙත් එක්‌කම ගුටි කාලා තියෙනවා. ඒ වගෙම ඉස්‌කෝලෙ වත්තේ හොරෙන් පොල් පලලා කාළා, වරකා කඩලා කාලා අහුවෙලා ගුටි කාලා තියෙනවා අනන්තවත්.

ඔබේ ළමා කාලය ඉතාමත් කටුකයි. ළමා කාලයක්‌ තිබුණේ නැති ගාණයි කිව්වොත් හරිද…?

ඔව්. ඇත්තෙන්ම එහෙම කිව්වොත් හරි. 8 වසරෙන් පස්‌සේ මගේ ළමා දිවිය නැති වුණ ගාණයි.

ඒ කාලේ කල දේවල පන්නරය ද ඔබට දැන් මේ ලැබිලා තියෙන්නේ කියලා විශ්වාස කරනවාද..?

ඇත්තෙන්ම ඔව්. ඒ ශක්‌තිය තමයි මාව මේ තරම් දුරටකට ගෙනාවේ. මම ඒ කාලේ රෑ එළි වෙනකම් මදුරුවෝ කකා වැලි ගොඩ දමනවා. ඉතාම කටුක ජීවිතයක්‌ මම ගත කළේ. මගේ අම්මා වයි. එම්. කමලාවතී, අම්මට කරන්න දේකුත් නැහැ. කොහොම වුණත් ඒවා දැන් මගේ අමතක නොවන මතකයන් අතරට එකතු වෙලා.

වෙඩි වැදුලා ඉන්නකොට ආයිත් ක්‍රීඩා කරනවා කිව්වාම කොහොමද ගෙදරින් ලැබුණ ප්‍රතිචාරය…?

මුලින්ම අකමැති වුණා. ඒත් සර්ලා නිතරම කතා කරන නිසා පස්‌සේ කිව්වා එහෙනම් ගිහිල්ලා හොඳින් පුහුණුවීම් කරන්න කියලා. ඇය කිව්වේ සර්ලා කතා කරන්නේ අනිවාර්යයෙන්ම මොකක්‌ හරි හේතුවක්‌ තියෙන නිසානේ, මම දරුවෝ බලාගෙන ඉන්නම් කමක්‌ නෑ ඔයා යන්න කියලා. ඒ ලැබුණ ආශිර්වාදය තමයි මට තිබුණේ කියලා අදටත් මම විශ්වාස කරනවා. කොටින්ම කියනවා නම් ඒ පුහුණුවීම් කරපු මාස 6ක කාලයෙදි මම ගෙදර ගියේ දවස්‌ 4ක්‌ විතරයි. කැපවීමෙන් පුහුණුවීම් කළා. හදවතින්ම කරපු නිසා තමයි මේ පදක්‌කම දිනා ගන්න පුලුවන් වුණේ කියලා මම හිතනවා.

පදක්‌කම ජයග්‍රහණය කරාම මුලින්ම කිව්වේ කාටද…?

නෝනට තමයි කතා කරලා කිව්වේ. එතකොට මෙහෙ වෙලාව තුනහමාරට විතර ඇති. මගේ තරගය තියෙනවා කියල දන්න නිසා එයත් නිදාගෙන නැහැ. කොයි වෙලාවෙ හරි කෝල් එකක්‌ එයි කියලා ඇහරිලාම තමයි ඉඳලා තියෙන්නේ. මම කෝල් එක දුන්නට පස්‌සේ එයාටත් ගොඩක්‌ සතුටට පත් වුණා. ඒත් මුලින් කිව්වට එයා විශ්වාස කළේ නැහැ. එයා මගෙන් ඇහුවා බොරුද කියන්නේ කියලා. පස්‌සේ මම කිව්වා නැහැ බොරු නොවෙයි ඇත්ත කියන්නේ කියලා. පැය භාගයකට විතර පස්‌සේ බ්‍රේකින් නිව්ස්‌ වලට ගිහින් තිබුණා.

යුද්ධයේදී ආබාධිතත්වයට පත් නොවුණ නම් මේ වගේ තැනකට එන්න ලැබෙයි කියලා ඔබ හිතනවද…?

දෛවයේ ලියෑවිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේ වෙනවා.

මම ඇහුවේ ආබාධිත සෙබලකු නොවුණ නම් ඔබේ දිවිය කොයි වගේ වෙයිද කියලයි…?

එහෙනම් ඉතිං යුනිට්‌ එකට වෙලා සාමාන්‍ය විදියට ජීවිත කාලයම ගෙවිලා යන්න තිබුණා.

ක්‍රීඩාවේ වීරයෙක්‌ හරි අනුගමනය කරන්නෙක්‌ හරි ඉන්නවද…?

මලල ක්‍රීඩකයෝ නම් මම අනුගමනය කරන්නේ නැහැ. මම ගොඩක්‌ම කැමැති ක්‍රිකට්‌ වලට. කුසල් ජනිත් පෙරේරාට තමයි මම ගොඩක්‌ම ආස කරන්නේ. සනත් ජයසූරියගේ පහරවල් නිසා තමයි ඔහුට කැමැති.

ඒ ඇරෙන්න හෙල්ල විසි කිරීමේ ලෝක ශූරයා හෝ ඒ හා සම්බන්ධ කාවවත් ඔබ අනුගමනය කරන කෙනෙක්‌ නැද්ද…?

නෑ. එහෙම කෙනෙක්‌ වත්, එහෙම ඉතිහාසයක්‌ ගැනවත් අවධානය යොමු කරලා නැහැ.

පවුලේ තොරතුරු බිඳක්‌ කියනවා නම්…?

මගේ බිරිඳ එම්. ඉසංකා මධුවන්ති. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. පුතා ප්‍රමද මෙනුවෙන්. එයාගේ වයස අවු. 5 යි. දුව නිතුණි වර්ෂනා. තාම මාස 6 යි.

ඔබගේ විවාහය ප්‍රේම සම්බන්ධයකින් වූවක්‌ද…?

ඔව්. පාසල් යන කාලෙ ඉඳන්ම තිබුණ සම්බන්ධයක්‌. මම පාසල් කාලය නතර කරපු 8 වසරෙදි විතර තමයි අපි දෙන්න මුලින්ම යාලු වුණේ. යාලුවෙන්න වැඩි කාලයක්‌ ගියේ නෑ. මාසයක්‌ විතර ගියේ. අපි වසර 10ක්‌ විතර පෙම්වතුන් විදියට හිටියා. අපේ සම්බන්ධයට එයාලගේ පැත්තෙන් ගොඩක්‌ බාධා ආවා. ඒත් මම සැලුණේ නැහැ. හමුදාවට ගිහිල්ලා රාජකාරි අකුරටම කළා. එහෙම වුණාම මගේ මාමන්ඩි මට සැලෙන්ඩර් වුණා.

ඔබ පැරාලිම්පික්‌ තරගාවලියට යන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙක්‌ ලෙසින්. නමුත් ඔබ ආපසු එන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කතාබහට ලක්‌වූ චරිතයක්‌ බවට පත්වෙලා…?

ඒ හැඟිම ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරම් සතුටක්‌ දැනෙන්නේ. වෙලාවකට හීනයක්‌ද කියලත් හිතෙනවා. කොටින්ම කියනවා නම් පදක්‌කම දිනුව දවසට පහුවෙනිදා උදේ ඇහැරිලා බැලුවා මම හීනයක්‌ද දැක්‌කේ කියලා. පදක්‌කම ඇද උඩ තියෙනවා දැක්‌කම තමයි හීනයක්‌ නොවෙයි කියලා තේරුම් ගියේ.

මේ ජයග්‍රහණත් සමග ඔබට ලැබුණු දේවල් පිළිබඳව සෑහීමකට පත් වෙනවාද…?

අනිවාර්යයෙන්ම. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ඩයලොග් ආයතනයෙන් ලබා දුන් මුදල් වලට අමතරව මට යුද හමුදාපතිතුමා ලක්‌ෂ 15ක්‌ සහ ගෙයක්‌ සාදා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදුන්නා. ඊට අමතරව මාව සාජන්වරයකු දක්‌වා උසස්‌වීමකුත් ලැබුණා.

ඔබගේ මීලග බලාපොරොත්තුව…තවත් වසර 4 කින් ඒ කියන්නේ ඊලග පැරාලිම්පික්‌ තරගාවලිය වෙද්දි ඔබ කොතැන ඉදියිද…?

ලබන වසරේ ලෝක ශූරතාවලිය තමයි මගේ ඉලක්‌කය. ඒකෙදි මීටර 60 සීමාව පසුකරන්න තමයි මගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. ඒ සඳහා වූ විශ්වාසයක්‌ මට දැන් ඇති වෙලා තියෙනවා.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට