එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) පස්වරුවේ දිවයිනට ළඟා විය.

ඒ අනුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ තූර්ය වාදන ඛණ්ඩය පෙරටු කරගෙන ඔවුන්ව කැඳවාගෙන එන ලදි.

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය දිනේෂ්ට රිදී පදක්කමක්

එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් …

මෙම තරගාවලියේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ G46 ඉසව්ව සඳහා සහභාගී වූ දිනේෂ් ප්‍රියදර්ශන හේරත් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඔහු තරගයේ සිය 4 වෙනි උත්සාහයේ දී මීටර 57.93ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම තහවුරු කර ගැනීමට සමත් වූ අතර මෙය ඔහු ජාත්‍යන්තර තරගාවලියක ලබාගත් දෙවන පදක්කම වේ. ඔහු පසුගිය වසරේ දී පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ දී ද මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ පැරා ඔලිම්පික් තරගාවලියක දී පදක්කමක් ජයග්‍රහණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුක්තව සිටින දිනේෂ් හේරත් 2009 දී කිලිනොච්චියේ දී මුහුණ දුන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තම වම් අත ආබාධිත තත්ත්වයට පත් වූ අතර එතැන් පටන් ඔහු මෙම අංශයෙන් ක්‍රීඩාවෙහි නිරතව සිටී. එමෙන්ම ඔහු ප්‍රදීප් නිශාන්ත මහතා යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරන අතර ඔහු ඔලිම්පික් ක්‍රීඩක සුමේධ රණසිංහ හා වර්තමානයේ ජාතික හෙල්ල විසිකිරීමේ ශූර වරුණ ලක්ෂාන්ගේ ද පුහුණුකරුවා වේ.

තරගාවලියේ දී කමාන්ඩෝ බලකායේ අනිල් ප්‍රසන්න ජයලත් ද T42 දුර පැනීම, මීටර 200 සහ මීටර 100 ඉසව් සඳහා සහභාගී විය. ඔහු දුර පැනීම සහ මීටර 200 ඉසව් දෙකේම 6 වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මීටර 100 තරගයේ පළමු වටයේ දී එහි 3 වන ස්ථානය දිනා ගනිමින් තරගය අවසන් කරන්නට ඔහු සමත් විය. කෙසේ නමුත් එහි අවසන් තරගයේ දී ආරම්භය වැරදි ආකාරයට ගැනීම හේතුවෙන් ඔහුව තරගයෙන් ඉවත් කෙරුණු අතර ඒ අනුව එම ඉසව්වේ පදක්කමක් දිනා ගැනීමට තිබූ බලාපොරොත්තු අහිමිව ගියේය.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වන්නේ අමරා ඉන්දුමතී ය. ඇය T47 තරග අංශයේ දුර පැනීම, මීටර 400 සහ මීටර 200 ඉසව් සඳහා සහභාගී විය. එහි දී දුර පැනීම සහ මීටර 400 ඉසව් දෙකේම 7 වෙනි ස්ථානය දිනා ගැනීමට ඇය සමත් වූ අතර මීටර 200 ඉසව්වේ පළමු වටයේ දී ප්‍රමාද ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී දැක්වූ මෙම විශිෂ්ට දස්කම් වෙනුවෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com සිය සුබ පැතුම් එක් කර සිටින අතර ලෝකය ජය ගැනීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය සහ කැපවීම පමණක් බව ඔවුන් මේ වන විටත් තහවුරු කර අවසන් ය.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට