“ද ප්‍රොෆෙසර්” ක්‍රිකට් අනාගතය පිළිබඳව තීන්දුවක් ගනියි 

80

පාකිස්තානය වෙනුවෙන් වසර 17 ක් වැනි දීර්ඝ කාලයක් තරග දිනවන්නෙකු ලෙස පිත්තෙන් සහ පන්දුවෙන් එක හා සමානව දස්කම් දැක්වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හෆීස් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. 

කෝලි සහ ශර්මා කැන්ගරුවන්ගේ සිහින මානය බිමින් තබයි

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තරග….

38 හැවිරිදි හෆීස් හට නැවත වරක් පාකිස්තාන වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර දීමට පාකිස්තාන තේරීම් කමිටු බළධාරීන් පියවර ගෙන ඇති අතර ඒ අනුව බංග්ලාදේශය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා හෆීස්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවේ. 

2003 වසරේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිය මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරමින් තම ක්‍රීඩා දිවියට පණ දුන් හෆීස් හට මේ දක්වා ආ ගමන තුළ නොයෙකුත් බාධක, හැලහැප්පීම් වලට මුහුණු දෙමින් ඉදිරියට ගමන් කිරීමට අවස්ථා කිහිපයක දීම සිදු විය. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අවස්ථාවන් තුනක දීම අවවාද කොට ඇති අතර 2015 වසරේ දී මාස 12 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර තරග වලදී පන්දු යැවීම තහනම් කරමින් වාරණයක්ද පැනවීමට ICC ය ක්‍රියා කළේය. 

ක්‍රිකට් පිළිබඳව හෆීස් සතුව ඇති හසල දැනුම නිසාවෙන් එරට ක්‍රීඩාලෝලීන් බොහෝදෙනා ඔහුව ආමන්ත්‍රණය කරන්නේ “ද ප්‍රොෆෙසර්” යන අන්වර්ථ නාමයෙනි. නැවත වතාවක් ජාතික කණ්ඩායමේ දොරටු විවෘත කර දෙමින් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බවට මාධ්‍ය අමතමින් ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ හෆීස් සඳහන් කර තිබිනි. 

සීමන්ස් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

සාන්ත කිට්ස් හී වෝනර් පාක් ක්‍රීඩාංගණයේ දී ඊයේ (19) රාත්‍රියේ අවසන්….

“ඇත්තටම පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබෙන සෑම අවස්ථාවක්ම සුවිශේෂීයි. විස්සයි විස්ස ලෝක කුසලානය වන තෙක් සියයට සියයක් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් හැකි සෑම උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.” 

2018 වසරේ දී ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට හෆීස් ටෙස්ට් තරග 55 ක් සඳහා තම දායකත්වය ලබා දී තිබූ අතර එක්දින තරග 218 කට ක්‍රීඩා කරමින් ලකුණු 6614 ක් සහ කඩුලු 139 ක් බිඳ හෙළමින් සීමිත පන්දුවාර තරගයන් හිද කැපී පෙනෙන දස්කම් පෑමට ද ඔහු සමත් විය. 

විස්සයි විස්ස කණ්ඩායමේ ද ප්‍රබල තුරුම්පුවක් ලෙස කටයුතු කරමින් ජයග්‍රහණ රැසකට උරදුන් හෆීස්, එහිදී තරග 89 කට සහභාගී වෙමින් කඩුලු 54 ක් සහ ලකුණු 1904 ක් රැස්කර ගැනීමට සමත්කම් දැක්වූයේය. අවස්ථා 29 කදී නායකත්වයේ වගකීම ද තම කර මත පවරා ගනිමින් තරග වැදුනු ඔහු ඉන් තරග 17 ක ජයග්‍රහණය හිමිකර ගැනීමට ද තම කණ්ඩායම මනාව මෙහෙය වීය. 

විස්සයි විස්ස ලෝක කුසලානය මෙම වසරේ (2020) ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස වලදී ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට මේ වන විට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<