ලෝක පිළ පරදවමින් තරගාවලි ජයග්‍රහණය පාකිස්තානයට

282

ප්‍රේක්ෂකයින් 60,000කට ඉඩ පහසුකම් ඇති ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පුරවාලමින් පැමිණ සිටි සුවිසල් ප්‍රේක්ෂක ජනකාය මධ්‍යයේ ලෝක කණ්ඩායම පරදවා ලකුණු 33ක සුපිරි ජයක් හිමි කර ගැනීමට ඊයේ (15) සත්කාරක පාකිස්තාන කණ්ඩායමට හැකි විය.

ඒ පුරා වසර 8කටත් වැඩි කාලයක් තම මව්බිමේ ක්‍රිකට් තරග අහිමිව සිටි පාකිස්තානු ප්‍රේක්ෂකයින්ට නැවතත් ක්‍රිකට් වසන්තය උදාකර දෙමිනි. ඊයේ තරගයේ ජයග්‍රහණය සමඟින් තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජය ගත්තේ ද පාකිස්තානයයි.

පාකිස්තානය දණ නමයි; තිසර පෙරේරා ලෝකය බේරා ගනියි!

ලොව ඕනෑම සුපිරි ප්‍රහාරකයෙකුට අපහසු අන්දමේ අභියෝගයක් පසුපස සාර්ථකව හඹා ගොස් තම කණ්ඩායමට පෙරළිකාර ජයග්‍රහණයක් අත්කර..

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ලෝක කණ්ඩායමේ නායක ෆැෆ් ඩු ප්ලෙසිස් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. පසුගිය තරගයේ දී ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පන්දු 19ක දී නොදැවී ලකුණු 47ක් ලබා ගනිමින් සාර්ථක හඹායෑමක් සිදු කිරීම නිසා මෙවරත් එම සැලසුම සඵල වනු ඇති බවට ඔහුගේ අදහස වන්නට ඇත. අනෙක් අතට අම්ලා, ප්ලෙසිස් වැනි විශ්වාසවන්ත පිතිකරුවන් මෙන්ම මිලර්, සැමී සහ තිසර වැනි සුපිරි ප්‍රහාරකයින් ඇතුළත් ලෝක කණ්ඩායමට ලකුණු හඹා යෑම වාසි සහගත වනු ඇති බව බොහෝ දෙනා තුල තිබූ විශ්වාසයයි.

මෙවන් නමගිය පිතිකරුවන් රැසකට එරෙහිව තරගයක් ලබා දීමට නම් විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීම අනිවාර්ය බව වටහාගත් පාකිස්තානු පිතිකරුවන් ද ඉතාමත් වගකීමකින් යුතුව ඉනිම ගොඩ නැගීමට ඊයේ දිනයේ දී සමත් වූහ. එහි දී පළමු කඩුල්ල වෙනුවෙන්ම ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතරේ ගොඩ නැගුණු ලකුණු සබඳතාවය 61කි. ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ඒ වෙනුවෙන් ලකුණු 27ක් රැස් කරමින් ආධාර විය. පාකිස්තානු පිළට ජය මාවත විවර කර දෙන සුපිරි ශතක සබඳතාවය ගොඩ නැගෙන්නේ එතැන් සිටයි.

11

දකුණත් ආරම්භක පිතිකරු අහමඩ් ශෙෂාඩ් සහ තරගාවලිය පුරාවට සාර්ථක වූ බාබර් අසාම් එහි කොටස් කරුවන් බවට පත්වූහ. පන්දුවාර 18ක් වනතුරුම කඩුල්ලේ රැඳෙන ඔවුන් දෙදෙනා පාකිස්තානු ඉනිම ලකුණු 163ක් දක්වාම ඉහළට ගෙන එන්නට සමත් වූහ. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අහමඩ් ශෙෂාඩ්ට ඊයේ තම ශතකය අහිමි වී ගියේ ලකුණු 11කිනි. පන්දු 55ක් පමණක් වැයවුණු මෙම විශිෂ්ට ඉනිමට දැකුම්කළු හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් විය. ඉනිමේ නැංගුරම බවට පත්වූ බාබර් අසාම් පන්දු 31ක දී ලකුණු 48යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් අන්තර්ගත විය.

සුපුරුදු පරිදි ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු වේගය ඉහළ දැමූ ශොයිබ් මලික් පන්දු 7ක දී නොදැවී ලකුණු 17ක් රැස් කළේය. පාකිස්තානු මුල්පෙළ පිතිකරුවන් දැක්වූ මෙම දක්ෂතා නිසා ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 183ක් වාර්තා කර ගැනීමට ද සමත් විය. තම අවසන් පන්දුවාරයේ දී බාබර් අසාම් සහ ඉමාඩ් වසීම් දවාගත් තිසර පෙරේරා ඊයේ දිනයේ සිය පන්දු යැවීම නිමා කළේ ලකුණු 37ට කඩුලු 2ක් දවා ගනිමිනි. ඔහු හැරුණුකොට ලෝක කණ්ඩායමේ අනෙක් කිසිදු පන්දු යවන්නෙකු ඊයේ කඩුලු දවා ගත්තේ නැත.

22

ඒ අනුව තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 184ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායමට ඊයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 150ක් පමණි. ලෝක කණ්ඩායමේ ඉනිම ඉදිරියට රැගෙන යාමට සිටි දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩකයින් දෙපළ වන හෂිම් අම්ලා (21) සහ ෆැෆ් ඩු ප්ලෙසිස් (13) යන දෙදෙනාම අනවශ්‍ය ලකුණු කරා දුවගොස් දැවී යාම මෙම පරාජයට මූලික හේතුව බවට පත්විය. මීට අමතරව අත්හදා බැලීමක් ලෙස අංක 3 පිතිකරුවා බවට පත්වූ බෙන් කටින් ලකුණු 5කට ද, තරගාවලියේ මුල්ම තරගයට එක්වුණු ජෝජ් බෙයිලි ලකුණු 3කට ද සීමා විය.

මුල්පෙළ නාය ගිය මොහොතේ නැවතත් ප්‍රහාරයක් එල්ල කරමින් ලෝක කණ්ඩායමේ දෛවය වෙනස් කිරීමට තිසර පෙරේරා ඊයේ දිනයේදීත් උත්සාහ දැරූව ද, එම ප්‍රයත්නය එතරම් සාර්ථක වූයේ නැත. ඒ පන්දු 13ක දී ලකුණු 32ක් රැස් කරගෙන සිටි ඔහු රුමාන් රයීස්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය බැවිනි. කෙසේ වෙතත් පිට පිටම එල්ල කරන ලද හයේ පහර 3ක් සහ තවත් හතරේ පහර 2ක් සමඟින් තිසර ඊයේත් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. මීට අමතරව ඩේවිඩ් මිලර් ලකුණු 32ක් ද (පන්දු 29), ඩැරන් සැමී ලකුණු 24ක් ද (පන්දු 23) රැස් කර ගත් නමුත් ඔවුන්ගේ ප්‍රහාරක වේගය අදාළ ඉලක්කය පසුකර යාමට තරම් ප්‍රමාණවත් නොවීය.

33

ඒ අනුව ලෝක කණ්ඩායමට තරග අවසානයේ උරුම වූයේ ලකුණු 33ක පරාජයකි. පන්දු යැවීමේ දී හසන් අලි ලකුණු 28කට කඩුලු 2ක් බිඳ හෙලද්දී ඉමාඩ් වසීම්, උස්මාන් කාන් සහ රුමාන් රයීස් එක් කඩුල්ල බැගින් දවාලූහ. තරගයේ වීරයා සම්මානය සම්මානය සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අහමඩ් ශෙෂාඩ්ටත්, තරගාවලියේ වීරයා සම්මානය නොකඩවා පිත්තෙන් දස්කම් දැක්වූ බාබර් අසාම්ටත් හිමි විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළේ මැද පෙරදිග තරග සංචාරය අත ළඟ තිබිය දී පාකිස්තානුවන් ලෝක කණ්ඩායම පරාජය කරමින් දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතා, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් තුල ඇති කරන්නේ නම් සුබවාදී ආකල්ප නොවේ.

පාකිස්තානය – කඩුලු 4ක් දැවී ලකුණු 183 (පන්දුවාර 20): අහමඩ් ශෙෂාඩ් 89, බාබර් අසාම් 48, ෆකාර් සමාන් 27, ශොයිබ් මලික් 17*, තිසර පෙරේරා 2/37.

ලෝක කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 150 (පන්දුවාර 20): තිසර පෙරේරා 32, ඩේවිඩ් මිලර් 32, ඩැරන් සැමී 24*, හෂිම් අම්ලා 21, තමිම් ඉක්බාල් 14, හසන් අලි 2/28, රුමාන් රයීස් 1/20.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට