පාකිස්තානය දණ නමයි; තිසර පෙරේරා ලෝකය බේරා ගනියි!

3568

ලොව ඕනෑම සුපිරි ප්‍රහාරකයෙකුට අපහසු අන්දමේ අභියෝගයක් පසුපස සාර්ථකව හඹා ගොස් තම කණ්ඩායමට පෙරළිකාර ජයග්‍රහණයක් අත්කර දීමට ඊයේ (13) ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සමත් විය.

ඒ ලෝක කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි විස්සයි විස්ස තරගය අතරතුරදීයි. තිසර එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් නොනැවතී පන්දුවෙන් ද දක්ෂතා දක්වමින් ප්‍රතිවාදී කඩුලු ද්විත්වයක් ද බිඳ හෙලීය.

ඊයේ තරග ආරම්භයේ දී කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක මොහොමඩ් සෆ්රාස් දෙවරක් නොසිතාම තීරණය කළේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමටයි. පෙර දිනයේ පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුර දී සුපිරි පිති හරඹයක යෙදෙමින් ලකුණු 197ක් රැස්කළ තම පිතිකරුවන් කෙරෙහි ඔහු තුල තිබූ බලවත් විශ්වාසය මෙම තීරණයට හේතු වන්නට ඇත. ඒ අනුව ඉනිම ඇරඹූ පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ෆකාර් සමාන් සහ අහමඩ් ශෙෂාඩ් පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 41ක් රැස් කිරීමට සමත් වූහ.

ලෝක බලවතුන් පරදා පාකිස්තානයට ලකුණු 20ක ජයක්

මීට දශක දෙකකට පමණ පෙර ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් බල කඳවුර ලෙසින්…

AFP PHOTO
AFP PHOTO

වැරෙන් පන්දුවට පහර දුන් ෆකාර් සමන් ඊයේ පන්දු 13ක් තුල දී ලකුණු 21ක් රැස්කර ගත්තේ හතරේ පහර 4ක් සමඟිනි. විස්සයි විස්ස තරග රටාවේ පෙරළිකාරයෙකු වන කොදෙව් ක්‍රීඩක සැමුවෙල් බද්රිගේ පන්දුවක් හමුවේ දැවී නොයන්නට සමාන් ඊයේ දිනය තම පිත්තෙන් වර්ණවත් කරන්නට ඉඩ තිබුණි. ඉන් අනතුරුව පෙර තරගයේ දී ශතක සබඳතාවයක් ගොඩ නගමින් පාකිස්තානයට ජය මාවත පෙන්වා දුන් බාබර් අසාම් සහ අහමඩ් ශෙෂාඩ් පිටියේ එක්වූ අතර ඔවුන් දෙදෙනාගෙන් අද දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 59ක් එකතු විය.

ක්‍රම ක්‍රමයෙන් තම ලකුණු වේගය වැඩි කර ගත් අහමඩ් ශෙෂාඩ් අවසානයේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 43ක් රැස්කර ගත්තේය. ඒ පන්දු 34කට පමණක් මුහුණ දෙමිනි. මේ වන විට පාකිස්තානය සතු විශ්වාසනීයම පිතිකරුවා වන බාබර් අසාම් අදත් පන්දු 38ක දී ලකුණු 45ක් රැස්කර ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. කෙසේ වෙතත් ලෝක කණ්ඩායම සතු සුපිරි දඟපන්දු යවන්නන් යුගලය වන ඉම්රාන් තහීර් සහ සැමුවෙල් බද්රි යන දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ක්‍රීඩාගාරයට හැරී යන්නට ඔවුන් දෙදෙනාට සිදු විය.

කවදත් පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන ශොයිබ් මලික් පන්දු 23ක දී ලකුණු 39ක් රැස්කර ගත්තේය. ඔහුගේ වේගවත් ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. අවසානයේ ඔහු දැවී ගියේ බෙන් කටින් එවූ පන්දුවකට පෝල් කොලින්වුඩ් ඉදිරියට පැන රැකගත් සුපිරි උඩපන්දුවක් නිසාවෙනි. මේ වන විට 41 වැනි වියේ පසුවන මෙම එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා අද කඩුලු කිසිවක් දවා නොගත්තත් තම ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගෙන යන අපූරුව තරගය පුරාවට මනාව පැහැදිලි විය.

AFP PHOTO
AFP PHOTO

පෙර දිනයේ පාකිස්තානු පිතිකරුවන් අතින් දැඩි ප්‍රහාරයකට ලක්වූ තිසර පෙරේරා ඊයේ සාර්ථක පන්දු යැවීමක යෙදෙමින් පන්දුවාර 3ක් යවමින් ලකුණු 23ක් පමණක් ලබා දුන්නේය. ඒ අතරතුර දී ඔහු දක්ෂ පිතිකරුවන් දෙපළක් වන මොහොමඩ් සෆ්රාස් සහ ඉමාඩ් වසීම් දවා ගැනීමට ද සමත් විය. අවසානයේ පාකිස්තානු ඉනිම දැක්වුනේ පන්දුවාර 20 අවසානයේ ලකුණු 174ට කඩුලු 6ක් වශයෙනි. තිසරට අමතරව සැමුවෙල් බද්රි කඩුලු 2ක් දවාගත් අතර ඉම්රාන් තහීර් සහ බෙන් කටින් අතරේ ඉතිරි කඩුලු 2 බෙදී ගියේය. අද දිනයේ කඩුලු දවා ගැනීමට අසමත් වුවද දකුණු අප්‍රිකානු ක්‍රීඩක මෝර්නේ මෝර්කල් තම පන්දුවාර 4 ලකුණු 20ක් පමණක් ලබා දෙමින් නිමා කළේය.

ඒ අනුව ලකුණු 175ක ඉලක්කයක් හඹා යාම සඳහා ලෝක කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ තමීම් ඉක්බාල් සහ හෂිම් අම්ලායි. වේගවත් පිතිකරණයක යෙදුණු ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක් එක් කළහ. එහි දී බංග්ලාදේශ වමත් පිතිකරු තමීම් ඉක්බාල් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 19ක් තුල දී ලකුණු 23ක් රැස්කර ගත්තේය. සොහෙල් කාන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාමෙන් පසු පිටියට පිවිසි ටිම් පේන් ද ලකුණු 10ක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ ලෝක කණ්ඩායමට පීඩනයක් එල්ල කරමිනි.

සංගාගෙන් තවත් දස්කමක්

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ…

ඉන් අනතුරුව හෂිම් අම්ලා සහ නායක ෆැෆ් ඩු ප්ලෙසිස් අතරේ ගොඩ නැගුණු ලකුණු 35ක සබඳතාවය නිසා ජයග්‍රහණ බලාපොරොත්තු තවදුරටත් රැක ගැනීමට ලෝක කණ්ඩායමට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් හයේ පහර 2ක් සමඟින් පන්දු 14කින් ලකුණු 20ක් ලබාගෙන සිටි ෆැෆ් ඩු ප්ලෙසිස් දවා ගැනීමට මොහොමඩ් නවාස් සමත් වීමත් සමඟ ලෝක කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය රඳවා ගැනීම අසීරු වන බවක් පෙනෙන්නට තිබුණි. පන්දු වාරයකට ලකුණු 12කටත් වැඩියෙන් අවශ්‍ය වූ මේ මොහොතේ ඩේවිඩ් මිලර්, පෝල් කොලින්වුඩ් වැනි පිතිකරුවන්ට වඩා ලෝක කණ්ඩායම විශ්වාසය තැබුවේ ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙතයි.

AFP PHOTO / AAMIR QURESHI
AFP PHOTO / AAMIR QURESHI

එම මොහොතේ අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් සුපිරි පිතිකරු හෂිම් අම්ලා පවා තම පිතිකරණ රිද්මය හඳුනා ගැනීමට නොහැකිව දෙගිඩියාවකින් සිටි නිසා තිසරට පන්දුවාර කිහිපයක් පුරාවට ප්‍රහාරයක් දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාම අසීරු වන බව පෙනෙන්නට තිබුණි. නමුත් ඒ සියල්ලටම වඩා තිසර සතුවූ ආත්ම විශ්වාසයත් හැකියාවත් ඉහළ බව වැඩි වේලාවක් ගත වන්නට පෙර සියලු දෙනාටම පැහැදිලි විය. ඒ පාකිස්තානු පන්දු යවන්නන් අතින් ගිලිහුණු පන්දු කිහිපයක්ම තිසර හතරේ සීමාවටත් ඉහළින් ගුවන්ගත කළ බැවිනි. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් අවශ්‍ය ලකුණු ගණන සහ ඉතිරි පන්දු ගණන අතර පරතරය අවම විය.

එහි උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් සොහෙල් කාන් ක්‍රියාත්මක කළ 19 වැනි පන්දුවාරයට ලකුණු 20ක් ලබා ගැනීමට ද ලෝක කණ්ඩායමට හැකි විය. ඉන් ලකුණු 19ක්ම ගලා ආවේ තිසර පෙරේරාගේ පිත්තෙනි. කණ්ඩායමට අවශ්‍යම වූ මොහොතේ ලැබුණු මෙම ක්ෂණික ප්‍රහාරය නිසා අවසන් පන්දුවාරය සඳහා ලකුණු 13ක ඉලක්කයක් ලෝක කණ්ඩායමට හිමි විය. එහි දී ද සුපිරි පිතිකරු අම්ලා අනෙක් අන්තයේ සිටිය දී ලෝක කණ්ඩායම ජයග්‍රහණය දක්වා ගෙන යාමට මූලිකත්වය ගත්තේ තිසර පෙරේරායි. රුමාන් රයීස් ක්‍රියාත්මක කළ මෙම පන්දුවාරයේ අවසන් පන්දු දෙකට ලකුණු 6ක් අවශ්‍ය කර තිබිය දී තිසරගේ පිත්තෙන් එල්ල වූ දැවැන්ත හයේ පහරකින් ලෝක කණ්ඩායමට විශ්මිත ජයග්‍රහණයක පහස විඳ ගැනීමට හැකි විය.

AFP PHOTO
AFP PHOTO

නොදැවුණු සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 19ක දී ලකුණු 47යි. ඔහුගේ විශිෂ්ට ප්‍රහාරයට කිසිදු හතරේ පහරක් අඩංගු නොවූ අතර දැවැන්ත හයේ පහර 5ක් ඇතුළත් විය. ඊයේ තමන් වෙත ලැබුණු පන්දු නිවැරදිව තෝරා බේරාගත් තිසර හොඳ පන්දු පිටියේ හිඩැස් වෙත හරවා යවමින් වේගයෙන් කඩුලු අතර දිවගි‍ය ආකාරය ද ඉතාමත් විශිෂ්ට විය. තිසර සමඟ ජයග්‍රහණය දක්වාම කඩුල්ලේ රැඳී සිටි හෂිම් අම්ලා පන්දු 55කින් ලකුණු 72යි. ඉනිමේ අවසන් කොටසේ දී තරමක් විපිළිසර වුවද හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් අම්ලා ලෝක කණ්ඩායමේ නැංගුරම නොවන්නට ලෝක කණ්ඩායමෙන් ජයග්‍රහණය දුරස් වන්නට ඉඩ තිබුණි.

මෙම තරගය ලෝක කණ්ඩායම කඩුලු 7කින් ජය ගැනීමත් සමඟ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබේ. අද දිනයේ ලකුණු 23කට කඩුලු 2ක් සහ පිත්තෙන් පන්දු 19ක දී නොදැවී ලකුණු 47ක් රැස් කර ගත් තිසර පෙරේරා තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවේය. තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය වන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ලබන 15 වැනිදා පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත. පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය රැගෙන එමින් ලාහෝර් නුවර දී ම දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉදිරියේ පැවැත්වෙන එම තරගයත් මේ අයුරින්ම උණුසුම හා කුතුහලය කැටිවුණු විශිෂ්ට තරගයක් බවට පත්වනු ඇති බවට කල් තියාම අනාවැකි පළ කළ හැක.

පාකිස්තානු කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 174 (පන්දුවාර 20): බාබර් අසාම් 45, අහමඩ් ශෙෂාඩ් 43, ශොයිබ් මලික් 39, ෆකාර් සමාන් 21, ඉමාඩ් වසීම් 15, තිසර පෙරේරා 2/23, සැමුවෙල් බද්රි 2/31.

ලෝක කණ්ඩායම – කඩුලු 3ක් දැවී ලකුණු 175 (පන්දුවාර 19.5): හෂිම් අම්ලා 72*, තිසර පෙරේරා 47*, තමීම් ඉක්බාල් 23, ෆැෆ් ඩු ප්ලෙසිස් 20, ටිම් පේන් 10, මොහොමඩ් නවාස් 1/25, ඉමාඩ් වසීම් 1/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුව <<