ලෝක බලවතුන් පරදා පාකිස්තානයට ලකුණු 20ක ජයක්

711

මීට දශක දෙකකට පමණ පෙර ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් බල කඳවුර ලෙසින් වැජඹුණු කැන්ගරු දේශය දණ ගස්වා ශ්‍රී ලාංකික සිංහ පෝතකයින් ඓතිහාසික ජයක් ලබා ගන්නේ එම ක්‍රීඩාංගණයේදීයි. ඉන් වසර ගණනාවක් ගෙවී යන තැන පැවැත්වුණු ටෙස්ට් තරගාවලියක් අතරතුර දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වන්නේ ද එම ක්‍රීඩාංගණය අසල දී ම යි.

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් 4ට

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (12) පැවැත්වූ තරගය, කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව (BMS) මූලික වටයේ සහභාගි වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඒ අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන මතක ගොන්නක් කැටිකොට ගත් පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණය එතැන් පටන් වසර 8කටත් වැඩි කාලයක් නිහඬව පැවතියේ එකදු ජාත්‍යන්තර තරගයක් හෝ නොමැතිව නිසොල්මන්වය. ගඩාෆි ක්‍රීඩාංගණයට පමණක් නොව සමස්ත පාකිස්තානයටම ක්‍රිකට් තරග රසය අහිමි කරන්නට 2009 වසරේ මාර්තු මස 3 වැනිදා එල්ල වූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ප්‍රමාණවත් විය.

නමුත් වසර 8කටත් වඩා වැඩි කාලයකට පසුව නැවතත් අද (12) ක්‍රීඩාවට පෙම් බඳින රසිකයින් නැවතත් ජාතික ධජ කර පින්නාගෙන ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පියවර මනින්නේ ඉතාමත් වැදගත් ඓතිහාසික සංධිස්ථානයක් සියැසින් දැක බලා ගැනීමේ සූදානමෙනි. ඒ පාකිස්තානයට යළිත් ක්‍රිකට් වසන්තය කැටුව ඒම වෙනුවෙන් ලාහෝර් නුවර බලා පියාසර කළ ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර “නිදහස් කුසලාන” විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද දිනයේ දී ආරම්භ වීම හේතුවෙනි.

ඊට සහභාගි වන ලෝක කණ්ඩායමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 5 දෙනෙක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නවසීලන්ත, ශ්‍රී ලංකා, කොදෙව්, බංග්ලාදේශ ක්‍රීඩකයින් සිව් දෙනෙක් ඇතුළත් විය. එහි දී තරගාවලියේ එකම ශ්‍රී ලංකා නියෝජනය වන තිසර පෙරේරා අද ICC ලෝක කණ්ඩායමක් නියෝජනය කරන තෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙස ගෞරවයට පාත්‍ර වූයේ සුපිරි ක්‍රීඩා තරු ද්විත්වයක් ලෙස සැලකෙන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ට පසුවයි. ලෝක කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබුණේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆැෆ් ඩු ප්ලෙසිස්ටයි.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ලෝක ක්‍රිකට් කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කිරීමටයි. නමුත් ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු 8කට ස්ලිප් කලාපයට උඩපන්දුවක් ලබා දී දැවී යාමත් සමඟ පාකිස්තානුවන්ගේ ආරම්භය අසාර්ථක විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව අහමඩ් ශෙෂාඩ් සහ බාබර් අසාම් අතරේ ගොඩ නැගුණු ශතක සබඳතාවය කණ්ඩායමේ දෛවය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමට හේතු විය.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් පන්දු 52ක් තුල දී ලකුණු 86ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් තම ඉනිම තුල අන්තර්ගත කරමිනි. තම මුහුණ කොළ සහ සුදු පැහැයෙන් වර්ණ ගන්වාගත් පාකිස්තානු ප්‍රේක්ෂකයින් තම රටේ ජාතික ධජ ලෙළදවමින් ගඩාෆි පිටිය දෙවනත් කරමින් ලෝක ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගොඩ නැගුණු මෙම විශිෂ්ට ඉනිමේ සතුට සැමරූහ. අසාම්ට අනගි සහයක් ලබා දුන් අහමඩ් ශෙෂාඩ් පන්දු 34ක දී ලකුණු 39යි. කෙසේ වෙතත් එක ලඟ පන්දුවාර 2කදී මොවුන් දෙදෙනාව ක්‍රීඩාගාරයට හරවා යැවූ බෙන් කටින් සහ ඉම්රාන් තහීර් නැවතත් තරගය ලෝක කණ්ඩායම දෙසට හරවා දුන්හ.

ෆෆ් ඩු ප්ලෙසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු වන ඒ. බී. ඩි විලියර්ස්, එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ දකුණු අප්‍රිකානු…

ඒ අනුව පාකිස්තාන ඉනිම ලකුණු 180කට මෙපිටින් නතර වේ යැයි බොහෝ දෙනා විශ්වාස කළ ද අත්දැකීම් සපිරි දකුණත් පිතිකරු ශොයිබ් මලික් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් තම කණ්ඩායම ලකුණු 200 සීමාව ආසන්නයටම රැගෙන ගියේය. ඒ පන්දු 20ක් තුල දී ලකුණු 38ක් රැස්කර ගනිමිනි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. අද තරගය අතරතුර දී තමන්ට උරුම පන්දුවාර 4ම ක්‍රියාත්මක කළ තිසර පෙරේරා එහි දී දරුණු ප්‍රහාරයකට ලක්වූ නමුත් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ඔහුගෙන් ලැබුණු ෆුල්ටොස් පන්දුවලින් උපරිම ප්‍රයෝජන නෙලා ගැනීමට ශොයිබ් මලික් සහ ඉමාඩ් වසීම් පියවර ගත්තේ පාකිස්තාන ඉනිම ලකුණු 197ක් දක්වා ඉහළ නංවා ගනිමිනි. ඒ අතරතුර දී බිඳ වැටුණු කඩුලු 5න් ශොයිබ් මලික්ගේ කඩුල්ල සහ නායක සෆ්රාස් අහමඩ්ගේ කඩුල්ල දවා ගත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක තිසර පෙරේරායි. නමුත් ඔහුගෙන් ලකුණු 51ක් උදුරා ගැනීමට ද පාකිස්තානය සමත්කම් දැක්වීය. තිසරට අමතරව මෝර්නේ මෝර්කල්, ඉම්රාන් තහීර් සහ බෙන් කටින් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. ඒ අනුව ලෝක කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 198ක දැවැන්ත ඉලක්කයක් හිමි විය.

ඊට ප්‍රතිචාර දැක්වූ ලෝක කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක්ම සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් ඉනිම ඉදිරියට රැගෙන යාමට සමත් වූයේ නැත. එහි දී ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කළ තමීම් ඉක්බාල් ලකුණු 18කට දැවී ගිය අතර සුපිරි පිතිකරු හෂිම් අම්ලා පන්දු 17කින් ලකුණු 26ක් රැස්කර සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. මෙම වටිනා කඩුලු ද්විත්වයම දවා ගත්තේ නවක වමත් වේගපන්දු යවන ක්‍රීඩක රුමාන් රයීස් විසිනි. ඉන් අනතුරුව පිටිය මැදට පියමන් කළ නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ද පන්දු 18කින් ලකුණු 29ක් (හතරේ 4, හයේ 1) රැස්කර සිටිය දී දැවී ගියේ ශදාබ් කාන්ගේ පන්දුවකට ඩීප් මිඩ්-විකට් ක්‍රීඩකයාගේ අතටම උඩපන්දුවක් ලබා දෙමිනි.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නමක් දිනා සිටින ඩේවිඩ් මිලර් පැමිණි විගස හයේ පහරක් එල්ල කරමින් ලකුණු පරතරය අඩු කිරීමට උත්සාහ කළ ද, ඊළඟ පන්දුවේ දී ම ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. මේ වන විට ක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබූ ලෝක ඉනිම ගොඩ නැගීමට තිසර පෙරේරා, ග්‍රාන්ට් එලියට් සහ ඩැරන් සැමී උත්සාහ දැරූව ද පාකිස්තානු පන්දු යවන්නන් අවසන් තීරණාත්මක පන්දුවාර කිහිපය (Death overs) තුල දී ඉතාමත් හොඳ සංයමයකින් ක්‍රීඩා කළ නිසා ලෝක කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඵල දැරුවේ නැත.

ඒ අනුව සංචාරක ලෝක විස්සයි විස්ස කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් පමණි. තරගයේ අවසන් කොටස හතරේ පහරකින් සහ හයේ පහර 3කින් හැඩ කළ ඩැරන් සැමී නොදැවී ලකුණු 29යි. මීට අමතරව තිසර පෙරේරා ද පිට පිටම එල්ල කළ හතරේ පහර 3ක් සමඟින් පන්දු 11ක දී ලකුණු 17ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී සොහෙල් කාන්, රුමාන් රයීස් සහ ශදාබ් කාන් කඩුලු 2 බැගින් දවාලූහ. ඒ අනුව පාකිස්තානය මෙම තරගය ජය ගත්තේ ලකුණු 20කිනි.

ලෝක කණ්ඩායම පරාජය කිරීම වෙනුවෙන් තම පිත්තෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ බාබර් අසාම් අද තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ක්‍රීඩාංගණයට පැමිණ සිටි දහස් ගණනක් වූ පාකිස්තානු ක්‍රිකට් රසිකයින්ගේ ජය ඝෝෂාව මැදයි. තරග තුනකින් සමන්විත නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය හෙට (13) පස්වරු 7.30ට මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතව ඇත.

පාකිස්තානු කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 197 (පන්දුවාර 20): බාබර් අසාම් 86, ශොයිබ් මලික් 38, අහමඩ් ශෙෂාඩ් 36, ඉමාඩ් වසීම් 15*, ෆකාර් සමාන් 8, තිසර පෙරේරා 2/51, මෝර්නෙ මෝර්කල් 1/32, ඉම්රාන් තහීර් 1/34.

ලෝක කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 177 (පන්දුවාර 20): ඩැරන් සැමී 29*, ෆැෆ් ඩු ප්ලෙසිස් 29, හෂිම් අම්ලා 26, ටිම් පේන් 25, තමීම් ඉක්බාල් 18, තිසර පෙරේරා 17, සොහෙල් කාන් 2/28, ශදාබ් කාන් 2/33.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුව