වර්ෂාවේ බාධා මැද ධනංජයගෙන් වගකීම් සහගත ඉනිමක්!

80
Pakistan vs Sri Lanka 2019

වර්ෂාවේ බාධා කිරීම් සහ අඩු ආලෝක තත්ත්වය යටතේ ගෙවී ගිය දෙවැනි දිනය වූ අද (12) දිනය අවසානයේ ශ්‍රී ලංකා පිළ කඩුලු 6ක් දැවී ලකුණු 263ක් ලබා සිටියි. ඒ වසර 10කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් අසිරිය ගෙන එමින් පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තානු පළමු ටෙස්ට් තරගයේ දී කිසිදු පෙර පුහුණු තරගයකට සහභාගි වීමකින් තොරවම සැලකිය යුතු තරමේ දක්ෂතා දක්වමිනි.

බලාපොරොත්තු වූ අයුරින් පළමු දිනයේ සම්පූර්ණ පන්දුවාර ප්‍රමාණය ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසා ඊයේ දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාව පන්දුවාර 68.1කට පමණක් මුහුණ දී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 202ක් ලෙස සටහන් විය. ඒ කඩුලු 5ක් අහිමි කර ගනිමිනුයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ඊයේ පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 96ක්ම එක් කළ වාසිය දිගටම රඳවා ගැනීමට කුසල් මෙන්ඩිස්, චන්දිමාල් ඇතුළු මැදපෙළ පිතිකරුවන්ට හැකියාව ලැබුනේ නැත.

එතැන් පටන් අද උදෑසන සිට පන්දුවට පහර දුන් ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක් එක් කළ නිසා තරගයේ පාලනය සත්කාරක පාකිස්තානුවන්ට ලබා දීමට නම් ශ්‍රී ලංකා පිළට සිදුවූයේ නැත. අද දිවා කාලයේ පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට වැසි පතිත වීම නිසා කල්තබාම දහවල් ආහාරය සඳහා යොමු වීමට ද දෙපිළේම ක්‍රීඩකයින්ට සිදුවිය. ඉන් අනතුරුව ද ක්‍රීඩා කිරීමට හැකිවූයේ කෙටි කාලයක් පමණි.

කෙසේවෙතත් තරගය අද දිනය සඳහා නතර කිරීමට සුළු මොහොතකට පෙර කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල දැවී යාම ශ්‍රී ලංකා පිළට අවාසිදායක තත්ත්වයක් ගෙන දුන්නේ කණ්ඩායමේ අවසන් නිත්‍ය පිතිකරුවා ඔහු වූ බැවිනි. යොවුන් වේග පන්දු යවන්නෙකු වුවද ටෙස්ට් පිටියේ හොඳ දක්ෂතා දක්වා ඇති ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ගලී කලාපයේ සිට බාබර් අසාම් ලබාගත් තියුණු උඩ පන්දුවක් නිසාවෙනි. ඒ වනවිට පන්දු 63කට මුහුණ දී සිටි ඔහු ලකුණු 33ක් ලබා සිටියේ හතරේ පහර 4ක් සමඟයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා මේ දක්වා ලබා සිටින්නේ ලකුණු 2ක් පමණකි. එබැවින් හොඳ පිතිකරණ හැකියාවක් තිබුනද පසුගිය කාලයේ ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ දිල්රුවන්ට හෙට දිනයේ ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ගෙන යාම සඳහා වැඩි වගකීමක් හිමිවනු ඇත. අනෙක් අන්තයේ ශ්‍රී ලංකා පිතිකරණ බර දරා සිටිමින් රැඳී සිටින ධනංජය ද සිල්වා මේ වනවිට නොදැවී ලකුණු 72ක් ලබා සිටින්නේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි. මේ දක්වා පන්දු 131කට මුහුණ දී සිටින ඔහු අලංකාරවත් හතරේ පහර 11කින් තම ඉනිම හැඩ ගන්වා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට වැඩිම හානියක් කළ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි සහ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් කඩුලු දෙක බැගින් දවා ගත්හ. ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ වෙනස්කම් වලටද හේතුවන මෙම තීරණාත්මක ටෙස්ට් තරගයේ තීරණයක් ලබා ගැනීමට නම් හෙට දිනයේ දී හෝ සම්පූර්ණ පන්දුවාර ගණන ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. එහිදී ශ්‍රී ලංකා පළමු ඉනිම හැකි තරම් ඉහළ නංවා ගැනීම කණ්ඩායම පරාජයේ සීමාවෙන් සෑහෙන දුරකට ඈත් කිරීමට හේතුවනු ඇත.

ශ්‍රී ලංකා (පළමු ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 263 (පන්දුවාර 86.3)

ධනංජය ද සිල්වා 72*, දිමුත් කරුණාරත්න 59, ඕෂධ ප්‍රනාන්දු 40, නිරෝෂන් දික්වැල්ල 33, ඇන්ජෙලෝ මැතිව්ස් 31, කුසල් මෙන්ඩිස් 10, ශහීන් අෆ්රිඩි 2/47, නසීම් ශාහ් 2/75.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<