ප්‍රබලයින් හලා පාකිස්තානුවන් ආසියානු කුසලානයට

977

එළඹෙන 15 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ (4) නම් කරන ලද පාකිස්තාන එක්දින සංචිතයෙන් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මොහොමඩ් හෆීස් සහ ඉමාඩ් වසීම් හා යසීර් ශා ඉවත්කර ඇත.

අකිලට හා චන්දිමාල්ට පළමු තරග කිහිපය මඟ හැරෙන ලකුණු

16 දෙනෙකුගෙන් සමන්විත මේ එක්දින ක්‍රිකට් සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි කඩුලු රකින පිතිකරුවෙක් වන සර්ෆාස් අහ්මඩ් හට ලබා දී ඇත.  වයස අවුරුදු 18ක් වන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි හා ප්‍රහාරාත්මක වමත් ආරම්භක පිතිකරුවෙක් වන 28 හැවිරිදි ශාන් මසූඩ් පළමු වරට පාකිස්තානු ජාතික එක්දින ක්‍රිකට් සංචිතයේ ස්ථානයක් හිමිව ඇත.

පසුගිය දා නිමා වූ සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ මුල්පෙළ පිතිකරුවන් වන බාබර් අසාම්, ඉමාම් උල්-හක්, හැරිස් සොහෙල් හා පාකිස්තාන එක්දින ක්‍රිකට් වංශ කතාවට අලුත් පිටුවක් එක්කරමින් එරට පිතිකරුවෙක් එක්දින ක්‍රිකට් තරගයක දී ලබා ගත් පළමු ද්විත්ව ශතකයට හිමිකම් කියූ ෆකාර් සමාන් වැනි මේ කාල සාමය තුල දස්කම් අතර සිටින ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම සංචිතයට ඇතුලත් කර තිබේ.

මොහොමඩ් හෆීස් සහ ඉමාඩ් වසීම් යන ක්‍රීඩකයින් සංචිතය තෝරාගැනීමට පෙර පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත් වීම නිසාවෙන් මේ සංචිතයට ඇතුලත් නොකළ බව එරට ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී ඉන්සමාම්-උල්-හක් මහතා ඊයේ (4 වැනිදා) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

දීර්ඝ විරාමයකට පසු ලසිත් මාලිංග නැවතත් කැඳවයි

එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තරගාවලියට එක්වනු ඇත. සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහා තරගය එක්සත් ආරබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර හෙට (6 වැනිදා) පැවැත්වේ.

පාකිස්තාන සංචිතය,

සර්ෆාස් අහ්මඩ් (නායක), ෆකාර් සමාන්, ශොයිබ් මලික්, මොහොමඩ් අමීර්, ශදාබ් ඛාන්, ඉමාම් උල්-හක්, ශාන් මසූඩ්, බාබර් අසාම්, අසීෆ් අලී, හැරිස් සොහෙල්, මොහොමඩ් නවාස්, ෆහීම් අශ්රාෆ්, හසන් අලී, ජුනයිඩ් ඛාන්, උස්මාන් ශින්වාරි, ශහීන් අෆ්රිඩි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<