ශ්‍රී ලංකා පාපන්දුවේ පුහුණුකාරීත්වය පකීර් අලීට

353

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් පකීර් අලී මහතා තෝරාපත් කරගෙන තිබේ.

සුපරීක්ෂාකාරී මත විමසුමකින් සහ සමීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවත්, ජාතික කණ්ඩායම් කළමනාකරණ කමිටුවත් මෙහෙය වන රෝහිත ප්‍රනාන්දු මහතා සහ මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි මහතා තීරණය කොට තිබෙන්නේ පාකීර් අලී මහතාට අවුරුදු දෙකක කොන්ත්‍රාත්තු පදනමකට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය පැවරීමටයි.

රූමි රාජකීය පාපන්දුව අතට ගනී

රාජකීය විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් රූමි ගිවිසුම් ගතවී ඇත. ඒ අනුව එම ගිවිසුම මෙම…..

“ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් පකීර් අලී මහතාගේ පත්වීම පිළිබදව අපි සැබවින්ම සතුටු වෙනවා. ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් කළ මෙතුමාට මොහුගේ දක්ෂතාවයට සහ කැපවීමට මේ තාක් නිසි තැන ලැබුණේ නෑ. ඔහු මාලදිවයිනේ සිට ආ විගසම ගිවිසුම් පත්‍රය අත්සන් කිරීමට සියල්ල සූදානම් කර තිබෙන්නේ.” යැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා Thepapare.com වෙත ප්‍රකාශ කළේය.

“හිටපු ප්‍රධාන පුහුණුකරුවන් වන ඩඩ්ලි ස්ටේන්වෝල් සහ සම්පත් පෙරේරා ඇතුලත්ව පුහුණුකරුවන් කිහිප දෙනෙකුගේම නම් මේ සඳහා ඉදිරිපත් වුනා. නමුත් ඔවුන් සතුව ‘A’ බලපත්‍ර සහතිකය තිබුණේ නෑ” යැයි තවදුරටත් ඒ මහතා අප වෙත පැවසීය.

2017 ජූලි මස ඩඩ්ලි ස්ටේන්වෝල් මහතා ඉවත් කිරීමෙන් පසුව මේ වන තෙක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක් නොසිටියේය. සහකාර පුහුණුකරු දේවසගායම් රාජමනී සහ ගෝල රකින පුහුණුකරු මහින්ද ගලගෙදර ද ඩඩ්ලි මහතා සමඟ සේවයෙන් නික්මි ගියේය.

නිසාම් පකීර් මහතාගේ FaceBook ගිණුමේ මෙසේ සටහන් වී තිබුණි;

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රමුඛ සියළුම නිලධාරීන්ටත්, ජාතික කණ්ඩායම් කළමනාකරණ කමිටුවටත්, ඒ වගේම සියලුම අනෙකුත් ගෞරවනීය මහත්වරුන්ටත් ස්තුතිවන්ත වෙනවා මා මෙම තනතුර සඳහා පත් කිරීම සම්බන්ධයෙන්. මා හැකි ඉක්මනින් ලංකාව වෙත පැමිණෙනවා මාගේ උපරිම කැපවීමෙන් පුහුණු කටයුතු භාර ගැනීමට. මා තුළ පැවති එක් සිහිනයක් සැබෑ වීමක් වශයෙනුයි මම මෙය සලකන්නේ. මාගේ ඒ සුබ සිහිනය සාක්ෂාත් කර දුන් සැමටම මම ස්තුතිවන්ත වන අතරම ඔබගේ තීරණය නිවැරදි බව මම ඔප්පු කිරීමට උපරිම යත්න දරනවා. අප වෙනුවෙන් සුබ පතන්න”

මාතලේ දිස්ත්‍රික්කයෙන් බිහිවුණු පකීර් ‘Fitness freak’හෙවත් ශක්තිවන්ත භාවය පිළිබදව නම් දරපු ක්‍රීඩකයෙකි. කොළඹ පාපන්දු සමාජය නියෝජනය කළ මොහු 1976 දී සුමිත් වල්පොලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් නියෝජනය කළ අතර 1980  දී මොහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය. ඉන්පසුව වෘත්තීයමය පාපන්දු ක්‍රීඩාව සඳහා බංග්ලාදේශයට පිටත් විය.

වෙළඳසේවා ‘Futsal’ ශූරතාවය LB Finance කණ්ඩායමට

‘Futsal World’ හිදී පැවති වෙළඳසේවා ‘Futsal’ තරගාවලියේ ශූරතා කුසලානය සඳහා පැවති අවසන් මහා තරගයේ….

වෘත්තීය ක්‍රීඩා ජීවිතයෙන් අනතුරුව AFC ‘B’ බලපත්‍ර සහතිකය 2002 දීත්, AFC ‘A’ බලපත්‍ර සහතිකය 2003 දීත් ලබා ගත් මොහු මාලදිවයින් ක්‍රීඩා සමාජ කිහිපයකම පුහුණුකරු වශයෙන් කටයුතු කළේය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික උපදේශකයෙක් වශයෙන් 2013 දී මොහු කටයුතු කළත් කළමනාකාරිත්වයේ වෙනස්වීම් නිසා එම තනතුරේ වැඩි කල් රැඳී සිටීමට ඔහුට නොහැකි විය.

“කෙටි කාලීන වගේම දිගු කාලීන සැලැස්මක් අප ඔහුගෙන් විමසා සිටිනවා, කෙසේ වෙතත් අපේ මෑත කාලීන ඉලක්කය මේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවයයි (SAFF)” අනුර ද සිල්වා මහතා තවදුරටත් පවසා සිටියේය.

“කෙසේ වෙතත් අප තවමත් විදෙස් පුහුණුකරුවකුගේ උපදේශකත්වය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අප සුදුසු කෙනෙක් සොයමින් පවතිනවා. අප සොයා ගන්නා එම උපදේශකවරයා පකීර් අලී මහතාට ඔහුගේ කාර්ය භාර්ය්‍යට රුකුලක් වනු ඇත. එහෙත් තවමත් අපි  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  මූල්‍ය තත්වය පිළිබදව සිතිය යුතුයි.” සිලවා මහතා තවදුරටත් පවසා සිටියේය.

ප්‍රධාන පුහුණුකරු පකීර් අලී මහතාට සහයට අවශ්‍ය පුහුණුකරු කණ්ඩායම ඔහු වැඩ භාර ගත් වහාම ඔහුත් සමඟ කතිකා කොට පත් කිරීමට නියමිතයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<