ලෝක කුසලාන සංචිතයේ තව ආසන ටිකයි ඉතුරු – අසන්ත ද මෙල්

1359

මේ මස 4 වැනිදා ආරම්භ වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලානය සඳහා පිටත්ව යන සංචිතයේ ඉතිරි ක්‍රීඩකයින් කිහිප දෙනා තෝරාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන අසන්ත ද මෙල් මහතා පවසයි.

Read: තීරණාත්මක සුපිරි පළාත් සටනට සියල්ල සූදානම්

“පසුගිය දා පැවැත්වුණු දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අපේ ක්‍රීඩකයින් එතරම් දස්කම් දැක්වූයේ නැහැ. ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන සංචිතයේ ආසන 10-11ක් මේ වන විට ක්‍රීඩකයින් දිනා ගෙන ඉවරයි. නමුත් තවත් ස්ථාන කිහිපයක් වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කවුද කියලා අපිට බලාගන්න වෙන්නේ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව තමයි.” යැයි අසන්ත ද මෙල් මහතා ThePapare.com වෙත ඊයේ (1) පවසන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සීමිත පන්දුවාර තරගාවලි කිහිපයක දී ම පිතිකරණ අංශයෙන් ඉතාමත් ලෝක පසුබැස්මක් පෙන්නුම් කළ අතර මැණික් කටුව උපයෝගී කරගෙන දඟපන්දු (wrist spinner) යවන ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් අසීරුවෙන් ක්‍රීඩා කරන බවක් පෙනේ. ඒ වගේම අනෙක් රටවල්වලට ඉන්න මැණික් කටුව උපයෝගී කරගෙන දඟපන්දු යවන ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියි. එසේම ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් අතරේ සැලකිය යුතු මට්ටමක ලකුණු වාර්තා වන සබඳතාවයන් වර්ධනය නොවීම ද ශ්‍රී ලංකා පිතිකරණය බිඳ වැටීමට විශාල හේතුවක් වී තිබේ.

“ඇන්ජලෝ මැතිව්ස් වගේ අත්දැකීම් බහුල පිතිකරුවෙක් අපේ මැදපෙළ සවිමත් කරන්න ඉන්නම ඕන. ඔහු ඉතාමත් හොඳ පිතිකරුවෙක්. ඔහු මේ වන විට හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමක ඉන්න නිසා මැතිව්ස් අපේ මැදපෙළ ලොකු තුරුම්පුවක් වෙයි. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී දස්කම් දක්වයි කියලා හිතනවා.  මොකද පීඩනය පිතිකරුවන්ට පැමිණි අවස්ථාවක ඒ පීඩනය කළමනාකරණය කරගෙන ඉනිම ගොඩනංවන්න අත්දැකීම් ගොඩක් වටිනවා.”

“අසේල ගුණරත්න හා දසුන් ශානක ආබාධවලට ලක්වෙලා තියෙන නිසා ලෝක කුසලාන බලාපොරොත්තුවලින් ඉවත් වෙලා ඉන්නේ, අසේල ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්දු රකිමින් සිටිය දී ආබාධයට ලක්වුනා. ශානක කොළඹ දී පැවැත්වුණු පුහුණුවීම් සැසියක් අතරතුර කලව ආශ්‍රිතව මස්පිඩු ඇදීමකට ලක්වීම නිසා මේ වන විට විවේක සුවයෙන් ඉන්නේ.” යැයි ද මේල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ජෙෆ්රි වැන්ඩර්සේ, ඉසුරු උදාන හා ඕෂද ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු තරගාවලියේ දී දස්කම් දැක්වූ බවත්, ලෝක කුසලානයට පෙර පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන්ගේ ස්ථාන තහවුරු  කරගැනීම වෙනුවෙන් හොඳ දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මෙල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ මැතිව්ස් වගේ එක්දින ක්‍රිකට් තරග රටාවේ දක්ෂ ක්‍රීඩකයින් ආබාධ වලින් ගොඩට ඇවිල්ලා තියෙනවා. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් දක්වන දස්කම් අනුව ලෝක කුසලානයට ඔවුන් යනවා ද නැද්ද කියලා තීරණය වේවි. ඒ වගේම තමයි දිනේෂ් චන්දිමාල්වත් අපට අමතක කරන්න  බැහැ. මැදපෙළ කඩුලු ආරක්ෂා කරගෙන ඉනිම ගොඩගන්න ඔහුටත් පුළුවන්.”

ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 15 අප්‍රේල් 15 වැනිදාට පෙර තෝරාගැනීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් සිටී. ඉන් පසුව එම කණ්ඩායම අප්‍රේල් මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා සතියක පමණ කාලයක් දඹුල්ලේ දී පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දන්වා තිබෙන පරිදි අප්‍රේල් මස 23 වැනිදාට පෙර ලෝක කුසලානයට තරග වදිනු ලබන සංචිත නම් කළ යුතුය.)

“දඹුල්ලේ තණතීරුව සමතලා හොඳ තණතීරුවක්, එවැනි ආකාරයේ තණතීරු තමයි එංගලන්තයේත් ගොඩක් තියෙන්නේ. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම දඹුල්ලේ පැවැත්වෙන නිසා අපේ ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ පිතිකරුවන්ට යම් වැඩි වාසියක් ලැබෙන විදිහට තමයි  තණතීරු සකස් වෙන්නේ, ඒක නිසා ඕනම කණ්ඩායමකට ඒ වගේ තණතීරු වලදී ලකුණු 250-280ක් වගේ ලකුණු මට්ටමකට යන්න පුළුවන් වෙන්න ඕන.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති වන රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<