හැම ඉරිදාම ගිය ඉරිදාම වාගේම වෙන්න

483
independent.co.uk

ඉකුත් ඉරිදා දිනය සෙසු ලෝකයට සාමාන්‍ය දිනයක් වුව ද ක්‍රීඩාලෝලී ජනතාවට අතිශය උද්වේගකර දිනයක් විය. ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන් ලන්ඩන් නගරයේම අන්ත දෙකක් හරහා රූපවාහිනි දුරස්ථ පාලකයේ බොත්තම් මාරු කරමින් අතිශය ක්‍රීඩාශීලී අත්දැකීමක් විඳ ගත් බව නොරහසක්. 

එක් පසකින් සිව් වසරකට වරක් පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය ද අනෙක් පසින් සුප්‍රසිද්ධ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය ද පැවැත්වුණ අතර ලෝ පුරා ක්‍රීඩාලෝලීන්ට අමතක කළ නොහැකි සුපිරි ඉරිදාවක් බවට 2019 වසරේ ජූලි 14 වෙනිදා පත්විය. 

ලෝක ශූර එංගලන්තය “ඇහින්දාස් ටීම්” එකක් ද?

ගමේ ගොඩේ අය පිට කෙනෙක් කණ්ඩායමකට ඇතුළත් වුනොත්….

එහෙමත් අවසන් මහා තරගයක්.

2019 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන විට නවසීලන්තය හෝ සත්කාරක එංගලන්තය යන රටවල් දෙකෙන් එකක් හාහාපුරා කියා ලෝක ශූරයින් වන බව සහතික වී තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර එංගලන්ත ආරම්භක පන්දු යවන්නන්ගෙන් නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන්ට එල්ල වූ තර්ජනය සුළුපටු නොවීය. 

තරගාවලියේ මුල්ම සිය මුල්ම අර්ධ ශතකය වාර්තා කළ හෙන්රි නිකල්ස්ට සහ කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම්ගේ ලකුණු 47ට පිං සිදුවන්නට සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 241ක් රැස් කරගන්නට නවසීලන්තය සමත් විය. 

තරගයේ මැද පන්දුවාරවල දී දැඩි තර්ජනයක් එල්ල කරමින් පන්දු යැවූ ලියම් ප්ලන්කට් කඩුලු තුනක් ද, ක්‍රිස් වෝක්ස් කඩුලු තුනක් ද දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ එංගලන්ත පිතිකරුවන්ට නවසීලන්ත වේගපන්දු යවන්නන් ලබා දුන් අභියෝගය සුළුපටු නොවීය. නිරන්තර පීඩනය හේතුවෙන් දල ලකුණු වේගය ඉහළ දමන්නට ගොස් ජෝ රූට් සහ නායක ඔයින් මෝගන් දැවී යන විට නවසීලන්ත ක්‍රීඩකයින්ට කුළුදුල් ලෝක කුසලානය පහස ඈතක නොවන බව පසක්වන්නට ඇත.

ජෝස් බට්ලර් නම් පෙරළිකාර ක්‍රීඩකයා සහ නවසීලන්තයේම උපන් බෙන් ස්ටෝක්ස් අතර පස්වැනි කඩුල්ලට ලකුණු 110ක සබඳතාවයක් ඇතිවූ අතර බට්ලර්ගේ දැවී යාමෙන් අනතුරුව ලබා ගත යුතු ලකුණු වේගය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙන්නුම් කෙරුණි.

තරගයේ අවසන් පන්දුවාරය ට්‍රෙන්ට් බෝල්ට් විසින් ආරම්භ කරන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 15ක් රැස් කරගන්නට තිබූ අතර පන්දුවාරයේ තෙවැනි පන්දුව මිඩ් විකට් කලාපය හරහා හයේ සීමාවට ඉහළින් යොමු කරන්නට ස්ටෝක්ස් සමත් විය. 

සිව්වැනි පන්දුවත් මිඩ් විකට් කලාපයට එල්ල කොට දෙවන ලකුණ ලබා ගන්නට ස්ටෝක්ස් උත්සාහ කළ අතර මාටින් ගප්ටිල් හතරේ සීමාවේ සිට කළ පන්දු බාරදීම සිය කඩුල්ල බේරාගැනීමට උත්සාහ කරමින් ඉදිරියට පනින ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව පසු කළේය. අවසන් තරගයක නොව කුමන ආකාරයක ක්‍රිකට් තරගයක වුවද එය ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන විරල සිදුවීමකි. 

thesouthafrican.com

එක්දින තරග ඉතිහාසයේ ප්‍රථම වතාවට සුපිරි පන්දුවාරයක් දැක ගන්නට ඉරිදා දිනයේ ප්‍රේක්ෂකයින්ට වාසනාව ලැබුණි. 

සුපිරි පන්දුවාරයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත පිතිකරුවන් ලකුණු 15ක් රැස් කර ගත් අතර නවසීලන්ත පන්දුවාරයේ අවසන් පන්දුවට මාටින් ගප්ටිල් දුවද්දී දැවී යන විට  දෛවෝපගත ලෙසින් සුපිරි පන්දුවාරයේ දී නවසීලන්තය ද ලබාගෙන තිබුණේ ලකුණු 15කි. ඒ අනුව ජයග්‍රාහකයා තොරාගනු ලැබුවේ තරගය පුරාවට එල්ල කල වැඩිම හතරේ පහර සහ හයේ පහර සංඛ්‍යාවෙනි. ඒ අනුව 26-17 ලෙස වැඩිම වතාවක් හතරේ සීමාවෙන් ඔබ්බට පන්දුව යැවූ එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

එතෙක් මෙතෙක් දුටු උද්වේගකරම එක්දින තරගය මෙය ලෙස බොහෝ දෙනාගේ අදහස විය. අවුරුදු 44ක නියඟය නිමා කරමින් එලෙස ක්‍රිකට් උපන් දේශයට කිරුළ ලැබෙන්නේ අතිශය උද්වේගකර සටනකින් අනතුරුවය.

විම්බල්ඩන් ක්‍රිකට් තරම්ම උණුසුම්

ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය එසේ උණුසුම් වෙද්දී ඉතා තියුණු සටනකින් අනතුරුව විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වුනේත් ඉකුත් ඉරිදා (ජූලි 14) දිනයේ දී ම ය.

නොවැක් ජොකොවිච් විම්බල්ඩන් ටෙනිස් ශූරතාව අඛණ්ඩව දිනා ගත් දෙවන අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට ජොකොවිච් සමඟ සුදුසුකම් ලබා සිටියේ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ය.

මෙම අවසන් මහා තරගය ආරම්භයේ පටන් ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ක්‍රීඩකයින් දෙදෙනාම අනෙකාට ප්‍රබල තර්ජනයක් එල්ල කරන ස්වරූපයක් පෙන්නුම් කෙරුණි.

ඉතා තියුණු තරගයකින් පසු පළමු වටය ලකුණු 7-6ක් ලෙස නොවැක් ජොකොවිච් ජය ගත් අතර දෙවන වටයේ දී තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණි රොජර් ෆෙඩරර් එම වටය ලකුණු 6-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

නොවැක් ජොකොවිච් මේ වන විට ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසුවන ක්‍රීඩකයා ය. ඔහු තරගයේ තුන්වැනි වටයේ දී නැවත වතාවක් ෆෙඩරර්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර එම වටය ලකුණු 7-6ක් තියුණු ලෙසින් ජය ගැනීමට ජොකොවිච් සමත් විය.

මෙවර තරගාවලිය ආරම්භ වන විට නොවැක් ජොකොවිච් අවස්ථා 4ක දී විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනා සිටි අතර රොජර් ෆෙඩරර් අවස්ථා 8ක දී එම ශූරතාව දිනා සිටියේ ය.

දෙපසටම දෝලනය ඇදී ගිය විම්බල්ඩන් සටනේ සිව්වැනි වටයේ දී ෆෙඩරර් හමුවේ ‍ජොකොවිච් තරමක පසුබෑමකට ලක් වූ අතර ෆෙඩරර් ඉන් ජය ගත්තේ, ලකුණු 6-4ක් ලෙසයි.

අතිශය තියුණු මුහුණවරක් ගත් තීරණාත්මක පස්වැනි වටයෙන් නොවැක් ජොකොවිච් ජය ගත් අතර ඒ අනුව ඔහු වට 3-2ක් ලෙස තරගාවලිය ජය ගනිමින් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

sportingnews.com

පුරා පැය 4 යි මිනිත්තු 57ක් පුරාවට ඇදී ගිය මෙම  අවසන් මහා තරගය විම්බල්ඩන් ටෙනිස් ඉතිහාසයේ අවසන් මහා තරගයක් වෙනුවෙන් ඇදීගිය දීර්ඝතම කාලය ලෙස වාර්තා අතරට එක්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ නොවැක් ජොකොවිච් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 16ක් දිනාගෙන ඇති අතර තවදුරටත් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස තම ස්ථානය රැක ගැනීමට සමත් විය.

එහෙන් ක්‍රිකට්, ටෙනිස් මෙහෙන් කාර් රේස්, පාපන්දු 

ක්‍රිකට් පිටිය මෙන්ම ටෙනිස් පිටිය ඒ ආකාරයෙන් තියුණු මුහුණුවරක් ගනිද්දී බ්‍රිතාන්‍ය ජාතික මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ෆෝමියුලා වන් ශූරයා බවට පත්වූයේත් ජූලි 14 වෙනි පසුගිය ඉරිදා දිනයේ දී ම ය. බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් ක්‍රීඩාවෙන් උණුසුම් මුහුණුවරක් ගනිද්දී ඊජිප්තුවේ කයිරෝ නුවර ගැන ද කියවෙනු ඇසුණි.

latimes.com

අප්‍රිකානු රටවල් අතර පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන AFCON (African Cup of Nations) තරගාවලිය මේ වන විට ඊජිප්තුවේ දී පැවැත්වෙන අතර එහි අවසාන පූර්ව තරග පැවැත්වුණේ ද පසුගිය ඉරිදා දිනයේ දී ම ය. 

sportskeeda.com

සෙනගාලය සහ ටියුනීසියාව අතර තරගයේ දෙපිලම නියමිත කාලයේ දී ගෝල වාර්තා නොකළ බැවින් අමතර කාලය දක්වා තරගය ඇදී ගිය අතර ටියුනීසියානු ක්‍රීඩකයෙකු අතින් තමන්ගේම ගෝලයට පහරක් එල්ල වූ නිසාවෙන් ජයග්‍රහණය සෙනගාලයට ලැබුණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<