ජ’පුරේ මේසපන්දු ශූරයා “චමීර ගිනිගේ”

347
Chameera

ශ්‍රී ලංකා මේසපන්දු අතුරු කමිටුව සංවිධානය කළ 72 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ මෙවර ජාතික ශූරයා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කළ චමීර ගිනිගේ. ඔහු ජාතික ශූරතාවට හිමිකම් කී පළමු වතාව මෙයයි. 

ආසියානු පැරා මේසපන්දුවෙන් ලෝකඩ පදක්කම දිනේශ්ට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු පැරා මේසපන්දු තරගාවලියට සහභාගි……

“අවසන් තරගය වෙද්දී මට විශාල විශ්වාසයක් තිබුණා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. නමුත් ඒක ලෙහෙසියෙන් ලබා ගන්න බැහැ කියන දේ මම දැන සිටියා. මොකද රොහාන් සිරිසේන කියන්නේ ලෙහෙසියෙන් තරගයක් පරාජය කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. ඒ වගේම ලෙහෙසියෙන්ම තරගයක් අත හරින කෙනෙකුත් නෙමේ. තරගයේ පළමු තරග වට 4 වන විට රොහාන් අයියා 3-1ක් ලෙසින් ඉදිරියෙන් සිටියේ. ඒක මට විශාල පීඩනයක් වුනා. නමුත් මට ජයග්‍රහණය අවශ්‍ය වුනා.  මේ තරමක් දුර ඇවිත් මට හැරෙන්න හිතුණෙ නැහැ. ජයග්‍රහණය වෙනුවෙන් මට තවත් ඉතිරි වෙලා තිබුණේ තරග වට 3ක් පමණයි. මම මගේ උපරිමයෙන් කළා.” චමීර කතාව පටන් ගත්තෙ එතැනින්. 

පනාගොඩ යුද හමුදා මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයේ ප්‍රතිවාදියා වූයේ ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන. ඔහු වසර කිහිපයක්ම ජාතික ශූරතාව දිනා සිටි ප්‍රවීණ ක්‍රීඩකයෙක්. තරගයේ අවසන් ප්‍රතිඵලය වුනේ 09/11, 11/08, 05/11, 08/11, 11/09, 11/05ක් සහ 11/09ක් ලෙසයි.  

“ඇත්තටෙම අප අතර ඉතා හොඳ තියුණු තරගයක් පැවතියා. අවසන් අවස්ථාව වන විටත් කවුරු ජයග්‍රහණය කරාවි ද කියන ප්‍රශ්නය සෑම කෙනෙක්ටම තිබුණා. ඉතා හොඳ තරගයකින් පසුව මට ජයග්‍රහණය කරන්න හැකි වුනා.” චමීර පැවැසුවා. 

චමීර මෙවර තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව ද දිනා ගන්නවා. ඒ රොහාන් සිරිසේන සමඟ එක්වෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ සුපුන් වරුෂවිතාන සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ වරුෂවිතාන තරග වට 3-0ක් සේ පරාජය කරමින්. ඊට අමතරව මිශ්‍ර යුගල ඉසව්වේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ කාවින්දි සහබන්දු සමඟ එක්වෙමින් අවසන් පූර්ව වටය දක්වා පිවිසෙනවා. 

චමීර මීට පෙර 2009 වසරේ දී ජාතික ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා. එදා ඔහු චලිත රංජන ඉදිරියේ පරාජය වෙමින් ප්‍රථම වරට ජාතික ශූරතාවලියේ දී අනුශූරතාව දිනා ගන්නවා. නමුත් ඔහු 2011 වසරේ දී ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේ දී ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ශූරතා ත්‍රිත්වය ද සමගින් ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත්වෙනවා. 

චමීරගේ මේ ගමන ඇරඹෙන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්. එතකොට චමීරට යන්තම් අවුරුදු 5ක් ලැබුවා විතරයි ලු. ක්‍රීඩාවට පිවිසෙන්න හේතු වෙලා තියෙන්නේ චමීරගේ ඥාති සහෝදරයෙක් වූ චතුරංග ඔහු වෙත මේසපන්දු පිත්තක් ලබා දීමයි. 

චමීර ප්‍රථමයෙන්ම දිනා ගන්නේ දකුණු පළාත් වයස අවුරුදු 7න් පහළ ශූරතාව. ඊට පසුව සමස්ත ලංකා මට්ටමේ තරග පැවැත්වෙන සෑම වයස් කාණ්ඩයකම අංක 1ට ශ්‍රේණිගත වෙනවා. ඒ අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට එතෙර තරගාවලියකට සහභාගී වෙන්නේ වයස අවුරුදු 12 දී. ඒ 2004 වසරේ චීනයේ පැවති Taiyuan ජාත්‍යන්තර කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට. එහි දී ඔහු තමන්ගේ ඉසව්වේ දී රිදී පදක්කමක් දිනා ගන්නවා. 

එතැන් සිට තරග සංචාර ගණනාවකට සහභාගී වන චමීර ශ්‍රී ලංකා මේසපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගන්නේ 2015 වසරේ දී. ඉන්දියාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ චමීර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට එවර හිමි වුනේ 7 වැනි ස්ථානය. 

චමීර එම තරග සංචාරවලට අමතරව 2005 වසරේ දී ඉරාකයේ පැවති Fajr මේසපන්දු තරගාවලියට සහභාගී වෙමින් යුගල ඉසව්වේ දී රිදී පදක්කම ද කණ්ඩායම් ලෝකඩ පදක්කම් ද දිනා ගන්නවා. එම තරගාවලියේ දී ඉන්දියාවේ අංක 1 ක්‍රීඩකයා පරාජය කිරීමට ලැබීම චමීර ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙසයි ඔහු සලකන්නේ. 

චමීර 2010 වසරේ සිට වයස අවුරුදු 18න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කිරුළ දරමින් සංචාර 3කට එක්වෙනවා. එහි දී 2010 දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දී කණ්ඩායම් සහ යුගල ඉසව්වේ දී රිදී ද ඒකල ඉසව්වේ දී ලෝකඩ පදක්කම් ද දිනා ගන්නවා. ඊට අමතරව 2011 වසරේ ද ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ද එම වසරේ දී ම ඉන්දියාවේ කැඩෙට් විවෘත මේසපන්දු තරගාවලියට ද සහභාගී වෙනවා. 

චමිර 2016 වසරේ දී ඉන්දියාවේ දිල්ලි නුවර දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී කණ්ඩායම් රිදී පදක්කම ද යුගල ඉසව්වේ දී ලෝකඩ පදක්කම් ද දිනා ගන්නවා. ඒ වගේම 2016 වසරේ දී ලෝක මේසපන්දු තරගාවලියට සහභාගී වීමට ඔහු මැලේසියාව සංචාරයට ද එක් වෙනවා. 

මේ ගමන පැමිණීමේ දී මගේ පිටුපසින් බොහෝ දෙනෙක් සිටියා.  විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ අම්මා, තාත්තා සහ සහෝදරයා. ඔවුන් නිතරම මාව දිරිමත් කරමින් මේ ගමන එන්න උදව් කළා. මම ගොඩක් අඩු-පාඩු මැද මේසපන්දු ක්‍රීඩාව කරගෙන ගියේ. උසස් අධ්‍යාපන කටයුතු වගේම ක්‍රීඩා කටයුතු වෙනුවෙන් දෙමාපියන්ට විශාල බරක් දරන්න වුනා. සහෝදරයාට ඇතැම් දේවල් මා වෙනුවෙන් කැප කරන්න වුනා. ඔවුන් වෙනුවෙන් විශේෂ යමක් කරන්න ඕන කියන හැඟීම මට තිබුණේ. මම දිනූ ජාතික ශූරතාවේ සැබෑ හිමිකාරයන් වෙන්නේ ඔවුන්. ඒ වගේම මට පසුගිය වසරේ දී කසුන් නිලංග මහතාගේ මැදිහත් වීම මත අනුග්‍රාහකයෙක් ලැබෙනවා. ඒ Yasaka ආයතනය. ඇත්තටම ඔවුන් අතරේත් මේ ජයග්‍රහණය බෙදී යා යුතුයි.“ චමීර පවසනවා. 

චමීරගේ පියා සරත් ගිනිගේ, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු තවමත් ලැබෙන විවේකයේ දී ක්‍රීඩාවේ නිරත වෙන්න අමතක කරන්නේ නැහැ. මව මානෙල් පුෂ්පිකා, සහෝදරයා නදීර ගිනිගේ.  

චමීර ක්‍රීඩාවට පමණක් නොවේ, අධ්‍යාපනයෙන් ද කප් ගැසූවෙක්. ඔහු ධර්මාශෝක විද්‍යාලයේ 2011/12 වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ඔහු 2013 වසරේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධි පාඨමාලාව සහභාගී වෙනවා. විශ්වවිද්‍යාල ජීවිතයේ දී 2013 වසරේ සිටම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය වර්ණ දිනා ගැනීමටත් 2013 සහ 2015 වසරවල කොරියාවේ සහ රුසියාවේ දී පැවති ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමටත්, 2013 වසරේ දී ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයීය තරගාවලියේ ශූරතාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දිනා දීමටත් සහ 2013 වසරේ සිට 2016 වසර දක්වා විශ්වවිද්‍යාලයීය මේසපන්දු ශූරයා බවට පත්වීමට සමත් වුනා. 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මේ සා කීර්තියක් අත්කර දුන් චමීර අද එම විශ්වවිද්‍යාලයේම ක්‍රීඩා විද්‍යා අධ්‍යාපන අංශයේ ශාරීරික අධ්‍යයන උපදේශකවරයෙක් ලෙසින් කටයුතු කරනවා. 

“මේ ගමනේ දී විශ්වවිද්‍යාල ජීවිතයෙන් ලැබූ පන්නරය විශේෂයි. එහි දී විශ්වවිද්‍යාලයීය උප කුලපතිතුමා ඇතුළු ක්‍රීඩා විද්‍යා අධ්‍යයන අංශයේ සියලුම දෙනාමත් මගේ සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා දුන් සහයෝගයත් ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන.”

චමීරගේ ප්‍රථම මේසපන්දු පුහුණුකරු වෙන්නේ නිෂාන් පෙරේරා මහතා. ඊට පසුව දිනේෂ් සමරවීර, චතුර දුෂාන්, උපුල් සමන්ත සහ දිනේෂ් දේශප්‍රිය මහත්වරුන් ද ඔහුට ගුරුහරුකම් ලබා දුන් අය. ඔවුන්ට වගේම ධර්මාශෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති ඔෂාන් පණ්ඩිතරත්න, විද්‍යාලයේ හිටපු ක්‍රීඩා ලේකම්වරුන් සහ කමනි නිලංගනී මහත්මිය සහ අමිල එගොඩගේ මහත්වරුන් ද චමීර සිහිපත් කරනවා. 

චමීර අවස්ථා කිහිපයක දී ම වෙළඳසේවා මේසපන්දු තරගාවලීන් නියෝජනය කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් මූල්‍ය ආයතන කණ්ඩායම නියෝජනය කරනවා. එහි දී ඔහුගේ දක්ෂතාවන්ට අතහිත දුන් රොෂාන් එගොඩගේ, අජිත් කීර්ති සහ ඉයන් ශම්මික යන මහත්වරුන් සිටි බවයි ඔහු පැවසුවේ. 

චමීර මේසපන්දු ජාතික ශූරයා ලෙස අභිෂේක ලබන්නේ එම ක්ෂේත්‍රය පිළිබඳව මනා වැටහීමක් ඇතිව. ඔහු පවසන්නේ මේසපන්දු පාලකයන්ගේ මීට වඩා මැදිහත් වීමක් ක්‍රීඩකයන් වෙත ලැබිය යුතු බවයි. 

“මේසපන්දු පාලකයන්ට නිශ්චිත වැඩ පිළිවෙළක් නැහැ. ක්‍රීඩකයන් අතර තරගකාරීත්වයන් තිබුනත් යොවුන් ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාවන් අඩුයි. කලාතුරකින් තරගයක් දෙකක් කළා කියලා මේසපන්දු ක්‍රීඩාවේ තරගකාරීත්වය ඇති කරන්න බැහැ. දැනට සංගමය හෝ අතුරු කමිටුව රැකී තිබෙන්නේ ක්‍රීඩා සමාජ කිහිපයක් නිසා. ඔවුන් කරන වාර්ෂික තරග නිසා. නමුත් ඒ විතරක් ප්‍රමාණවත් නැහැ. අපිට නව දැනුම, තාක්ෂණය වැනි ක්‍රමවේදයන් අවශ්‍යයි. ඒ සඳහා හොඳ විදෙස් පුහුණුකරුවෙක්ගේ සේවය ලබා ගන්න පුළුවන් නම් වඩා වැදගත් වේවි.” චමීර පවසනවා. 

මේසපන්දු ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ ආසියාවේ තත්ත්වය ගැන ද අදහස් දැක්වීමට චමීර පැකිළුණේ නැහැ. ඔහු ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නක්. 

“අපිට මේසපන්දු ක්‍රීඩාවේ දී මේ කලාපේ දී හමුවෙන්නේ ලෝකයේ හොඳම රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටවල්. එහෙම වුනා කියලා අපේ දක්ෂතා කවදාවත් අඩු මට්ටමේ නැහැ. අපි ආසියානු කලාපේ තරගවල දී දක්ෂතා දක්වලා තියෙනවා. මේ වෙද්දී චීනය සහ ඉන්දියාව ඉතා ප්‍රබල මට්ටමේ ඉන්නේ. ඔවුන් අපිට හමුවෙන්නේ සීමිත තරග සංඛ්‍යාවක දී පමණයි. නමුත් අපිට ඒ රටවල ක්‍රීඩකයන් සමග සුහද තරග හෝ පුහුණු සැසියන් පවත්වමින් ඊට යොමු කරනවා නම් ඔහුන්ගේ තාක්ෂණික ඥාණයන් ප්‍රගුණ කරගන්න පුළුවන්. වසරකට තරගයක දී දෙකක දී හමුවුණා කියලා ඒ අත්දැකීම් ඔවුන් පරාජය කරන්න ප්‍රමාණවත් නැහැ.” 

ජාතික ශූරයා වීමත් සමගින් චමීර කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තු ද ඉහළට ගොස් තිබෙනවා. ලැබූ මේ ජයග්‍රහණයත් සමඟින් චමීරගේ ප්‍රධානතම බලාපොරොත්තුව වී තිබෙන්නේ මේ වසරේ දෙසැම්බර් මාසයේ SAG තරගාවලිය ගැන. ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් හී නිරත වෙන චමීරට ThePapare.com වෙතින් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<