රසල් – අනේ අපිව බේරගන්න

2665

මී හරක් රංචුවක් මැදට සිංහයෙක් මැදි වූ විට සිදුවන දෙය නුඹ දැක තිබේද? දැක නොමැති නම් ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක විචාරක අට්ටාලයට මොහොතකට ගොඩවෙන්නැයි මම ඔබට ආරාධනා කරමි. ඉන්දීය මී හරක් විචාරක රැළකට මැදිව තනිව සටන් කරනා සිංහ හදැති රසල් ආර්නල්ඩ් ඔබට එහි දී මුණ ගැසෙනු ඇත. ඔහු පිළිබඳව ලියැවී ඇති සටහන් ඉතා අල්පය. මේ වෑයම ඔහු රජ කරවන්නට නොවේ. රජුන් අතර අමතක වී ගිය ඔහු පිළිබඳව ඔබට සිහි කරවීමටයි.

ඔබත් 90 දශකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයකු නම් ඔබටත් මා හට මෙන්ම රසල් ආර්නල්ඩ් කී පමණින් සිහියට නැගෙනු ඇත්තේ හීන්දෑරි සිරුරකින් හෙබි, crew cut විලාසිතාවට අනුව කොණ්ඩය කැපූ, සිනහවක් මුව අසලකවත් නොමැති, අංක 69 සහිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සිය හැඳගත් තරුණයා ය.

ඔබ මෑත දී ක්‍රිකට් නරඹන්නට එක් වූ ප්‍රේක්ෂකයකු නම් රසල් ආර්නල්ඩ් කී පමණින් ඔබට සිහිවනු ඇත්තේ ටයි කෝට් පැලඳ ජාත්‍යන්තර විචාරකයන් සමඟ හරි හරියට වචනයෙන් හරඹ කරනා, නිතර මුවග සිනහවක් රඳවාගත් මහත්මයා ය.

© cricktracker.com / cricketworld.com

රසල් ප්‍රේමකුමාරන් ආර්නල්ඩ් ජාතික කණ්ඩායමට එක් වන්නේ 1997 වසරේ අප්‍රේල් මස පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙනි. ඒ සනත් ජයසූරිය සමඟ ආරම්භක පිතිකරුවෙකු ලෙස තරගයට පිවිසෙමිනි. පසුව මැදපෙළ අංක 6 ස්ථානය ක්‍රීඩා කරමින් කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගත් රසල් තම දැකුම්කළු ස්වීප් පහරෙන් දඟපන්දු යවන්නන් මෙල්ල කළ වාර ගණන මෙතෙකැයි කියා කිව නොහැක. හිස් වැසුමක් හෝ නොමැතිව, තම KG පිත්ත කර මත තබාගෙන ප්‍රතිවාදී ක්‍රීඩකයන් හා වචන හුවමාරු කර ගනිමින් අභිමානවත් ලෙස ඔහු ලකුණු හඹා ගිය අපූරුව දැනුදු මා සිතෙහි ඇඳේ.

රසල් ලකුණු දස දහස් ගණන් රැස් කළ ක්‍රීඩකයෙකු නොවේ. කඩුළු සිය ගණනින් දවා ගත් ක්‍රීඩකයෙකු ද නොවේ. ඔහුගේ නම වාර්තා පොත් අතර නිතර ලියැවුනේද නැත. නමුත් ඔහු තමාට පැවරුණු රාජකාරිය මැනවින් ඉටුකළ ක්‍රීඩකයෙකි. කොටින්ම කිවහොත් තැනේ හැටියට ඇණේ ගැසූ ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් “තරු” අතර සැඟව යන්නට පෙර අපට සිටියේ තරගයේ අවශ්‍යතාවයට අනුව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් මිස ලකුණු ගොඩ හෝ කඩුලු ගොඩ වැඩිකරගන්නට ක්‍රීඩා කළ සිහින කුමරුවන් නොවේ.

රසල් පිතිකරු අසල පන්දු රැකීමේ අති දක්ෂයෙකි. එපමණක් නොව ඉතා තියුණු බුද්ධියක් සහිතව පිටිය තුළ හැසිරුණ අයෙකි. එහි තරම මැනගන්නට, වරක් සම්මුඛ සාකච්ඡාව දී ඇන්ඩෘ ප්‍රනාන්දු සමඟින් ඔහු පැවසූ කාරණාවක් මා මෙහි ලියා තබන්නෙමි.

එහි දී රසල් ඇන්ඩෘගෙන් විමසා සිටියේ මෙවැනි ප්‍රශ්නයකි.

මුරලි බෝල් කරන කොට මම silly mid-off වල හිටියොත්, බෝලෙ මගෙ පැත්තට ආවම ඒක ගන්න යන්නෙ අනිත් පැත්තෙ ළඟ පන්දු රකින කෙනා. leg side එකට බෝලෙ ගියොත් ඒක ගන්න යන්නෙ මම. ඒ ගැන අපි හොඳ අවබෝධයෙන් හිටියෙ. ඇයි ඒ?

ඉස්සරහට දුවන්න ලේසි නිසා? ඒ ඇන්ඩෘගේ පිළිතුරයි.

නෑ මනුස්සයො. තණතීරුව උඩින් දුවන්න ඕන නිසා. බෝලෙ මගෙ පැත්තට ආවම මං කම්මැලිකමට ඉන්න කොට අනිත් පැත්තෙ කෙනා තණතීරුව හරහා දුවල ගිහින් බෝලෙ ගන්නවා. මේ වගේ ගොඩක් වැඩ අපි කළා. අනිත් කණ්ඩායම්වල අයත් තණතීරුව උඩ දුවන එක කළා. ඒත් මම හිතන්නෙ නෑ ඒ කවුරුවත් අපි කරපු දේ කළා කියලා.

© Gettyimages.com

එසේ තණතිල්ල මත දිවීමේ දී සපත්තුවල ඇති ඇණවලට තණතිල්ල පළුදු වීමක් සිදු වන අතර එයින් මුරලිදරන් ප්‍රමුඛ දඟපන්දු යවන්නන්ට වැඩි දඟ කැවීමක් ලබාගත හැකි වේ. මෙය ඔවුන් භාවිතා කළ එක් උපක්‍රමයක් පමණි.

පිතිකරු අසල පන්දු රැකීම පිළිබදව තවදුරටත් අදහස් දක්වන රසල් පිතිකරු අසලින් පන්දු රකින්නට ස්ථානගත වීම සහ පිතිකරණ රටාව අධ්‍යයනය කොට කඩුල්ලක් දවාගත් අවස්ථාවක් පිළිබදව දක්වන්නේ මෙවැනි අදහසකි.

පිතිකරුවගේ ආරක්ෂා වීමේ තාක්ෂණය පන්දු රකිනකොට ස්ථාන ගත වෙන එකට බලපානව. එක් වතාවක් මම ඩැරල් කලිනන්ගේ හරහා පැනලා උඩපන්දුවක් රැක ගත්තා. කලිනන් සෙල්ලම් කරන විදිහ බලන් ඉද්දි ඔහු පන්දුව පිත්තයි පා ආවරණයයි අතරට ගන්න බව මට වැටහුනා. ඒ නිසා පන්දුව ළඟම වැටෙනවා. පන්දු යවන්නෙ මුරලි නිසා ඔවුන් වැඩි සෙල්ලම් දාන්නෙ නෑ. ”

ඉතින් මම silly mid-off වල ඉඳන් හැම පන්දුවටම කලිනන් හරහා පනින්න ගත්තා. ඒ පනින අතරේ එක පන්දුවක් අතේ හිරවුනා. නමුත් ජොන්ටි රෝඩ්ස්, නසාර් හුසේන් වගේ පිතිකරුවො එක්ක ඒ දේ කරන්න අමාරුයි. මොකද ඔවුන් පන්දුවට පැනලා පහර දෙනවා. පන්දුව වේගෙන් තමයි එන්නෙ. එයාලට ටිකක් පස්සට වෙන්න තමයි ඉන්න ඕන.

එසේ පිතිකරු අසල පන්දු රැකීමේදී සිදුවූ රසවත් මතකයක්ද රසල් හෙළි කළේ මේ අයුරින්.

මුරලි වගේ පන්දු යවන්නෙක් ඉන්නකොට පිතිකරුවො මොනවත් කරන්න යන්නෙ නෑ. ඒ වෙලාවට අනතුරුදායක තැනක් වුනත් විනෝදජනක වෙනවා. මට මතකයි එක් වරක් ජැක් කලිස් මුරලිගෙ පන්දුවකට වේගෙන් ගහන්න උත්සාහ කරපු වෙලාවක ඩිල්ෂාන් ළඟ ඉඳන් විහිළුවට වගේ කෑ ගහල කිව්ව -“මූ මට ගහන්න යනව, මොකක් හරි කියපන්.”- කියල. මොකද ඒ කාලෙ ඩිල්ෂාන්ගෙ ඉංග්‍රීසි එතරම් හොඳ නෑ.”

© Twitter.com

ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට නොහැකි වූ සෑම විටෙකම යළිත් පළමු පෙළ තරග පිටියට පිවිස, එවක සිටි තේරීම් කමිටුවල ඇස් හැරෙන පරිද්දෙන් ලකුණු රැස් කරන්නට රසල් කටයුතු කළේ ඇතැම් වත්මන් ක්‍රීඩකයන් මෙන් මුවෙන් හරඹ නොපා තම පිත්තට පමණක් කතා කරන්නට ඉඩ සලසා දෙමිනි.

2007 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් රසල් ඉන්පසුව තරමක් මෑතක දී නැවතත් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේ තරග විස්තර විචාරකයෙකු ලෙසය. “Rusty” යන සුරතල් නාමයෙන් හඳුන්වන රසල් පසුගිය සමයේ තම කණ්ඩායම දිගින් දිගටම තරග පරාජයන් රැසකට මුහුණ දුන් පසු ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ගිලිහී ගිය අභිමානය රැකගැනීමට විස්තර විචාරක අට්ටාලයේ සිට තනිව සටනක යෙදුණේ ඇතැම් විටෙක විදෙස් විචාරකයන්ගේ උසුළු විසුළු වලට පවා ලක්වෙමිනි.

බොහෝ විට ඉන්දීය විචාරකයන්ගේ පුහු මතවලට හිස නොනමන ඔහු කිසිවකුගේ සහයක් නොමැතිව තනිව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නේ නොබියව තමාට හැඟෙන අදහස් ඉදිරිපත් කරමිනි. එහි දී සමස්ත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ එකම ගැලවුම්කරුවා වූයේ රසල් ය. සමාජ මාධ්‍ය ඔස්සේ පවා තම කණ්ඩායම නිරන්තරයෙන් දිරිගන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට ඔහු කටයුතු කරන්නේ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ විවේචන දහසක් මධ්‍යයේ ය.

පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි සමස්ත ශ්‍රී ලාංකික ජන සමාජයම බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පෙරමුණේ තබාගෙන ජයග්‍රහණ වරුසාවකින් පරාජිත ඉඩෝරය නිම කරන්නටය. ඒ සඳහා අප සියල්ලෝම පිළිවෙතින් පෙළ ගැසී සිටියෙමු.

අමිහිරි මතක වළදමන්නට අප සුදු ඇඳන් සැරසුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊට සූදානම් නැත. සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පිට පිටම තුන් වැනි වතාවටත් පරාජය වන්නට, එක් කණ්ඩායමක් – එක් ජාතියක් තේමාව පෙරටුකොට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ සමත් වීම හේතු කොටගෙන ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් නැවතත් විදෙස් විචාරකයන් හමුවේ අන්දරේලා බවට පත් වෙමින් සිටියි. අපව නින්දාවෙන් ගලවා ගැනීමට දැන් යළිත් අප වෙනුවෙන් හඬක් උවමනා කර තිබේ.

රසල්, විචාරක අට්ටාලයට යළිත් වරක් ගොඩවී අනේ අපිව බේරගන්න…

dnaindia.com / colombotelegraph.com

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<