සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (6) පැවැත්වූ තෙවන ජාත්‍යන්තර එක්දින තරගයේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව ඇති අතර, එම නිසා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ධනුෂ්ක – දික්වැල්ල වික්‍රමය නිසා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

අද (06) සූරියවැව දී ඇරඹුණු තෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන් මුලින් …

පසුගිය වර්ෂයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වූ  ටෙස්ට් තරගාවලියේ දී සියලු තරග ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ සුවිශේෂී දස්කමක් වන අතර, එම සංචිතය තුළ අවුරුදු 19ක් වන වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඇතුළත්ව සිටියේය. නමුත් අවාසනාවකට ඔහුට එම තරගාවලියේ එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත.

අනතුරුව අසිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තම දක්ෂතාවයන් පෙන්නුම් කළේ තරග 6ක් තුළ කඩුලු 12ක් දවා ගනිමිනි. ඔහු එම කඩුලු දවා ගත්තේ ලකුණු 30.75ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ප්‍රබල තුරුම්පුවක් වන නුවන් ප්‍රදීප් අද හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ, තරගය තුළ පන්දුවාර 6ක් නිමා වී තිබිය දී සුළු ආබාධයකට ලක්වීම නිසා, ඔහුව විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණය තීරණය කරන ලදි. එයට  හේතුව වී ඇත්තේ ඉදිරියේ දී පැවැත්වෙන සිම්බාබ්වේ ටෙස්ට් තරගය හා ඉන්දීය තරගාවලියේ දී නුවන් ප්‍රදීප්ගේ සහභාගී වීම වැදගත් සාධකයක් වන නිසාවෙනි.

“මීළග තරගවල දී ප්‍රදීප්ට ක්‍රීඩා කරන්න පුළුවන්, නමුත් අපි මේ අවස්ථාවේ දී අවදානමක් ගත යුතු නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා පැවසුවේ ඉදිරි තරග දෙක තුල නුවන් ප්‍රදීප්ව විවේක ගැන්විය යුතු බවයි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන අසංක ගුරුසිංහ මහතා ප්‍රකාශ කලේය.

නුවන් කුලසේකර හා ලහිරු කුමාරව, සුරංග ලක්මාල් වෙනුවට සංචිතය සඳහා ඇතුළත් කිරීමට ඊයේ (5) තීරණය කළ නමුත්, අද තරගයේ නුවන් කුලසේකර ක්‍රීඩා කරනු දක්නට නොලැබුණි. එයට හේතු වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා විසින් ඒ සඳහා අවසර ලබා දී නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී තිබේ. නමුත් නුවන් ප්‍රදීප්ගේ විවේක ගැන්වීමත් සමඟින් යම් හෙයකින් එම තීරණය ඉදිරියේ දී වෙනස් වීමට ද ඉඩ ඇත.

“දැන් ප්‍රදීප්ව ආබාධයකට ලක්වූ නිසා ලහිරු කුමාර සමඟින් අසිත ප්‍රනාන්දු හෝ නුවන් කුලසේකර ඉදිරි තරගයේ දී සංචිතයට එකතු වේවි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමත් සමඟින් මෙම එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වී ඇත. දෙරට අතර මීළඟ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන 8 වැනි දා මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට