දකුණු අප්‍රිකාව කලින්ම ”පිස්සු කෙළින” ලකුණු

245
©AFP

දකුණු අප්‍රිකාව සහ ලෝක කුසලාන ක්‍රිකට් අතර ඇත්තේ එතරම් මිහිරි සම්බන්ධයක් නම් නොවේ. ලෝක කුසලානයේ අවාසනාවන්ත ම කණ්ඩායම ලෙසත් සරල භාෂාවෙන් කියතොත් අවශ්‍යම මොහොතේ ‘පිස්සු කෙළින’ කණ්ඩායමක් ලෙසටත් දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ සිය නම රන් අකුරින් (කළු අකුරෙන් යැයි කියමු) සටහන් කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් මේ වසරේ සූදානම් වන්නේ තීරණාත්මක මොහොත එළඹීමටත් කලින්ම ‘පිස්සු කෙළින්නට’ ද..?

ක්‍රිකට් හදපු ඉංග්‍රීසීන්ට ටිකට් බෙදන්න බැරි වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ ……..

පුදුම හිතෙන තීරණ

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ දකුණු අප්‍රිකාව මේ වන විට පළමු වටයේ තරග දෙකක් පරාජය වූ පළමු කණ්ඩායම බවට පත්ව සිටී. ඒ අවාසනාව නිසා යයි කීමට හිත නොදෙන්නේ කරුණු කිහිපයක් නිසාවෙනි. ඉන් ප්‍රධාන කරුණ ලෙස එම තරග දෙකේ දී ම කාසියේ වාසිය දිනා ගන්නට ඔවුන් සමත් වීම පෙන්වා දීමට පුළුවන්. නමුත් එම තරගවල දී ඔවුන් ගත් තීරණ කෙතරම් දුරට සාධාරණීකරණය කළ හැකි ද..?

පළමු තරගයේ දී පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ දකුණු අප්‍රිකානුවන් පන්දු යැවීම ආරම්භ කළේ ඉම්රාන් තාහීර් යොදාගෙනයි. ඔව් පළමු පන්දුවාරයේ ඔහු කඩුල්ලක් දවා ගන්නට සමත් වුනා.

නමුත් එතැන් පටන් ඔහුට සැලකිය යුතු යමක් කරන්නට හැකි වුනා ද? උදෑසන ආරම්භ වන තරගයක, එංගලන්ත තණතීරුවක, දඟපන්දු යවන්නන් යොදා ගැනීම පුදුම හිතෙන තීරණයක් නොවේ ද? එම තණතීරුව දඟ කැවෙන වේගය අඩු එකක් යැයි ඩුප්ලේසී උපකල්පනය කළා යයි සිතමු, (මැද පන්දුවාර අතර ඔහු සාමාන්‍යයෙන් පන්දු යැවීම සඳහා පළමු තේරීම් නොවන පන්දු යවන්නන් යොදා ගෙන පන්දුවේ වේගය අඩාල කිරීමට ද උත්සාහ ගත් නිසා) එසේ නම් එම තණතීරුවේ පිතිකරුවන් අඩුවෙන් යොදාගෙන දෙවනුව පන්දුවට පහර දීමට තීරණය කළේ ඇයි?

දෙවන තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඩුප්ලේසී නැවතත් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දෙන ලෙස ආරාධනා කළේ සිය වේගපන්දුවෙන් ඔවුන් මෙල්ල කරන්නට සිතාගෙන විය යුතුයි. නමුත් මෙම තරගය පැවැත්වෙන්නේ පරණ තණතීරුවක බවත්, සිය ප්‍රධානතම වේගපන්දු අවිය වන ඩේල් ස්ටෙයින් මේ තරගයට ක්‍රීඩා නොකරන බවත් ඩුප්ලේසීට අමතක වුනා ද යන්න විමතියට කරුණක්.  

ඔරලෝසු බට්ටා න්‍යාය

ඉතිහාසය නැවත නැවත සිදුවීමේ ඉඩකඩ පිළිබඳ අපි මීට පෙර ලිපියකින් සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසය ද එසේ නැවත නැවත රඟ දැක්වෙන නාටකයක් ද යන්න පිළිබඳ මෙම තරගයේ ප්‍රතිඵලය දුටු විට සැක මතුවේ.

2003 වසරේ තම රටේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත පරාජයක් උරුම කර දෙන්නට දකුණු අප්‍රිකානුවන් සමත් වූ අතර ඉන් වසර 4කට පසුව කොදෙව් දේශයේ දී බංග්ලාදේශ කණ්ඩායම එම පරාජයේ වාඩුව ගත්තේ 2007 ලෝක කුසලාන ගැටුමෙන් දකුණු අප්‍රිකාව ලකුණු 67ක දරුණු පරාජයකට ඇද දමමිනුයි.

ඔරලෝසු බට්ටා නැවත දකුණු අප්‍රිකාව දෙසට දෝලනය වුනේ 2011 ලෝක කුසලාන තරගාවලියේ දී මීර්පූර් ක්‍රීඩාංගණයේ සිටි දහස් සංඛ්‍යාත බංගලි ප්‍රේක්ෂකයන් ඉදිරියේ දී ම බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 78කට සීමා කරන්නට ඔවුන් සමත් වීමත් සමඟයි.

2015 ලෝක කුසලානයේ දී මෙම කණ්ඩායම් දෙකට එකිනෙකා මුණගැසෙන්නට දෛවය ඉඩ ලබා නොදුන්නත් ඉතිහාසයේ ඔරලෝසු බට්ටා වසර 8කට පසු නැවතත් තමන්ගේ රාජකාරිය ඉටු කරමින් බංග්ලාදේශය දෙසට දෝලනය වන්නට අමතක කළේ නැත.

වාසනාව පමණක් සෑහෙන්නේ නැත

බංග්ලාදේශ කණ්ඩායම පසුගිය කාලය පුරාවටම සිය දක්ෂතා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගත් අයුරු ලෝකයටම රහසක් වූයේ නැත. හිටි හැටියේම සිය ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට මාරු වූ අයුරු උපේක්ෂාවෙන් බලා සිටි බංග්ලාදේශ ක්‍රීඩකයන් සහ පාලකයන් කැපවීම තිබේ නම් තමන්ට කළ නොහැක්කක් නොමැති බව පෙන්වූයේ කලක් ප්‍රධාන පුහුණුකරුවෙක් නොමැතිව පවා ඉහල දස්කම් දක්වමින්.

මේ වන විට සිය පුහුණු කාර්ය මණ්ඩලය ද නැවත ශක්තිමත් කරගෙන සිටින ඔවුන් පළපුරුදු ක්‍රීඩකයන් මෙන්ම නවකයන් ද එක සේ දස්කම් දක්වන මට්ටමකට කණ්ඩායම වර්ධනය කර ගැනීමට සමත් වී තිබේ.

විවිධ තත්ත්වයන් යටතේ පරීක්ෂාවට ලක් කර වගකීම් සහගත බව තහවුරු කර තිබෙන පැරණි රණ ශූරයන් වන ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම් වටා සෙසු ක්‍රීඩකයන් එක්රැස් වී අධිෂ්ඨානයෙන් අරමුණ කරා ගමන් ගත් අකාරය පසසන අතරම ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඉන් උගත හැකි පාඩම් බොහෝ වේ.

තාහීර්ගේ ශතක සාදය විනාශ කළ ශකීබ්

මේ තරගය ආරම්භයට පෙර වැඩිම අවධානයක් දිනා සිටි ක්‍රීඩකයා සිය ශතක එක්දින තරගයට එක්වන ඉම්රාන් තාහීර් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. කෙසේ වෙතත් මුෂ්ෆිකර් රහීම් සහ ශකීබ් අල් හසන් එක්ව ඉම්රාන් තාහීර්ට පන්දුවාර 6ක් පුරා කඩුලු නොමැතිව ලත වෙන්නට සැලැස්වූයේ එම කාලය තුළ ලකුණු 40ක් ද ඔහුගෙන් සොරා ගනිමින්. සිය අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 17කට කඩුලු  2 දවා ගන්නට ඔහු සමත් වුවත් ඒ වන විට ශකීබ් ප්‍රමුඛ පිතිකරුවන් අවශ්‍ය තරම් ලකුණු සොරා ගෙන අවසන්ව තිබුණි.

එමෙන්ම මෙම තරගය අතරතුර කඩුලු 250ක් දවා ගැනීමේ කඩ ඉම වෙත ළඟා වූ ශකීබ් අල් හසන් ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර විශිෂ්ටයන්ගේ ලැයිස්තුවකට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට සමත් විය. ඒ එක්දින ලකුණු 5000 සහ කඩුලු 250 පසු කළ අති දුර්ලභ ක්‍රිකට් ජීවීන් අතරට ඇතුළත් වෙමින්.

මෙම විශිෂ්ට කඩ ඉම ඊයේ වනතුරු පසු කරන්නට සමත් වී තිබුණේ ක්‍රීඩකයන් 4 දෙනෙකු පමණයි. ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය, දකුණු අප්‍රිකාවේ ජැක් කලිස්ට අමතරව ශහීඩ් අෆ්රිඩි සහ අබ්දුල් රසාක් යන පාකිස්තානු ක්‍රීඩක ද්විත්වයට පසු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ ශකීබ් අල් හසන් සිය නම සටහන් කර ගත්තේ එහි ඉහළින්ම මිස අවසන් ස්ථානයේ නම් නොවේ. ඒ මන්ද යත්, ශකීබ් තරග 199කින් මෙම ඉලක්කය සපුරා ගනිද්දී ඉතිරි ක්‍රීඩකයන් සිව්දෙනාගෙන් කිසිවෙක් තරග 250කට හෝ පෙර එම දක්ෂතාවට ළඟා වී නොතිබීම හේතුවෙන්.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

තවත් වාර්තා කිහිපයක්

ඊයේ (02) තරගයේ දී බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 330ක් රැස් කළ අතර මේ බංග්ලාදේශ කණ්ඩායමක් ඕනෑම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක දී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව මෙය බව අමුතුවෙන් කිව යුතු නොමැති වුවත් මීට පෙර ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 278, ලකුණු 52කින් පසු කර යාම විශේෂත්වයක් විය.

අවසන් වශයෙන්

ඊයේ තරගය ක්‍රියාත්මක වන අතරතුර හිටපු දකුණු අප්‍රිකා ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස්, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දකුණු අප්‍රිකා කණ්ඩායමට පවසා තිබුණේ තවමත් කලබල වීමට හේතුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඉන් වැඩි වෙලාවක් ගත වීමට මත්තෙන් නැවතත් ට්විටර් පණිවුඩයක් තබන ජෝන්ටි රෝඩ්ස් සඳහන් කළේ හරි. දැන් කලබල වීමට කාලයයියනුවෙනුයි. මේ තරගය දෙස බලන විට රෝඩ්ස් ගේ ට්විටර් පණිවුඩය දකුණු අප්‍රිකාවට පමණක් නොව අනෙක් කණ්ඩායම් සියල්ලට ද අදාළ බව පෙනී යැයි. ඔව්. මේ බංග්ලාදේශයේ දස්කම් පිළිබඳ අනෙක් සියලු කණ්ඩායම් කලබල විය යුතු කාලයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<