විනිසුරුවන් සටන් 8ක් නවතයි

495
Sri Lanka Boxing

ඉතාමත් උණුසුම් තරග කිහිපයක් සමඟින් 2017 ආධුනික බොක්සිං තරගාවලියේ සිව්වැනි දිනය ඊයේ (31) නිමා විය. ඊයේ, මාස් රාජකීය බොක්සිං කවයේ දී නිමා වූයේ ආධුනික තරගාවලියේ අවසන් පූර්ව තරගයි. කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්විණි.

කාන්තා කි.ග්‍රෑ. 51, ෆ්ලයි වෙයිට් බරපන්තිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩී. පූජනී සහ මාස් තුරුලී කණ්ඩායමේ එස්. ප්‍රනාන්දු අතර මෙහි එක් තරගයක් පැවැත්විණි. එහි දී ජූරියේ 5-0ක බහුතරයකින් ප්‍රනාන්දු ජය ගත්තාය.

කාන්තා කි.ග්‍රෑ. 57, ලයිට් වෙයිට් බරපන්තිය

මාස් ලීනියා කණ්ඩායමේ වී. කුමාරි සහ ගුවන් හමුදාවේ කේ. තිවංකා අතර පැවති තරගයෙන් කුමාරි ජය ගත්තේ විනිසුරු විසින් තරගය නැවැත්වීමෙන් පසුවයි.

මෙහි දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ මාස් තුරුලී කණ්ඩායමේ වී. සිරිවර්ධන සහ කැෂුවල් ලයින් කණ්ඩායමේ ආර්. මෙන්ඩිස් අතරයි. මෙන්ඩිස්ගේ ප්‍රහාර දරුණු වීමත් සමඟින් විනිසුරු එම තරගයත් නවතා මෙන්ඩිස්ට ජය ලබා දුන්නේය.

කාන්තා කි.ග්‍රෑ. 46-48, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

මාස් තුරුලී කණ්ඩායමේ එස්. සමරසිංහ සහ මාස් ලීනියා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකා කව්මිණි ගමගේ අතර පැවති තරගයේ දී සමරසිංහගේ පාර්ශවයෙන් තරගය  නවතන ලෙස කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරු විසින් ගමගේට ජය ලබා දෙන ලදී.

කාන්තා කි.ග්‍රෑ. 54, බැන්ටම් වෙයිට් බරපන්තිය

කැෂුවල් ලයින් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙපලක් වන ඒ. රණසිංහ සහ ජේ. පෙරේරා මෙහි අවසන් පූර්ව තරගයට එක්විය. එහි දී ජූරියේ 4-1ක බහුතර තීරණයකින් ජය ලැබුවේ රණසිංහ යි.

පිරිමි කි.ග්‍රෑ. 46-49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කේ. අබේගුණවර්ධන සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ ඩී. දිවාකර අතර පැවති අවසන් පූර්ව තරගයෙන් දිවාකර ජය ගත්තේ ජූරියේ 4-1ක බහුතරයකිනි.

යුධ හමුදාවේ නන්දික කුමාර සහ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ අයි. සංජය මීළඟ අවසන් පූර්ව තරගයේ ස්ථානයන් වෙන්කරගෙන තිබූ අතර තරගයෙන් ජය ගත්තේ 3-2ක ජූරි බහුතරයක් ලබාගත් සංජය යි.   

පිරිමි කි.ග්‍රෑ. 52, ෆ්ලයි වෙයිට් බරපන්තිය

ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. මනරම් සහ එම්. කරුණාසිංහ අතර මෙහි පළමු තරගය පැවැත්වුණු අතර වේගවත් සහ බරැති පහරවල් සමඟින් මනරම් ජය ගත්තේ 5-0ක ජූරි තීරණයකිනි.

මෙම බරපන්තියේ දෙවන අවසන් පූර්ව තරගය පැවතියේ, යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එම්. උදයකුමාර සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ පී. ඩිල්ෂාන් අතරයි. ඩිල්ෂාන් එහි දී තුවාල ලැබූ අතර විනිසුරු විසින් තරගය නවත්වා උදයකුමාරට ජය ලබා දුන්නේය.

පිරිමි කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කේ. රාජපක්ෂ සහ ගුවන් හමුදාවේ ඩබ්ලිව්. සුගත් අතර තරගය, 5-0ක ජූරි තීරණයකින් ජය ගන්නට සමත් වූයේ රාජපක්ෂයි.

සාන්ත ජෝන් විද්‍යාලයේ පී. ද සිල්වා සහ හෙළ ක්ලෝදින් ආයතනයේ කේ. මධුරංග අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස බහුතර තීරණ දිනාගත් මධුරංග ජය ලැබුවේය.   

පිරිමි කි.ග්‍රෑ. 60, ලයිට් වෙයිට් බරපන්තිය

ආර්. දේවප්‍රිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ. මධුශංක අතර පැවති මෙම බරපන්තියේ පළමු තරගයේ දී දේවප්‍රිය පාර්ශවය විසින් තරගය නවත්වන ලෙස කළ ඉල්ලීම විනිසුරු පිළිගත්තේය. මධුශංක එහි දී ජය ලැබුවේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ එස්. කුමාර සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ එම්. ජයවීර අතර මීළඟ අවසන් පූර්ව තරගය පැවැත්විණි. ජූරියේ තීරණ 5න් 4ක් දිනා ගත් ජයවීරට තරගයේ ජය හිමි විය.

පිරිමි කි.ග්‍රෑ. 64, ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ එස්. භානුක සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ සී. මධුශංක අතර පැවති තරගයෙන් 5-0ක ජූරි බහුතරය දිනා ගත් භානුක ජය ලැබුවේය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කේ. සමීර සහ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ බී. ගමගේ අතර පැවති උණුසුම් අවසන් පූර්ව තරගයෙන් 3-2ක තියුණු ජූරි බහුතරයකින් ජය ගත්තේ කේ. සමීර යි.   

පිරිමි කි.ග්‍රෑ. 69, වෙල්ටර් වෙයිට් බරපන්තිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. අබේරත්න සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සී. සෙනවිරත්න මෙම බරපන්තියේ පළමු අවසන් පූර්ව තරගයේ දී සටන් වැදිණි. ඉන් ජය ලැබීමට, ජූරි තීරණ 4-1ක් වශයෙන් ඉදිරියෙන් සිටි අබේරත්න සමත් විය.

ශ්‍රී ලංකා යුධ හමුදා රෙඩ්කණ්ඩායම නියෝජනය කළ එස්. රූපසිංහ සහ වී. නිකලස් මෙහි දෙවන අවසන් පූර්ව තරගය සඳහා එක්වූ අතර ජූරියේ 4-1ක බහුතරයකින් නිකලස්ට ජය හිමි විය.

පිරිමි කි.ග්‍රෑ. 75, මිඩ්ල් වෙයිට් බරපන්තිය

මෙහි පළමු අවසන් පූර්ව තරගයේ දී විද්‍යාර්ථ විද්‍යාලයේ සිසිර කුමාර සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඩී. ප්‍රේමකුමාර තරග වැදුණු අතර ඉන් ජූරියේ 3-2ක බහුතරයෙන් ප්‍රේමකුමාර ඉදිරියට ගියේය.

යුධ හමුදාවේ ඩී. දසනායක සහ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ එස්. සමීර මීළඟ අවසන් පූර්ව තරගයේ දී තරග වැදුණු අතර 4-1ක ජූරි බහුතරයකින් දසනායකට ජය හිමි විය.

පිරිමි කි.ග්‍රෑ. 81, ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

ශ්‍රී ලංකා යුධ හමුදාවේ එල්. අමරසිංහ සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එන්. බණ්ඩාර අතර පැවති මෙම බරපන්තියේ පළමු තරගය, 5-0ක ජූරි බහුතරයකින් තමන් සතුකරගන්නට අමරසිංහ සමත් විය.

ගුවන් හමුදාවේ එන්. පුෂ්පකුමාර සහ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ එස්. තිලකරත්න අතර තරගයේ දී 5-0ක ජූරි බහුතරයකින් ජය ගත්තේ තිලකරත්න යි.   

පිරිමි කි.ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය

යුධ හමුදාවේ ආර්. සඳකැලුම් සහ රාජකීය විද්‍යාලයේ දිමුදු රත්නායක අතර තරගයේ දී පහර පිට පහර දැකිය හැකි වූ අතර සඳකැලුම්ට ජය ලබා දෙමින් විනිසුරු තරගය නැවැත්විය.

යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ පී. වාරියප්පෙරුම සහ ගුවන් හමුදාවේ බී. සේනානායක අතර තරගයේ දී සේනානායකගේ උරහිස විසන්ධි වීම හේතුවෙන් ජය හිමි වූයේ වාරියප්පෙරුමටයි.

පිරිමි කි.ග්‍රෑ. 91ට වැඩි, සුපර් හෙවි වෙයිට් බරපන්තිය

යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ පී. ගුණවර්ධන සහ ගුවන් හමුදාවේ සී. ලක්රුවන් අතර තරගයෙන් ගුණවර්ධන ජය ගන්නට සමත් වූයේ විනිසුරු විසින් තරගය නවතාලීම හේතුවෙනි.

ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමේ කේ. ජයසේන සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එම්. අබේසිංහ අතර පැවති තරගයෙන්, ජයසේන ජූරියේ 5-0ක බහුතරයක් ලබා ජය හිමිකර ගත්තේය.

අද (01) තරගාවලියේ අවසන් දිනයයි. මේ වන විටත් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින යුධ හමුදා ක්‍රීඩා සමාජයට අභියෝගයක් වන්නට ප්‍රතිවාදීන්ට හැකි වේවි ද? රැඳෙන්න, ThePapare.com සමඟින්…

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට