තෙවන දිනය ගැන දික්වැල්ල කතා කරයි

1638

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද (05) දිනය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණපෑමට සිදු වූ වාතාවරණය සම්බන්ධයෙන් සිය අදහස් දක්වන ලදි.

පසුගිය ලිපි: පරාජය පෙනෙන මානයේ දී පොඩි කුසල්ගෙන් විශිෂ්ට ශතකයක්!

වමතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරු දික්වැල්ල මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 183ක් පමණි.

“අපිට අද උදෑසන කාලය තුළ තරගය මනාව පාලනය කර ගැනීමට නොහැකි වුනා. ඒ නිසා අපිට දිගු ඉනිම් කිහිපයක් දියත් කරමින් පිතිකරණයේ නිරත වෙන්න බැරි වුනා. නමුත් අප අද තරගයේ සවස් කාලය තුළ ධනාත්මකව සිතා පිතිකරණයේ නිරත වුනා. මෙම තණතීරුව ලෙහෙසි පහසු තණතීරුවක් නොවේ. නමුත් අපි තරමක් ප්‍රමාද වී මෙහි හැසිරීම අවබෝධ කර ගත්තා. අද උදෑසන කාලය තුළ අපිට කිසිම දෙයක් කර ගන්නා බැරි වුනා.“ යැයි නිරෝෂන් දික්වැල්ල එහි දී ප්‍රකාශ කළේය.

අද උදෑසන කාලයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් මුළුමනින්ම සිය ග්‍රහණයට නතු කර ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. දිවා කාලය වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වූ අතර, එතැන් පටන් තරගයේ තෙවන දිනයේ අවසානය දක්වා ඉන්දීය පන්දු යවන්නන්ට සැලකිය යුතු අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය. අද තරගයේ පළමු කාලච්ඡේදය තුළ ශ්‍රී ලංකා පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් වන අතර, එහි දී කඩුලු 8ක් දැවී ගියේය. නමුත් දෙවන ඉනිමේ දී ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න දෙවන කඩුල්ල සඳහා ලකුණු 191ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනංවමින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට අවතීර්ණ වීම සඳහා දොරගුළු විවර කර දෙන ලදි.

“අපි දෙවන ඉනිමට පිතිකරණයට අවතීර්ණ වූයේ යම් සැලැස්මකට අනුවයි. එහි දී අපි වේගපන්දු යවන්නන්ට හා ඔවුන්ගේ දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන අයුරු හොඳින් සැලසුම් කර ගත්තා, ඒක නිසා අද දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 200ක් ඉක්මවා ඒමට අපට හැකියාව ලැබුණා. ඔවුන් දෙපළ (කුසල් මෙන්ඩිස් හා කරුණාරත්න) පිටිය තුළ එය හොඳින්ම ඉටු කළා, ඒ පිළිබඳව අපි හුඟක් සතුටු වෙනවා.“

දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් ඉන්දීය දඟපන්දු යවන්නන් වන රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවලට sweep පහරවල් එල්ල කරමින්, එම පන්දුවලට සාර්ථකව මුහුණ දෙන ලදි. එවන් පන්දුවලට SSC තණතීරුව තුල පිතිකරුවන්ට කළ හැකි හොඳම විසඳුම ද එය වේ.

“මම හිතන්නේ sweep එකයි reverse sweep එකයි අශ්වින් හා ජඩේජා මෙල්ල කිරීමට තියෙන හොඳම විසඳුම කියලයි. අපි පුහුණුවීම් අතරතුර එය හොඳින් පුහුණු වුනා. ඔවුන්ගේ පන්දු දඟ කැවීම අනුව එය තමයි හොඳම විසඳුම.”

දික්වැල්ල ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 51ක් එකතු කිරීමට 4 පහර 7ක් හා එක් 6 පහරක් වාර්තා කළේය. එහි දී අශ්වින්ට හා ජඩේජාගේ පන්දුවලට දික්වැල්ල හොඳින්ම මුහුණ දෙන ලදි.

“මම මගේ උපරිම ශක්තියෙන් ක්‍රීඩා කළා, එහි දී මම ගොඩක් වෙලාවට sweep එකෙන් තමා ලකුණු ගත්තේ එය මට විශාල සහයක් වුනා මගේ අර්ධ ශතකයට යාමට.” යැයි දික්වැල්ල අවසාන වශයෙන් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළේය.

දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 209ක් ලබාගෙන සිටින්නේ ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 230ක් පසුපසින් සිටිමිනි.

එම දෙවන ඉනිම සඳහා කුසල් මෙන්ඩිස් අගනා ශතකයක් ලබාගත් අතර, නොදැවී ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න ලකුණු 92*ක් ලබාගෙන සිටියි. මාලින්ද පුෂ්පකුමාර ලකුණු 2*යි. මෙම තරගයේ සිව්වන දිනය හෙට (6) උදෑසන 10ට කොළඹ SSC පිටියේ දී ආරම්භ වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට