ඊයේ (19) නෙළුම් පොකුණ රඟහලේ දී පැවති සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අම්බලංගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලයේ නිපුන් රංසික ‘Dialog 4G – The Sunday Times’ 2017 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහි දී පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරන කණ්ඩායම්වලට සමස්ත ලංකා කාණ්ඩය යටතේ ද, දෙවන කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම්වලට නැඟී එන කාණ්ඩය යටතේ ද සම්මාන පිරිනමන ලදි. සම්මාන ලාභීන් තෝරා ගනු ලැබුවේ ජයන්ත සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කළ තේරීම් කමිටුවක් මඟිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නිල ස්මාර්ට්ෆෝන් සහකරුවෙක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන්..

පසුගිය වසර පුරාවට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ හොඳම වේගපන්දු යවන්නා බවට පත්වූයේ නිපුන් රංසික ය. විශේෂයෙන් ඔහු දකුණු අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියානු සංචාරවල දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. එම වසර තුළ දී ඔහු පාසල් තලය තුළ කඩුලු 51කුත්, ජාත්‍යන්තර තලය තුළ කඩුලු 34කුත් දවා ගන්නට සමත්කම් පෑවේය. දෙවන කාණ්ඩයේ කණ්ඩායමක ක්‍රීඩා කරන ඔහු නැඟී එන පාසල් කාණ්ඩයේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානයෙන් ද මෙහි දී පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ පුහුණුකරුවෙකු වන මාවන් අතපත්තු මහතා සහභාගී වූ අතර මෙම අවස්ථාවට ‘Dialog Axiata’ ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා ද එක් විය.   

“ඔබ එක් අවස්ථාවක දී අසාර්ථක වුනා කියලා සම්පූර්ණ තරගයම පරාදයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔබ සතුව ඒ අවස්ථාවේ දී තිබිය යුතු එකම ආයුධය ආත්ම විශ්වාසය. ඔබ මෙතරම් දුරක් අද වන විට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අද මේ සම්මාන උළෙලට එන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබ අනිත් අයට වඩා දක්‍ෂ නිසා. ඔබ සෑම අවස්ථාවක දී ම ඒ බව සිතිය යුතුයි. ඔබ සෑම අවස්ථාවක දී ම ඔබේ ප්‍රතිවාදියාට වඩා දක්‍ෂයි වගේම ඔබට තරගයේ රැඳී සිටින තාක් කල් ඒ බව රැක ගන්න පුළුවන්.”

අතපත්තු මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේය.

වසර තුළ දී ලකුණු 880ක් ලබා ගනිමින් සහ කඩුලු 71ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දැක්වූ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයේ අනුශූරතාවය දිනා ගත් අතර ඊට අමතරව ඔහු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ හරීන් බුද්ධිල සහ ඉසිපතන විද්‍යාලයේ පැතුම් නිස්සංක පිළිවෙළින් හොඳම පන්දු යවන්නාට සහ හොඳම පිතිකරුවාට හිමි සම්මාන දිනා ගැනීමට සමත් විය. ජාතික කණ්ඩායමට කැඳවීමට පෙර හරීන් තරග 9ක දී කඩුලු 76ක් දවා ගැනීමට සමත් වූ අතර පැතුම් තරග 10ක දී ලකුණු 923ක් ලබා ගැනීමට සමත් වූයේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 205ක්ද වාර්තා කර ගනිමිනි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ලසිත් ක්‍රෘෘස්පුල්ලේ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ මනාප 248,005ක් ලබා ගනිමිනි. එහි අනුශූරතාවය දිනා ගනු ලැබුවේ ඡන්ද 144,123ක් ලබාගත් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ නවිඳු නිර්මාල්ය.

සමස්ත ලංකා පාසල් සම්මාන  

  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (ශූරතාවය) – නිපුන් රන්සික (පී. ද. එස්. කුලරත්න විද්‍යාලය, ගාල්ල)
  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (අනුශූරතාවය) – නිපුන් ධනංජය (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව)
  • හොඳම පිතිකරු (ශූරතාවය) – පැතුම් නිස්සංක (ඉසිපතන විද්‍යාලය)
  • හොඳම පිතිකරු (අනුශූරතාවය) – අශේන් බණ්ඩාර (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
  • හොඳම පන්දු යවන්නා (ශූරතාවය) – හරීන් බුද්ධිල  (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
  • හොඳම පන්දු යවන්නා (අනුශූරතාවය) – නවීන් ගුණවර්ධන (තර්ස්ටන් විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා (ශූරතාවය) – රවිඳු රශාන්ත (ධර්මාසෝක විද්‍යාලය, අම්බලංගොඩ)
  • හොඳම පන්දු රකින්නා (අනුශූරතාවය) – සන්තුෂ් ගුණතිලක (සාන්ත පීතර විද්‍යාලය)
  • හොඳම කඩුලු රකින්නා (ශූරතාවය) – නවිඳු නිර්මාල් (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
  • හොඳම කඩුලු රකින්නා (අනුශූරතාවය) – දුෂාන් ගුරුගේ (මාරි ස්ටෙලා විද්‍යාලය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (ශූරතාවය) – නිපුන් ධනංජය (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (අනුශූරතාවය) – චරණ නානායක්කාර (තර්ස්ටන් විද්‍යාලය)
  • හොඳම නායකයා (ශූරතාවය) – කසුන් අබේරත්න (තර්ස්ටන් විද්‍යාලය)
  • හොඳම කණ්ඩායම (ශූරතාවය) – තර්ස්ටන් විද්‍යාලය
  • හොඳම කණ්ඩායම (අනුශූරතාවය) – රිච්මන්ඩ් විද්‍යාලය

ජනප්‍රියතම පාසල් සම්මාන

  • සමස්ත ලංකා (ශූරතාවය) – ලසිත් ක්‍රොස්පුල්ලේ (මාරිස් ස්ටේල්ලා විද්‍යාලය)
  • සමස්ත ලංකා (අනුශූරතාවය) – නවිඳු නිර්මාල් (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
  • සමස්ත ලංකා (3 වන ස්ථානය) – මොහොමඩ් නජාත් (සහිරා විද්‍යාලය)
  • නැඟී එන (ශූරතාවය) – ප්‍රබාෂ් මදුරංග (සිරි පියරතන මහා විද්‍යාලය, පාදුක්ක)
  • නැඟී එන (අනුශූරතාවය) – පුලිත යසස් (ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර)
  • නැඟී එන (3 වන ස්ථානය) – සහන් පෙරේරා (ක්‍රිස්තුරාජ විද්‍යාලය, පන්නිපිටිය)
  • ජාත්‍යන්තර (ශූරතාවය) – තරීක් හනීෆ් (වයිෂර්ලි ජාත්‍යන්තර පාසල)
  • ජාත්‍යන්තර (අනුශූරතාවය) – ශිම්රාස් ශාහිල් (ඇලීතියා ජාත්‍යන්තර පාසල)

නැඟී එන පාසල් සම්මාන

  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (ශූරතාවය) – දිලුම් සුදීර (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (අනුශූරතාවය) – වනිත වන්නිනායක (සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල)
  • හොඳම පිතිකරු (ශූරතාවය) – වනිත වන්නිනායක (සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල)
  • හොඳම පිතිකරු (අනුශූරතාවය) – ලහිරු තඹවිට (සිරි කුරුස විද්‍යාලය, කළුතර)
  • හොඳම පන්දු යවන්නා (ශූරතාවය) – නිපුන් රන්සික (පී. ද. එස්. කුලරත්න විද්‍යාලය, ගාල්ල)
  • හොඳම පන්දු යවන්නා (අනුශූරතාවය) – දිලුම් සුදීර (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා (ශූරතාවය) – ඉෂාර මධුවන්ත (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා (අනුශූරතාවය) – කවිඳු ඉරෝෂ් (සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුනේරිය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (ශූරතාවය) – දිලුම් සුදීර (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (අනුශූරතාවය) – නිපුන දේශාන් (ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර)
  • හොඳම කණ්ඩායම (ශූරතාවය) – සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
  • හොඳම කණ්ඩායම (අනුශූරතාවය) – සාන්ත තෝමස් විද්‍යාලය, මාතර

නැඟී එන කණ්ඩායම් සම්මාන

  • බස්නාහිර පළාත (ශූරතාවය) – ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර
  • මධ්‍යම පළාත (ශූරතාවය) – විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර
  • වයඹ පළාත (ශූරතාවය) – සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුනේරිය
  • උතුරු පළාත (ශූරතාවය) – යාපනය මධ්‍ය මහා විද්‍යාලය
  • දකුණු පළාත (ශූරතාවය) – රාහුල විද්‍යාලය, මාතර
  • ඌව පළාත (ශූරතාවය) – බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
  • සබරගමුව පළාත (ශූරතාවය) – ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව

නැඟී එන කණ්ඩායම – රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, හංවැල්ල

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<