නිහාල් මෙන්ඩිස් කුසලානය මෙවරත් මැසිනෝදියට

362

අඛණ්ඩව දෙවන වරටත් කඳාන ද මැසිනොද් විද්‍යාලය මගින් සංවිධානය කරන ලද නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලාන පාපන්දු තරගය අද (10) කඳාන ද මැසිනොද් විද්‍යාලයීය පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ගෝල 4-2ක් ලෙස සාන්ත බෙනඩික්ට් විදුහල පරාජය කරමින් මෙවර ද කුසලානය තමන් සතු කර ගැනීමට ගියවර ශූරතාවය ලබා ගත් සත්කාරක මැසිනෝදියානුවන් සමත් විය.

කඳාන ද මැසිනොද් විද්‍යාලයේ ගුරුවරයෙකු මෙන්ම හිටපු පාපන්දු පුහුණුකරුවෙකු ද වූ නැසී ගිය නිහාල් මෙන්ඩිස් මහතා සිහිපත් වීම පිණිස මෙම පාපන්දු තරගය ද මැසනඩ් විද්‍යාලය විසින් සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා යෞවනයින් සුදුසුකම් ලබා ගැනීමෙන්ම ඉවතට

වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලිය සඳහා පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටජිකිස්ථානයේ…

තරගය ප.ව. 3.30ට ආරම්භ වූ අතර තරගය ආරම්භයේ පටන්ම උද්වේගකර ස්වභාවයක් පෙන්නුම් කළේ දෙපිළේම නරඹන්නන්ගෙන් ලැබුණු දැඩි සහයෝගය ද නිසාය. විටක මැසිනෝදියානුවන් ඉදිරියට ඇදෙමින් ද තවත් විටක බෙනඩික්ට් ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙමින් ද ක්‍රීඩාගාරයේ සිටි නරඹන්නන්ව අමන්දානන්දයට පත් කළ ද කිසිදු ගෝල වාර්තා කිරීමකින් තොරව ප්‍රථම භාගය අවසන් විය.

ප්‍රථම අර්ධය: ද මැසනඩ් විද්‍යාලය 0 : 0 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ඉන්පසු විනාඩි 10කින් ඇරඹි දෙවන අර්ධයේ දී ද පළමු අර්ධයේ දී මෙන් තරගය දෙපිලටම දෝලනය වෙමින් ඉදිරියට ඇදී ගිය අතර කලහකාරී තරග රටාවක් කිසිදු ක්‍රීඩකයෙකුගෙන් දිස් නොවීම සඳහන් කළ යුතුමය. ඒ නිසාම කාඩ්පත් නිකුත් කිරීම් ද තරගයේ දක්නට ලැබුණේ නැත.

නමුත් අවස්ථා කීපයක දී ම කණ්ඩායම් දෙකටම නිදහස් පහර අවස්ථා ලැබුණි. නමුත් ලැබුණු අවස්ථා කිසිවක් සාර්ථක කර ගැනීමට මැසිනෝදියානුවන් හෝ බෙනඩික්ට් ක්‍රීඩකයින් සමත් නොවීම හේතුවෙන් දෙවන අර්ධය ද නිමාවට පත් වූයේ ලකුණු පුවරුව ආරම්භක අවස්ථාවේ පැවති ආකාරයටම පැවතෙමිනි. එම නිසා තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා දඬුවම් පහර වෙත යොමු වීමට විනිසුරුවන් තීරණය කරන ලදි.

දෙවන අර්ධය: ද මැසනඩ් විද්‍යාලය 0 : 0 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

පැනල්ටි නොහොත් දඬුවම් පහර සඳහා යොමු වීමත් සමඟ ප්‍රථම දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව මැසිනොද් කණ්ඩායම වෙත ලැබුණි. ඒ අනුව ප්‍රථම පහර සාර්ථක කරගෙන තම පිල ඉදිරියට ගෙන ඒමට අංක 7 දැරූ ප්‍රමුදිත ගුණසේකර සමත් විය.

ඉන්පසු අවස්ථාව ලද බෙනඩික්ට් අංක 10 ක්‍රීඩකයා කවුරුත් බලාපොරොත්තු නොවූ ලෙස පහර ඉවතට එල්ල කළේ බෙනඩික්ට් කණ්ඩායම තරගයේ අඩියක් පසුපසට ගෙන එමිනි. ඉන්පසු තුන්වන දඬුවම් පහර දක්වාම දෙපිලම සාර්ථක වූ අතර 3-2ක් ලෙස සත්කාරක කණ්ඩායම ඉදිරියෙන් සිටිද්දී එම කණ්ඩායම වෙනුවෙන් සිව්වන පහර ද සාර්ථක කර ගැනීමට අංක 2 දැරූ ඉසුරු විනෝද් සමත් විය.

නමුත් සත්කාරක  මැසිනෝදියේ සහෝදර පාසල වූ බෙනඩික්ට් විද්‍යාලයේ වෙනුවෙන් සිව් වන පහර එල්ල කිරීමට අවතීර්ණ වූ 12 වැනි ක්‍රීඩකයාගේ ප්‍රයත්නය ව්‍යර්ථ කර පන්දුව රැක ගැනීමට මැසිනොද් ගෝල රකින්නා වූ රොමේශ් චතුරංග සමත් වූයේ රැස්ව සිටි දහසක් වූ මැසිනොද් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි. ඒ අනුව ගෝල 4-2ක් ලෙස සටහන් වෙමින් සත්කාරක මැසිනෝදිය පිට පිට දෙවන වතාවටත් සිය අපරාජිත බව විදහා දක්වමින් මෙවර නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලානය ද තමන් සතු කර ගැනීමට සමත් විය.

ගෝල වාර්තා කිරීම් (දඬුවම් පහර)

  • ද මැසිනොද් විද්‍යාලය: ප්‍රමුදිත ගුණසේකර, රංජු ද සිල්වා, ඉසුරු විනෝද්, රවිඳු හන්සක
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය: මලිඳු නිමන්ත පෙරේරා, එවෝන් රෙහාන්, සෙඩ්වික් වෝල්ස්

තරඟය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් පහත පරිදි වේ.

කඳාන ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායම       

රංජු ද සිල්වා, ප්‍රමුදිත ගුණසේකර, දුශාන්,රහීන්, දිලීප චතුරංග, බ්‍රයන් නිසල්, රවිඳු හන්සක, රොමේශ් චතුරංග, ජීවන්ත, ඉසුරු විනෝද්

අතිරේක –  දෙනෙත්, ඔෂාන්, මල්ෂ, නිම්ශාන්, අවිශ්ක, ශේන්, සුදාන්, ප්‍රමෝද්

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායම

බ්‍රයන් අභිශේක් ප්‍රනාන්දු, ඇල්වින් ස්ටෙහාන් පිල්ලේ, මලිඳු නිමන්ත පෙරේරා, ශැරෝන් බ්‍රින්ග්ටොන් ප්‍රනාන්දු, ජෙරොඩ් එම්. වාස්, අල්පොන්සු ශර්වින් ඇල්ඩො ප්‍රනාන්දු, හේවාවඩුගේ ශෙනාල් කාවින්ද, එස්. ආර්. රාන්ඩීන්, චාරුක සන්දීප, කවිශ්ක ලක්ශාන් ප්‍රනාන්දු, බ්‍රෙන්ඩක් ඇලෙක්සැන්ඩර්, ක්‍රිස් ඩෑන් මැකැන්‍රෝ ලෝබෝ, ජොහේ ෆේබියන් ප්‍රනාන්දු, එවෝන් රෙහාන් සෙඩ්වික්, සරුගන් රත්නවැල්ල, ජොහී බ්‍රසීල් සෙල්වසාම්, ඇන්ඩෲ මාර්ක් ප්‍රනාන්දු

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට