නික් බොලිටියෙරි ශ්‍රී ලංකාවට

204
Nick Bollettieri

ලෝක ප‍්‍රකට ටෙනිස් පුහුණුකරු නික් බොලිටියෙරි විසින් පවත්වනු ලබන පුහුණු කඳවුරක් ජනවාරි මස 22 වැනි දා සිට 24 වැනි දා දක්වා කොළඹ ක්වීන්ස් ක‍්‍රීඩා සමාජයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අනුග‍්‍රහකත්වය JAT හෝල්ඩින්ග්ස් ආයතනය විසින් දරණු ලබයි.

ලොව වැඩිම ඉල්ලූමක් සහිත ඇමරිකානු ජාතික ටෙනිස් පුහුණුකරුවකු වන නික් බොලිටියෙරි ලොව අංක 1 ටෙනිස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් බිහි කිරීමට සමත්ව ඇත. ලෝක පූජිත ටෙනිස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන ඇන්ඩි‍්‍ර ඇගසි, බොරිස් බෙකර්, මාරියා ෂරපෝවා, වීනස් සහ සෙරීනා විලියම්ස්, මාර්ටිනා හින්ගිස්, ජිම් කුරියර් සහ කෙයි   නිෂිකෝරි වැනි විශිෂ්ටයින් ඒ අතර වේ.   

බ‍්‍රැන්ඩෙන්ටන්හි පිහිටි නික් බොලිටියෙරි ටෙනිස් ඇකඩමිය හරහා ඔහු ටෙනිස් ක‍්‍රීඩාවට මහඟු දායකත්වයක් ලබා දීමට සමත් විය. ගොල්ෆ්, මලල ක‍්‍රීඩා, පාපන්දු, බේස්බෝල්, පැසිපන්දු, ඇමරිකන් ෆුට්බෝල් සහ ටෙනිස් ක‍්‍රීඩාවන් සඳහා අති නවීන පහසුකම් සලසනු ලබන ඇමරිකා එක්සත් ජනපදයේ අංක 1 ක‍්‍රීඩා ඇකඩමිය වන IGM හි ප‍්‍රධානියා වශයෙන්  කටයුතු  කරන බොලිටියෙරි, මෙම පුහුණු  කඳවුරු  සඳහා මිළ කල නොහැකි දායකත්වයක් ලබා දෙනු ඇති බව නොඅනුමානය.

මෙම පුහුණු කඳවුර තුළදී ජාතික මට්ටමේ ක‍්‍රීඩකයින් මෙන්ම තරුණ ක‍්‍රීඩකයින් සමඟද කටයුතු කරමින් ශ‍්‍රී ලංකා ටෙනිස් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒම සඳහා  දායක වීම බොලිටියෙරි මහතාගේ අපේක්ෂාවයි.

‘‘ශ‍්‍රී ලංකාවේ ආධුනික හා ජාත්‍යන්තර ටෙනිස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට කුසලතා වර්ධනය කිරීම සඳහා සහයෝගයක් වශයෙන් ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය (SLTA) සමඟ එක්ව මේ සඳහා අනුග‍්‍රහය දැක්වීමට ලැබීම පිළිබඳව අපි අතිශයින්ම අභිමානයට පත් වන්නෙමු.  මුළු  දිවයිනම  ආවරනය  කරමින්  ක‍්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන බවට අප ප‍්‍රතිඥා දී ඇති අතර එහිදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන ක‍්‍රීඩා උළෙල සඳහා  සහයෝගය දක්වමින් JAT හෝල්ඩින්ග්ස් ආයතනය ක‍්‍රිකට්, ගොල්ෆ් සහ හොකී වැනි සෙසු  ක‍්‍රීඩා සඳහාද මේ ආකාරයෙන්ම අනුග‍්‍රහය ලබා දීමට කටයුතු කොට ඇත.’’ යනුවෙන් JAT හෝල්ඩින්ග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසීය.

’‘විශිෂ්ට ටෙනිස් පුහුණුකුරු නික් බොලිටියෙරි මෙම පුහුණු කඳවුර සඳහා දායක කරගැනීමට ලැබීම ක්වීන්ස් ක‍්‍රීඩා සමාජය ලද වරප‍්‍රසාදයක් ලෙස අප අගය කොට සළකන්නෙමු. ක‍්‍රීඩකයින් 100කට අධික සංඛ්‍යාවකට ඔහුගෙන් ගුරුහරුකම් ලබා ගනිමින්  සිය කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව මෙමගින් උදා වේ. මෙහි යහපත් ප‍්‍රතිඵල අනාගතයේදී දැකගත හැකි වනු ඇත.’’ යනුවෙන් ක්වීන්ස් ටෙනිස් ක‍්‍රීඩා සමාජයේ කැඳවුම්කරු අසංග සෙනවිරත්න මහතා පැවසීය.