ඉන්දියාවට ඉතිහාසයේ දැවැන්තම පරාජය ගෙන දුන් සයිෆට්ගේ සුපිරි ප්‍රහාරය!

295
තරගය අතරතුරේ දී සයිෆට් අසාමාන්‍ය රිවර්ස් ස්කූප් පහරක් එල්ල කරමින්. @Getty Images

තවමත් ජාත්‍යන්තර තරග අත්දැකීම් කිහිපයක් පමණක් තිබුණ ද ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ පරිණත පිතිකරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ ටිම් සයිෆට්ගේ සුපිරි ප්‍රහාරය නිසා අද (06) විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණයක් සමඟින් ආරම්භ කිරීමට සත්කාරක නවසීලන්තයට හැකි විය.

අවසන් ටෙස්ට් තරගය සඳහා කොදෙව් නායකත්වයේ වෙනසක්

එංගලන්තය සමඟ මේ දිනවල දී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවන සහ අවසන්…

දෙරට අතර පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-1ක් ලෙස සංචාරක ඉන්දියාව ජයගෙන තිබූ නිසා අද තරගයත් ඔවුන් ජය ගනු ඇතැයි විචාරක මත පළ වුවද අවසානයේ ඒ සියල්ල පුස්සක් බවට පත් කරමින් නවසීලන්තය ජය තහවුරු කළේ ඉන්දියාවට විස්සයි විස්ස තරගවල දැවැන්තම පරාජය (ලකුණු 80කින්) උරුම කර දෙමිනි.

වෙලින්ටන් නුවර් වෙට්ස්පැක් පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30ට ඇරඹුණු තරගයේ කාසියේ වාසිය හිමි වූයේ ඉන්දීය වැඩ බලන නායක රෝහිත් ශර්මාටයි. ඒ අනුව සත්කාරක නවසීලන්ත පිළට මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමට ඔහු පියවර ගත්තේය. කෙසේ වෙතත් පන්දුවාර කිහිපයක් ගත වෙද්දීම තම තීරණයේ ඇති සාවද්‍ය බව ඔහුගේ ඇස් පනාපිට දිග හැරුණේ නවසීලන්ත පිතිකරුවන් පන්දුවාරයකට ලකුණු 10ක පමණ වේගයක් සහිතව දැඩි ප්‍රහාරයක් එල්ල කළ නිසාවෙනි. ඉන්දීය පිළේ කිසිදු පන්දු යවන්නෙකු නවසීලන්තයේ මෙම අනුකම්පා විරහිත ප්‍රහාරයෙන් ගැලවුණේ නැත.

ආබාධයක් නිසා විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ මාටින් ගප්ටිල්ගේ අඩුව කණ්ඩායමට දැනෙන්නට ඉඩ නොදුන් තවමත් 24 හැවිරිදි වියේ පසුවන ටිම් සයිෆට් ආරම්භක පිතිකරු භූමිකාව අකුරටම ඉටු කරමින් ලකුණු 84ක් රැස් කළේය. ඔහුගේ අතිවිශේෂ ඉනිමට අවශ්‍ය වූයේ පන්දු 43ක් පමණි. තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 9කට පමණක් මුහුණ දී ඇති සයිෆට් දකුණතින් පිත්ත හසුරුවන කඩුලු රකින්නෙකි. ඉන්දීය ආරම්භක පිතිකරුවන් කලකට අමතක නොවන ලෙස ඔහු ලබා දුන් සංග්‍රහයට හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. මීට අමතරව අනෙක් නවසීලන්ත පිතිකරුවන් ද තම වගකීම ඉටු කරමින් සීමිත පන්දු ගණනක දී ලකුණු අතරට පිවිසියහ.

හිටපු නවසීලන්ත නායකයා ඔහුගේ අනාගත සැලසුම් හෙළිකරයි

2015 වර්ෂයේ අවසන් වරට පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී…

සයිෆට්ගේ සහය ආරම්භක පිතිකරු කොලින් මන්රෝ අද ලකුණු 34ක් රැස් කළේ පන්දු 20කට පමණක් මුහුණ දෙමිනි. හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කළ ඔහු නවසීලන්ත ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 86ක් දක්වා ඉහළ දැමීමට දායක විය. නායක විලියම්සන් ද මන්රෝට සමාන ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ පන්දු 22ක් පමණක් යොදා ගනිමිනි. සුපිරි පිතිකරු රොස් ටේලර් පන්දු 14කින් ලකුණු 23ක් ලබා ගත්තේ නවසීලන්තය ආරම්භයේ සිටම රැගෙන ආ රිද්මය බිඳෙන්නට ඉඩ නොතබමිනි. ඉනිම අවසන් කරමින් නවක ක්‍රීඩක ස්කොට් කුග්ලෙයින් පන්දු 7ක් තුල නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමත් සමඟ නවසීලන්ත ඉනිම නිමාවට පත්වූ අතර ඒ වන විට කඩුලු 6කට ලකුණු 219ක් ලකුණු පුවරුවේ සටහන් වී තිබුණි.

ලොව හොඳම ලකුණු හඹා යාමේ කණ්ඩායමක් වශයෙන් ඉන්දීය පිළ ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගැනීමක් ලබා තිබුණ ද මෙවන් විශාල ඉලක්කයක් පන්දුවාර 20ක් තුල දී සපුරා ගැනීම ඔවුන්ට කිසිසේත්ම පහසු නොවීය. ආරම්භයේ සිටම මනා විශ්වාසයකින් පන්දු යැවූ ටිම් සවුතිගේ තර්ජනය ද ඔවුන්ගේ ගමනට හරස් විය. කෙසේ වෙතත් සවුතිගේ හවුල්කාර පන්දු යවන්නා බවට පත්වූ නවක ක්‍රීඩක ස්කොට් කුග්ලෙයින් නම් අද දිනයේ සාර්ථක වූයේ නැත. ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 2ට ඉන්දීය පිතිකරුවෝ ලකුණු 34ක් නෙලා ගනිමින් හොඳ හැටි සංග්‍රහ කළහ.

ඉන්දීය ඉනිම පුරාවට දැකගත හැකි වූයේ පිතිකරුවන් දෙදෙනෙකු යම් සබඳතාවයක් ගොඩ නගමින් ප්‍රහාරයට අර අඳින මොහොතේම ඔවුන්ගේ කඩුල්ලක් බිඳ වැටීමයි. ඒ හේතුවෙන් පන්දුවාරයකට ලකුණු 10කට අධික පහර දීමේ වේගයක් නඩත්තු කිරීම ඔවුන්ට පහසු වූයේ නැත. ධවාන්, විජේ ශංකර් සහ කෘනාල් පාණ්ඩ්‍යා වැනි පිතිකරුවන් සියල්ලම අද ලකුණු 20 සීමාවට ළඟා වුවද දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වීම ඉන්දීය කණ්ඩායමේ පරාජයට පාර කැපීය. හිටපු නායක දෝනි හතරේ පහර 5ක් සහ එක් හයේ පහරවල් සමඟ ලකුණු 39ක් රැස්කර ගත්ත ද එය ඉන්දීය ඉරණම පෙරළන්නට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත. අවසානයේ ඔවුන්ට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 139ක් පමණි.

එක්දින කඩුලු ත්‍රිත්වවල සැඟවුණු රහස්

එක්දින ක්‍රිකට් තරගයකට ඕනෑම පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ඔහුගේ එක්දින…

පන්දු යැවීමේ දී තම සුවිශාල තරග අත්දැකීම්වලින් උපරිම ප්‍රයෝජන ගත් ටිම් සවුති ස්වකීය පන්දුවාර 4 නිමාවට පත් කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 17ක් පමණක් ලබා දෙමිනි. ඒ අතරතුර ඔහු රෝහිත් ශර්මා, එම්. එස්. දෝනි සහ කෘනාල් පාණ්ඩ්‍යා නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට ද සමත් විය. මීට අමතරව ලොකී ෆර්ගසන්, මිචෙල් සැන්ට්නර් සහ ඉශ් සෝඩි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ නවසීලන්තයට හොඳ පෙරවදනක් ලියා දුන් ටිම් සයිෆට්ටයි. දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (08) ඕක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිතයි.

නවසීලන්තය – කඩුලු 6ක් දැවී ලකුණු 219 (පන්දුවාර 20)

ටිම් සයිෆට් 84, කොලින් මන්රෝ 34, කේන් විලියම්සන් 34, රොස් ටේලර් 23, ස්කොට් කුග්ලෙයින් 20*, හාර්දික් පාණ්ඩ්‍යා 2/51, යුශ්වේන්ද්‍ර චහාල් 1/35, කෘනාල් පාණ්ඩ්‍යා 1/37, බුවනේශ්වර් කුමාර් 1/47.

ඉන්දියාව – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 19.2)

එම්.එස්. දෝනි 39, ශිකර් ධවාන් 29, විජේ ශංකර් 27, කෘනාල් පාණ්ඩ්‍යා 20, ටිම් සවුති 3/17, ලොකී ෆර්ගසන් 2/22, මිචෙල් සැන්ට්නර් 2/24, ඉශ් සෝඩි 2/26.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<