ශ්‍රී ලංකාව 2009න් පසු කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයකට

8082

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (22) පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත. 

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල තුරුම්පුව තෙවැනි තරගයට නැහැ

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන………

මුහුණට මුහුණ 

1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 34ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 15ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 9ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ දී නවසීලන්තය හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 15ක දී එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගන්නා විට තරග 4ක ජය හිමිකර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ. 

ප්‍රහාරාත්මක තරු

දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට ජීවය ලබා දෙන මේ වමත් පිතිකරුවා ජාත්‍යන්තර ටෙස්ට් තරග 61ක් තුළ ලකුණු 4235ක් ලබාගෙන ඇත්තේ, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.82ක් වැනි මට්ටමක පසු වෙමිනි.

කරුණාරත්නගේ ඉනිම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දරණ ඔහු ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම නවසීලන්ත කණ්ඩායමට එදිරිව 43.60ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත්තේ තරග 8කට පමණක් සහභාගී වෙමිනි. ඒ අතරට එක් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය.

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ලකුණු – 39, 122

Photos: Sri Lanka practice session ahead of 2nd test against New Zealand

කේන් විලියම්සන්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන මේ දකුණත් පිතිකරුවා මැදපෙළ සවිමත් කර වීමට හැකි සුවිශේෂී පිතිකරුවෙකි. ජාත්‍යන්තර ටෙස්ට් තරග 73ක් තුළ ඉනිම 129ක දී ලකුණු 6143ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 51.59ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. 

විලියම්සන් ටෙස්ට් ශතක 20කින් සහ අර්ධ ශතක 30කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් වැඩිම ලකුණ (242*) ලබාගෙන තිබෙන මොහු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 9ක දී ලකුණු 972ක් ලබාගෙන තිබෙන්නේ 69.42ක පමණ ඉහල මට්ටමේ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 0, 4

දිල්රුවන්ට තේරීම් කමිටුවෙන් ටෙස්ට් සංචිතයට ආරාධනාවක්

දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු දිල්රුවන් පෙරේරා ………

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් ලෙස කලක පටන් තම වගකීම් නිසියාකාරව ඉටු කළ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 81කට සිය දායකත්වය දක්වා ඇති අතර ලකුණු 5812ක් ලබාගෙන ඇත්තේ ලකුණු 42.73ක පමණ මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි.

මැතිව්ස්ගේ එම ලකුණු අතරට ශතක 9ක් හා අර්ධ ශතක 34ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාවත් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැඳින්වීමට හැකිය. තවද නවසීලන්තයට එදිරිව ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කර තිබෙන මැතිව්ස් ලකුණු 36.80කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව ඇත.

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 50, 28*

Photos : New Zealand practice session ahead of 2nd test against Sri Lanka

රොස් ටේලර්

නවසීලන්ත කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරන ටේලර්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 93ක දී ලකුණු 6816ක් ලබාගෙන ඇත්තේ ලකුණු 46.68ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ටේලර්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 31ක් හා ශතක 18ක් ඇතුළත්ව ඇත. 

දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 37.35කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 86, 03

අකිලගේ නිවැරදි කර ගත් ඉරියව්වත් වැරදීලු!

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ………

ප්‍රබල පන්දු යවන්නන්

සුරංග ලක්මාල්

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරග කිහිපයේ දී පිතිකරුවන් වුවද තරමක දෙගිඩියාවකින් යුතුව පන්දුවට පහර දුන්නේය. ඒ ඔහුගේ දක්ෂ හා මිශ්‍රණයක් සහිත පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. 

ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් තරග 58ක දී කඩුලු 141ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 3.12ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. නවසීලන්තයට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 37.35කි.

පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් –  4/29, 0/37

අජාස් පටෙල්

නවසීලන්ත පන්දු බල ඇණිය සවිමත් කරන අජාස් පටෙල් වයස අවුරුදු 30ක් පමණ වන ජවසම්පන්න ක්‍රීඩකයෙකි. පසුගිය දා නිමාව දුටු පුහුණු ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් හා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුලු 6ක් දවාගෙන දස්කම් දැක්වූ අතර ඉතාමත් හොඳ දඟ කැවීමක් ඔහුගේ පන්දු යැවීම තුල දැකගන්නට හැකි විය. 

වමතින් දඟපන්දු යවන පටෙල් ටෙස්ට් තරග 5ක දී කඩුලු 13ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 35.84ක් ලෙස දැක්වේ. පටෙල් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 2.73ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. ඔහු ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කර තිබේ. 

  • පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 5/89, 1/74

ලසිත් ඇඹුල්දෙණිය

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ඕනෑම තණතීරුවක් මත ඉතාමත් තර්ජනාත්මක ලෙස පන්දුව දඟ කැවීමට හැකි ක්‍රීඩකයෙකි. ඒ සඳහා ඔහුගේ තිබෙන උස ද එක්තරා සවියක් වන අතර ඊට අමතරව පන්දුව බොහෝ වේලාවක් එකම ස්ථානයේ පතිත කරමින් පන්දු යැවීමට තිබෙන හැකියාව ද ඉවහල් වේ. ඇඹුල්දෙණිය ජාත්‍යන්තර ටෙස්ට් තරග 3ක දී කඩුලු 10ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 3.21ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.

තවමත් වයස අවුරුදු 22ක් වන ඇඹුල්දෙණිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා  දීමට හැකිය.

  • පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 0/81, 4/99

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<<

ට්‍රෙන්ට් බෝල්ට්

උස අඩි 5 අඟල් 11ක් වන වමතින් වේගපන්දු යවන්න තරුවක් වන බෝල්ට්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 62ක දී කඩුලු 249ක් දවා ගැනීමට සමත් වී ඇත. 

ලකුණු 30කට කඩුලු 6ක් දවා ගැනීම එක් ඉනිමක කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති බෝල්ට් එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 2.98ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.82ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක සටහන් කරගෙන ඇත.

පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 2/45, 1/34

පී. සරා ඕවල් තණතීරුව පිටිය හා අවට කාලගුණය

ප්‍රේක්ෂකයින් 15,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත. මේ තණතීරුව මත 2017 වර්ෂයේ මාර්තු මාසයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 

මේ ක්‍රිකට් පිටියේ තණතීරු මත ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් පවත්වා තිබෙන අතර ඒ තරග 2න් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී තවත් තරගයක් නවසීලන්තය ජයග්‍රහණය කර ඇත.

යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි. 

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, දෙවන ටෙස්ට් තරගය පුරාවටම විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 17 – 28 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 26°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

වර්තමාන තත්ත්වය

නවසීලන්ත කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර නවසීලන්තය දැනට (අගෝස්තු 12) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවේ. 

නිපුණ ලුම්බිණි ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ……..

ඔවුන් ලකුණු 2511ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 111ක් ලබා ගෙනයි.  ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3462ක් හා ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි‍.

අවසන් නිගමනය

තරග ඉතිහාසය පිරික්සා බලන කළ සංචාරක නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසිය තිබුනත්, තරගය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින් අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.

සංචිතයන්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු.

නවසීලන්ත ටෙස්ට් සංචිතය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී.ජේ වොට්ලින්, ටොම් බ්ලන්ඩල්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්ටනර්, ටොඩ් ඇස්ටල්, ටිම් සවුති , විල් යන්ග්, නීල් වැග්නර්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්.

දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්,  කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර.

නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී.ජේ වොට්ලින්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ටොඩ් ඇස්ටල්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 2019

  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<