මංගල සංචාරයේ දී ම නවසීලන්තය සිංහයින් දණ ගස්සවයි

545
©Getty Images

1984 වසරේ පෙබරවාරි 27 වෙනිදා ඕක්ලන්ඩ්  ගුවන්තොටුපලින් නවසීලන්ත කණ්ඩායම ගුවන් ගතවූයේ ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග තුනක පූර්ණ තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව බලා පිටත්වීමටය. ජෙෆ් හොවාර්ත්ට නවසීලන්ත ක්‍රිකට් නඩයේ නායකත්වය හිමි වී තිබුණි.

ගෙවී ගිය වසර 7 අඳුරු මතකයන් මකා දාන්න ශ්‍රී ලංකාව ගාල්ලට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා …….

පැය විස්සක ගුවන් ගමනකින් අනතුරුව ඔවුන් කොළඹට ළඟා වූ අතර නවසීලන්ත කණ්ඩායම මෙහි පැමිණියේ එංගලන්ත කණ්ඩායම 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ දී පරාජය කරමිනි. එමෙන්ම 1984 වසරේ මෙහි පැමිණි නවසීලන්ත කණ්ඩායම හමුවේ ප්‍රබල අභියෝගයක් ඉතිරි වී තිබුණි. 1969/70 වසරෙන් පසුව ඔවුන් නවසීලන්ත භූමියෙන් පිටත දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබුණේ නැත. 

නවසීලන්ත කණ්ඩායමට තමන් මුහුණ දෙන මුල්ම පුහුණු තරගය පැවැත්වුණේ ගාල්ලේ දී ය. නමුත් වර්ෂාව හරස් වූ බැවින් එම තරගය පවත්වන්නට ලැබුණේ නැත.

දින කිහිපයකට පසු දෙරට අතර මුල්ම එක්දින ජාත්‍යන්තර තරගය සිංහල සමාජ ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ අතර වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර හතළිස් දෙකකට සීමා කෙරුණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දුලීප් මෙන්ඩිස් මුලින්ම පන්දුවට පහර දීම සංචාරකයින්ට බාර ක‍ළේය.

සිය පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 234ක් ලබා ගත් අතර ඒ වෙනුවෙන් ජෝන් රීඩ් වේගවත් ලකුණු 80ක් රැස් කළේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැගුව ද නිරන්තරයෙන් බිඳ වැටුණ කඩුලු නිසා ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර වූයේ නැත. අවසානයේ දී සියලුම ක්‍රීඩකයින් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 130ක් පමණි. ඒ අනුව ප්‍රථම එක්දින තරගයෙන් ලකුණු 104ක ජයක් ලබා ගැනීමට සංචාරකයින් සමත් වූහ.

නවසීලන්ත කණ්ඩායමට මීළඟට මුහුණ දීමට තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ තරගයකට රදැල්ලේ දී ය. මෙම තරගයත් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

මාර්තු නවවැනිදා අස්ගිරියේ දී ඇරඹි සංචාරයේ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්තරා අවාසනාවන්ත තරගයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. 

මෙම ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන දිනයේ පැය ගණනක් ඉතිරිව තිබිය දී ලකුණු 165කින් පරාජය වීම නිසා නරඹන්නන් කුපිත වී ක්‍රීඩකයින් ගමන් කළ බස් රථයට නොයෙක් දේ යොදා ගනිමින් පහර දුන් සිද්ධියක් ඉතිහාසයෙන් හමුවේ. එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රීඩා පිටියෙන් පිට වෙන්න වුනේ දැඩි ආරක්ෂාව යටතේ බවත් පැවසෙනවා.

වර්ෂාවෙන් දැඩි ලෙස බලපෑම් ඇතිවූ මේ තරගයේ අවසාන දිනයේ දිවා ආහාරයෙන් මද වේලාවකට පසු නවසීලන්ත නායක ජෙෆ් හොවාර්ත් ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේය. තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකාවට මනා අවස්ථාවක් තිබුනත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 18 වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ ලකුණු 97කට දැවී යද්දී  හුදකලා සටනක නිරත වූ අර්ජුන රණතුංග ලකුණු 51ක් ලබා ගත්තේය. තරගයේ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වුනේ දැඩි විරෝධයකි. තමන්ගේ උපන් ගමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වූ මේ අපහාසය ගැන එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි ගාමිණි දිසානායක මහතා මහත් කලකිරීමකට පත්ව සිටි බවත් කියවේ.

©විනෝදන් ජෝන් / ක්‍රීඩා පුවත්පත

මෙම තරගයේ ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කර ගන්නට නවසීලන්ත නායක ජෙෆ් හොවාර්ත් සමත් වූ අතර ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලි සහ විනෝදන් ජෝන් පන්දු යවන්නන් ලෙස සාර්ථකත්වයක් ලබා ගත්හ.

තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සිංහල සමාජ ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණ අතර මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. නවසීලන්ත දෙවැනි ඉනිම ඉතාම මන්දගාමී වූ අතර ඔවුන් ඉතාම සෙමින් පන්දුවට පහර දෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය. මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රෝයි ඩයස් අගනා ශතකයක් වාර්තා කර ගත්තේය.

කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී මාර්තු මස 24 වැනිදා ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරගය සම්පූර්ණයෙන්ම නවසීලන්තයේ ආධිපත්‍යයට නතු වූ තරගයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. ඔවුන් තෙවැනි ටෙස්ට් තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 61කිනි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අතිසාර්ථක වූ ජෝන් රීඩ් ලකුණු 180ක් ලබා ගැනීමට සමත් විය. 

ඒ අනුව ටෙස්ට් තරගාවලියෙන් 2-0ක් ලෙස පහසු ජයක් අත් කරගන්නට නවසීලන්තය සමත් විය. නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් පිට පිටම තරගාවලි දෙකක් ජය ගත් මුල්ම අවස්ථාව එය විය.

©අර්ජුන රණතුංග / ක්‍රීඩා පුවත්පත

තරගාවලියේ දෙවන එක්දින තරගය ලකුණු 41කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකාව ජය ගත් එකම තරගය මෙය විය. මෙම තරගයේ දී සිය මංගල තරගයට ක්‍රීඩා කළ උවයිස් කරනයින්ගේ තුන් ඉරියව් දක්ෂතා විශේෂයෙන්ම කැපී පෙනුණි.

පිත්තෙන් පන්දු විසිහතරක දී ලකුණු 28ක් රැස්කළ කරනයින් නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් සියලුම දෙනා අපහසුතාවට පත් කරමින් පන්දුවෙන් ලකුණු 26කට කඩුලු  පහක් දවා ගත්තේය. මෙම තරගය පැවැත්වුණේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී ය.

ඉකුත් තරගයේ ප්‍රතිඵලය සහමුලින්ම අමතක කළ නවසීලන්ත ක්‍රීඩකයින් පී. සරවනමුත්තු පිටියේ අප්‍රේල් පළමු වැනිදා පැවති තරගයෙන් ද ලකුණු 86ක පහසු ජයක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව එක්දින තරගාවලියත් 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්තයට හැකියාව ලැබුණි.

සාර්ථක සංචාරයක් නිමා කොට අප්‍රේල් හතර වැනිදා නැවත ඕක්ලන්ඩ් වෙත ළඟා වූ නවසීලන්ත කණ්ඩායම එරට බලධාරීන් විසින් හරසරින් පිළිගනු ලැබුණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<