ජාතික පාපන්දු කණ්ඩායමට නව තේරීමේ වැඩපිළිවෙළක්

494

මෙම සතියේ ආරම්භ වීමට නියමිත පාපන්දු ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතු සඳහා නව තේරීමේ ක්‍රියාපටිපාටික් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මඟින් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරන ලද නිසාම් පකීර් අලි මහතා නිල වශයෙන් හඳුන්වා දීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා පාපන්දුවේ පුහුණුකාරීත්වය පකීර් අලීට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් …

“2017 වසරේ DCL තරගාවලිය සඳහා සහභාගී වුන කණ්ඩායම් 18ට අපි කිව්වා ඔවුන්ගේ කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයින් 5දෙනා ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතු සඳහා එවන්න කියලා. ඒ කියන්නේ ක්‍රීඩකයින් 90 දෙනෙක් වගේ. අපි ඔවුන්ව කාණ්ඩ 3කට බෙදලා අපේ නව ප්‍රධාන පුහුණුකරු යටතේ පුහුණුවක් ලබා දෙනවා. ඉන් අනතුරුව අපි තේරීම් කමිටුව සහ ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්ව කමිටුව සමඟ එක්ව තේරීම් කටයුතු පවත්වනවා.” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

“ඒ වගේම අපි පළමු කාණ්ඩයේ කණ්ඩායම්වලටත් ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් 3දෙනා එවන්න කියලා දැනුම් දුන්නා. ඒ වගේම ශූරයින්ගේ කුසලානයට සහ පළමු කාණ්ඩයේ තරගාවලිය සඳහා අයත් නොවන අනෙක් පාපන්දු ලීග වල කණ්ඩායම්වලටත් ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් එවන ලෙස දැනුම් දුන්නා.” ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

තේරීම් කටයුතුවල දී ක්‍රීඩකයින් හට ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බවට වසර ගණනාවක සිට දෝෂාරෝපණ එල්ල විය.

“අපි මීට කලින් කළේ ක්‍රීඩකයින්ට පැයක් හෝ පැය ඒක හමාරක් වගේ කාලයක් ලබා දීලා සංචිතය තෝරපු එක. ඒක තේරුමක් නැති වැඩක්. මේ තේරීම් කටයුතුවලට පෙර අපි සෑම කාණ්ඩයකම බැද්දගාන දී දවස් 4ක් පුහුණු කරනවා. ඒ තුළින් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්‍ෂතා පෙන්නන්න නිසි කාලයක් ලැබෙනවා වගේම අපිටත් ඔවුන්ගේ හැකියාවන් බලාගන්න අවස්ථාව ලැබෙනවා.” කණ්ඩායමේ නව කළමනාකරු ලෙස පත්වූ සුනිල් සේනවීර මහතා පැවසීය.

එමෙන්ම තේරීම් කටයුතුවල දී සහ කණ්ඩායමේ සංයුතිය තීරණය කිරීමේ දී ප්‍රධාන පුහුණුකරු පකීර් අලි මහතා හට ප්‍රධානත්වය හිමිවන අතර ඉදිරියට යාමේ දී ඔහු සහ තේරීම් කමිටුව අතර සන්නිවේදනය සහ සහයෝගය ඉහළ නැංවෙනු ඇත.

“තේරීම් කටයුතු වෙන්න ඕන කොහොමද, ජාතික කණ්ඩායම සඳහා අපිට අවශ්‍ය මොනවද කියන එකට අදාළව මම මුලින්ම නිර්ණායක ලබා දෙනවා. සම්පූර්ණ තේරීම් කටයුතු සිදුවෙන්නේ අපිට තරගාවලියේ අවශ්‍ය වන දේවල්වලට අනුව. තේරීම් කටයුතුවලට කලින් මම තේරීම් කමිටුවට කතා කරලා, විවිධ පැතිකඩ බලන්න වගේම තරග සහ තරගාවලි බලන්න පැමිණෙන්න කියලත් ඉල්ලා සිටිනවා.” පකීර් අලි මහතා පැවසීය.

පෙර අවස්ථාවල දී මෙන් නොව මෙවර කණ්ඩායමට ක්‍රීඩකයින් ලබා දෙන ක්‍රමවේදයක් මෙන්ම ජාතික කණ්ඩායමේ ස්ථානය සඳහා දැඩි තරගයක් පැවැත්වෙනු ඇත.

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පාපන්දු තරගාවලිය නැවතත්

හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය 80 වැනි ආදි ශිෂ්‍ය කණ්ඩායම මඟින් සංවිධානය කරනු ලබන ජනාධිපති …

“අපි යෝජනා කරලා තියෙනවා ජාතික සංචිත 2ක්. ඒ A සංචිතය සහ B සංචිතය. ඒ දෙක ක්‍රීඩකයින් 60 දෙනෙකුගෙන් සමන්විතයි. අපි ප්‍රධාන පුහුණුකාරවරයා යටතේ B සංචිතයටත් පුහුණුකරුවෙක් පත්කරනවා. ඒ අනුව අපි සංචිත දෙක අතරේ ජාතික කණ්ඩායමට පිවිසීම සඳහා දැඩි තරගයක් බලාපොරොත්තු වෙනවා.” අනුර ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙම තේරීමේ වැඩසටහන කාණ්ඩ 4කින් සමන්විත වන අතර ඒ සෑම කාණ්ඩයකටම නේවාසික පුහුණුවක් ලබා දෙනු ඇත. ඒ සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින් හට ආහාරපාන මෙන්ම නවාතැන් පහසුකම් ද ලබා දෙන අතර බැද්දගාන ජාතික පාපන්දු පුහුණු සංකීර්ණයේ දී පැවැත්වෙන මෙහි දී එක් දිනක් තුළ පෙ.ව. 7.00 සිට පෙ.ව. 9.30 දක්වා සහ ප.ව. 3.00 සිට ප.ව. 6.00 දක්වා පුහුණු සැසි දෙකක් පැවැත්වෙනු ඇත. එමෙන්ම උතුරේ සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩකයින් සඳහා විශේෂ තේරීමේ වැඩසටහනක් යාපනයේ දී පැවැත්වෙනු ඇත.

  • පළමු කාණ්ඩය – පෙබරවාරි 26 – මාර්තු 01 – බැද්දගාන පාපන්දු සංකීර්ණය   
  • දෙවන කාණ්ඩය – මාර්තු 02 – මාර්තු 05 – බැද්දගාන පාපන්දු සංකීර්ණය   
  • තෙවන කාණ්ඩය – මාර්තු 09 – මාර්තු 12 – බැද්දගාන පාපන්දු සංකීර්ණය   
  • සිව්වන කාණ්ඩය – මාර්තු 16 – මාර්තු 21 – බැද්දගාන පාපන්දු සංකීර්ණය   

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<