මෙරට ක්‍රීඩාවට අලුත් නීති මාලාවක්

276
Dayasiri Jaysekara

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුනේ ක්‍රීඩා පනතට පැනවූ නව නියෝග පිලිබඳ දැනුවත් කිරීමටයි.

මෙරට මේ වන විට ක්‍රියාත්මක වන්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත වන අතර 2013 වසරේ ජනවාරි මස 15 වන දින එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අංක 1793/3 දරන නියෝග පත්‍රය මගින් විශේෂ නියෝග කිහිපයක් පනවන ලදී. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අංක 1990/23 සහ 2016-10-27 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝග මාලාව අනුව පෙරකී නියෝග අහෝසි වන අතර නව නියෝග අද සිට ක්‍රියාත්මක වන බවයි අද අනාවරණ කෙරුනේ.

නව නියෝග මගින් නව ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කල යුතු ලේඛන පිළිබඳව පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම මෙම නියෝග ක්‍රියාත්මක වන දින සිට මාස 3ක කාලයක් ඇතුලත මෙම නියෝග වලට අනුකූල වන ලෙස සියලු ක්‍රීඩා සංගම් වල ව්‍යවස්ථා ද වෙනස් කල යුතු බව මෙම ගැසට් පත්‍රයේ සඳහන්.

මීට පෙර ක්‍රීඩා සංගමයක නිලවරණයක් සඳහා තරග කිරීමට පනවා තිබු උපරිම වයස් සීමාව වන අවුරුදු 75, නව නියෝග අනුව අවුරුදු 70 දක්වා අඩු කොට තිබේ. එමෙන්ම ක්‍රීඩා සංගම් වල භාණ්ඩාගාරික තනතුරු සඳහා තරග කිරීමට නම් මූල්‍ය හෝ බැංකු ක්ෂේත්‍රයේ නිසි සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය කිරීම මෙම නව නියෝග වල දක්නට ලැබෙන සුවිශේෂී අංගයකි. ක්‍රීඩා සංගම් නිලධාරීන් තෝරා ගැනීමේ නව නීති රාමුව 2016-10-27 අංක 1990/23 ඇති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මෙලෙසින්.

(1) සෑම ජාතික ක‍්‍රීඩා සංගමයක් ම, පහත දැක්වෙන නිලධරයන් ද ඇතුළුව තම ව්‍යවස්ථාවේ දක්වා ඇති නිලධරයන් සංඛ්‍යාවන්ගෙන් සමන්විත වන කමිටුවක් තෝරා පත් කරගත යුතු ය :-

(i) සභාපතිවරයා සහ උප සභාපතිවරයා.

(ii) ලේකම් සහ සහකාර ලේකම්.

(iii) (අ) ශ‍්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයකු ; හෝ

      (ආ) ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද සහතික ලත් ව්‍යාපාර ගණකාධිකාරී

හෝ ඊට ඉහළ සහතිකයක් ලබා ඇති ; හෝ

      (ඇ) ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද බැංකුකරණ හා මූල්‍ය පිළිබඳ සහතිකයක් ලබා

ඇති; හෝ භාණ්ඩාගාරිකවරයකු , සහ

(iv) මූල්‍ය කළමනාකරණ ක්ෂේත‍්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් ඇති තැනැත්තකු විය යුතු සහකාර භාණ්ඩාගාරිකවරයකු.

මේ අනුව සියලු ක්‍රීඩා සංගම් වල ප්‍රධාන තනතුරු 6ක් තෝරා පත් කර ගැනෙනු ඇති.

2013 වසරේ පැනවූ නියෝග අනුව යම් පුද්ගලයෙකුට ක්‍රීඩා සංගමයක නිල තල  උපරිම කාලය වසර 4කට සීමා කෙරුණද නව නියෝග මාලාවේ එම නීතිය ඉවත් කර තිබෙන්නේ මෙලෙසයි.

(2) කමිටුවේ සෑම නිලධරයකුම,

      (i) වාර්ෂික මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගනු ලැබිය යුතු ය;

   (ii) වසර හතරක් නොඉක්මවන කාල සීමාවක් සඳහා ධුරය දැරිය යුතු අතර තවත් එක් ධුරකාලයක් සඳහා නැවත තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු විය යුතු ය:

කෙසේ වෙතත් නොකඩවා වසර 4 කට වඩා වැඩි කාලයක් නිලයක රැඳී සිටීම, නව නියෝග මාලාව අනුව තහනම් කර තිබේ.

මීට පෙර තිබූ නීති හා නියෝග අනුවත් දේශපාලකයන් හට ක්‍රීඩා සංගම් වල නිල තල දැරීම තහනම් කර තිබුනද, ක්‍රීඩා අමාත්‍යවරයාගේ විශේෂ අවසරය ලබා ගැනීමෙන් පසු දේශපාලකයන් හට වුවද එම තනතුරු සඳහා තරග කිරීමට අවස්තාව හිමිව තිබුණි. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේ එවන් අවස්ථා සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම ඉවත් කර දේශපාලකයන් ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා ඉදිරිපත් වීම පිලිබඳ තිබු නීතියද සංශෝධනය කල බවයි.

(4) යම් තැනැත්තකු

   (ත) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හෝ යම් පළාත් සභාවක හෝ යම් පළාත් පාලන ආයතනයක සභිකයෙකු වී සිටී නම් හෝ  එසේ පත් වේ නම් ;

එවැනි පුද්ගලයකු යම් ජාතික ක‍්‍රීඩා සංවිධානයකට තෝරා පත් කර ගනු ලැබීමට හෝ එසේත් නැත්නම් ගෙවීම් ලබන හෝ නොලබන යම් ධුරයක් දැරීමට හෝ ගෙවීම් ලබන හෝ නොලබන යම් තනතුරක් දැරීමට හෝ යම් ජාතික ක‍්‍රීඩා සංගමයක කමිටුවක සාමාජිකයකු වීමට හෝ ජාතික ක‍්‍රීඩා සංගමයක අනුබද්ධ ක‍්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකු වීමට හෝ නුසුදුස්සකු විය යුතු ය.

එසේ වුව ද, එම තැනැත්තා අදාළ සංගමය විසින් ප‍්‍රවර්ධනය කරනු ලබන ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාව හෝ අනුබද්ධ ක‍්‍රීඩා සමාජ හෝ සංවිධාන නියෝජනය කර ඇත්නම් හෝ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් හෝ ජාතික ක‍්‍රීඩා සංගමයක් විසින් ලියාපදිංචි කරන ලද, පවත්වන ලද හෝ අනුමත කරන ලද යම් ප‍්‍රධාන ක‍්‍රීඩා තරගාවලියකට හෝ තරගයකට සහභාගි වී ඇත්නම් සහ ඒ සඳහා අදාළ වන ආකාරයට නිකුත් කරන ලද සහතිකයක් සතුව සිටින්නකු නම් ඔහු නුසුදුස්සකු නොවිය යුතු ය;

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මාස 6 ඇතුලත ක්‍රීඩා පනතද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ක්‍රීඩා සංගම් වලට නව නීති අනුව නිලවරණ පැවැත්වීම සිදු කල යුතු වන්නේ දැනට පත්ව සිටින නිලධාරීන්ගේ  නිල කාලය අවසන් වීමෙන් පසුව බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වාදෙයි.