නවකයින් 4ක් ජාතික රග්බි සංචිතයට

261

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය නම් කර තිබේ. 

කණ්ඩායමේ නායකත්වය ධනුෂ් දයාන්ට හිමිව ඇති අතර නව සාමාජිකයන් සිව්දෙනෙකු එයට ඇතුළත් වේ. මෙම ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටය එළඹෙන අගෝස්තු මස 31 වැනිදා දකුණු කොරියාවේ දී ආරම්භ වීමට නියමිතය. 

මහනුවර ක්‍රීඩා සමාජයේ තිළිණ විජේසිංහ, පොලිස් ක්‍රීඩා සමාජයේ සචිත් සිල්වා, යුද හමුදා ක්‍රීඩා සමාජයේ සුධාරක දික්කුඹුර හා CR&FC හි ජනිදු ඩිල්ශාන් එලෙස ජාතික සංචිතයට ඇතුළත් වූ නවක ක්‍රීඩකයන් වේ. 

>>තවත් හැව්ලොක් පුරුකක් CR සමඟ එක්වෙයි

කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකා 20න් පහළ රග්බි සංචිතය නියෝජනය කළ ජනිදු ඩිල්ශාන් මෙම සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයකි. 20න් පහළ රග්බි සංචිතය නියෝජනය කරමින් පසුගිය වසරේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ජනිදු නිමා වූ ඩයලොග් රග්බි තරගාවලියේ CR&FC කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් දැක්වීමට සමත් විය. 

ජාතික සංචිතයේ දොරටු විවර කර ගත් පොලිස් කණ්ඩායමේ සචිත් සිල්වා 21 හැවිරිදි වන අතර ඔහු මෙම වසරේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ද දිනා ගැනීමට සමත් විය. ඔහුට ද මෙවර සත් සාමාජික සංචිතය නියෝජනය කිරීමට අවස්ථාව හිමිව ඇත. 

2017 වසරේ දී පාසල් රග්බි තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සචිත් සිල්වා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පසුගිය වසරේ ඩයලොග් ලීග් තරගාවලියේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත් විය. 

යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් සාර්ථක තරගාවලියකින් අනතුරුව මෙවර ජාතික සංචිතයට පිවිසීමට සුධාරක දික්කුඹුර සමත්ව ඇත. 

මහනුවර ක්‍රීඩා සමාජයේ අංක 15 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරමින් පසුගිය ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ තිළිණ විජේසිංහට මෙවර ජාතික සංචිතය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇත. 2016 වසරේ දී ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් බෝනියෝ සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කිරීමට ද තිළිණ සමත්ව සිටියේය. පසුගිය දා නිමා වූ Mercantile සත් සාමාජික රග්බි තරගාවලියේ දී හා අන්තර් සමාජ රග්බි තරගාවලියේ පෙරළිකාර දස්කම් දැක්වීමට තිළිණ විජේසිංහ සමත් වීම ඔහුට ජාතික සංචිතය දක්වා පැමිණීමට විශාල දායකත්වයක් දැක්විය. 

ජාතික සංචිතයට නව සහය පුහුණුකරුවන් දෙදෙනෙක්!

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන…

ජාතික සත් සාමාජික සංචිතයට සුපුරුදු පරිදි ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා ජේසන් දිසානායක ඇතුළත් වන අතර වසර දෙකකට පසු නැවතත් ජාතික සංචිතයට ඇතුළත් වීමට අනුරාධ හේරත් සමත්ව ඇත. ආබාධයක් නිසා ඔහුට වසර දෙකකට අධික කාලයක් ජාතික සංචිතය නියෝජනය කිරීමට නොහැකි විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ ශක්තිමත් කිරීම සඳහා නිශොන් පෙරේරා හා රීසා රෆායිඩීන් කණ්ඩායමට ඇතුලත්ව සිටින අතර ධනුශ් දයාන්ද ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස තම දායකත්වය සපයනු ඇත. 

“ජාතික කණ්ඩායමේ අලුත් මුහුණු දකින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. 2022 ආසියානු තරගාවලියට හොඳ කණ්ඩායමක් සූදානම් කරන එක තමයි අපේ ඉලක්කය. මේ ක්‍රීඩකයන් ඔවුන්ගේ දක්ෂතා හොඳින් පෙන්වලා තියනවා. මම හිතනවා අපිට මුල් ස්ථාන තුන අතරට එන්න පුළුවන් වෙයි කියලා. 4 හෝ 5 ලෙස නිමා කරන එක නෙමෙයි අපේ සැලැස්ම. තුන්වැනි ස්ථානය ලබාගැනීම තමා අපේ ප්‍රධානතම අරමුණ වෙන්නේ. “ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ සභාපති රොශාන් අබේකෝන් මහතා මෙම ආසියානු තරගාවලියට සහභාගි වන කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියා. 

හැව්ලොක් සමාජය නව නායකයෙකු යටතට

එළඹෙන තරග වාරය නිමිති කොටගෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නව නායකයෙකු…

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුකරු ලෙස මැට් ලී කටයුතු කරන අතර සාලිය කුමාර හා මුස්තාක් ජිෆ්‍රි සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ඇත. 

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය 

ධනුෂ් දයාන් (මහනුවර), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර), ජේසන් දිසානායක (මහනුවර), තිළිණ විජේසිංහ (මහනුවර), රීසා රෆයිඩීන් (CR&FC), දිනුක් අමරසිංහ (CR&FC), ජනිදු ඩිල්ශාන් (CR&FC), අනුරාධ හේරත් (CH&FC), නිශොන් පෙරේරා (CH&FC), සචිත් සිල්වා (පොලිස්), සුධාරක දික්කුඹුර (යුද හමුදා), කෙවින් ඩික්සන් (CR&FC)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<