SAFF බලාපොරොත්තු අරන් පකීර් අලී වැඩ භාර ගනී

216
Packeer Ali

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් පකීර් අලී මහතා පසුගිය දා තෝරාපත් කර ගත් අතර මේ පිළිබඳව නිල වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (22) සවස කොළඹ පාපන්දු නිවහනේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවත්, ජාතික කණ්ඩායම් කළමනාකරණ කමිටුවත් මෙහෙය වන රෝහිත ප්‍රනාන්දු මහතා සහ මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි මහතා තීරණය කොට තිබෙන්නේ පකීර් අලී මහතාට අවුරුදු දෙකක කොන්ත්‍රාත්තු පදනමකට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය පැවරීමටයි.

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පාපන්දු තරගාවලිය නැවතත්

හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය 80 වැනි ආදි ශිෂ්‍ය කණ්ඩායම මඟින් සංවිධානය කරනු..

“ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් පකීර් අලී මහතාගේ පත්වීම පිළිබදව අපි සැබවින්ම සතුටු වෙනවා. ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් කළ මෙතුමාට, මොහුගේ දක්ෂතාවයට සහ කැපවීමට මේ තාක් නිසි තැන ලැබුණේ නෑ. නමුත් මෙතැන් සිට ජාතික පාපන්දු කණ්ඩායම ගොඩනැංවීමට දැන් ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවා.“ යැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඔහු මාලදිවයිනේ සිට පසුගිය දා මෙරටට පැමිණි අතර ඒ නිසාවෙන් ඊයේ දිනයේ දී මේ පත්වීම හා සම්බන්ධ නිල ගිවිසුම් පත්‍රය අත්සන් කිරීම ද මේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර සිදු විය.

2017 ජූලි මස ඩඩ්ලි ස්ටේන්වෝල් මහතා ඉවත්ව යෑමෙන් පසුව මේ වන තෙක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක් නොසිටියේය. සහකාර පුහුණුකරු දේවසගායම් රාජමනී සහ ගෝල රකින පුහුණුකරු මහින්ද ගලගෙදර ද, ඩඩ්ලි මහතා සමඟ සේවයෙන් නිකම ගියේය.

මාතලේ දිස්ත්‍රික්කයෙන් බිහිවුණු අලී ‘Fitness freak’හෙවත් ශක්තිවන්ත භාවය පිළිබදව නම් දැරූ ක්‍රීඩකයෙකි. කොළඹ පාපන්දු සමාජය නියෝජනය කළ ඔහු 1976 දී සුමිත් වල්පොලගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් නියෝජනය කළ අතර 1980 දී මොහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය විය. ඉන්පසුව වෘත්තීයමය පාපන්දු ක්‍රීඩාව සඳහා බංග්ලාදේශයට පිටත් විය.

වෘත්තීය ක්‍රීඩා ජීවිතයෙන් අනතුරුව AFC ‘B’ බලපත්‍ර සහතිකය 2002 දීත්, AFC ‘A’ බලපත්‍ර සහතිකය 2003 දීත් ලබා ගත් මොහු මාලදිවයින් ක්‍රීඩා සමාජ කිහිපයකම පුහුණුකරු වශයෙන් කටයුතු කළේය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික උපදේශකයෙක් වශයෙන් 2013 දී මොහු කටයුතු කළත් කළමනාකාරිත්වයේ වෙනස්වීම් නිසා එම තනතුරේ වැඩි කල් රැඳී සිටීමට ඔහුට නොහැකි විය.

පකීර් අලී මහතා මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ,

“මා මෙම තනතුර සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රමුඛ සියලුම නිලධාරීන්ටත්, ජාතික කණ්ඩායම් කළමනාකරණ කමිටුවටත්, ඒ වගේම සියලුම අනෙකුත් නිලධාරි මහත්වරුන්ටත් ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මෙය මා තුළ පැවති එක් සිහිනයක් සැබෑ වීමක් වශයෙනුයි මම සලකන්නේ. මාගේ ඒ සුබ සිහිනය සාක්ෂාත් කර දුන් සැමටම මම ස්තුතිවන්ත වන අතරම ඔබගේ තීරණය නිවැරදි බව මම ඔප්පු කිරීමට උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා.”

මේ වසරේ සැප්තැම්බර් මස දී ආරම්භ වන SAFF පාපන්දු තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු ජාතික කණ්ඩායමත් තෝරා ගැනීමට අවශ්‍ය වන අතර ඒ සඳහා එක් සංචිතයකට ක්‍රීඩකයින් 30 දෙනෙකු බැගින් පළමු හා දෙවන ලෙස සංචිත දෙකකට ක්‍රීඩකයින් 60ක් තෝරා ගැනීමට නියමිතව ඇත. ඒ අතුරෙන් පළමු සංචිතය ඉදිරියේ දී පැවැත්වෙන SAFF තරගාවලිය නියෝජනය කරනු ඇත.

“අපේ මෑත කාලීන ඉලක්කය මේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවයයි (SAFF). ඒ සඳහා පාපන්දු ජාතික සංචිත දෙකක් තෝරා ගැනීමට අවශ්‍ය තෝරා ගැනීමේ කටයුතු ලබන සතියේ සිට දිවයින පුරාම ආරම්භ වෙනවා. පෙර පරිදි නොව දින 4ක් පමණ අප ක්‍රීඩකයින්ට ලබා දෙනවා ඔවුන්ගේ දස්කම් පෙන්වන්න, පසුව තමයි අපි සංචිත දෙක තෝරා ගන්නේ.” යැයි  ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව නිත්‍ය කළමනාකරු වන සුනිල් සේනාවීර මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සිටින තත්වය සුබදායී නොවන නමුත් අනාගතයේ දී ලොවක් ඉදිරියේ නොපැකිළිව දස්කම් දැක්වීමට හැකි පාපන්දු ක්‍රීඩකයින් බිහි කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ ගත් වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ThePapare.com අප සුබ පතමු!

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<