සැමෝවා ක්‍රීඩිකාවන් 10කින් ශ්‍රී ලංකාව ඉස්සර කරයි

1415
SWPix

2019 ලෝක දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පස්වැනි තරගය අද (16) සැමෝවා කණ්ඩායම සමඟ පැවැත්වුණේ ලිවර්පූල්හි M&S Bank Arena ක්‍රීඩාංගණයේ දී ය. එම තරගයේ දී ලකුණු 65-55ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සැමෝවා කණ්ඩායම සමත් විය. 

තර්ජිනිගෙන් නව වාර්තාවක් සමඟින් සිංගප්පූරුව පරාජය කරයි

2019 ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ සිව්වැනි තරගය අද (15)…

පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල අභියෝගයක් සැමෝවා කණ්ඩායමට එල්ල කළ අතර සැමෝවා ආරක්ෂක උපක්‍රම බිඳ දමමින් ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තර්ජිනී සිවලිංගම් මෙම කාර්තුවේ දී 94% ගෝල සාර්ථකත්වයක් වාර්තා කළ අතර ඇය ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 17කි. සැමෝවා කණ්ඩායම ද ප්‍රබල සටනක නිරත වූ අතර පළමු කාර්තුව නිමා වන විට ඔවුන් ලකුණු 13ක් ලබාගෙන සිටියේය.  (පළමු කාර්තුව : ශ්‍රී ලංකාව 17-13 සැමෝවා)

දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නොසිතූ අභියෝගයකට මුහුණ දුන් අතර තර්ජිනීට යොමු කරන පන්දු බොහෝ ප්‍රමාණයක් උදුරා ගැනීමට සැමෝවා කණ්ඩායම සමත් වූයේ කාර්තුවේ වැඩි වාසි තමන් සතුකර ගනිමිනි. 

Photo Album : Sri Lanka vs Samoa | Group E | Netball World Cup 2019

දෙවන කාර්තුවේ මිනිත්තු 5ක් ගතවත්ම ලකුණු තත්ත්වය 21-21ක් ලෙස සමකිරීමට සමත් වූ සැමෝවා කණ්ඩායම කාර්තුවේ ග්‍රහණය තමන් සතුකර ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. 

දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කීපයක්ම සිදු වූ අතර දුලංගි වන්නිතිලක wing-attack ස්ථානයේ සිට goal shooter ස්ථානයට ද, හසිතා මෙන්ඩිස් shooter ස්ථානයේ සිට goal attack ස්ථානයට ද යැවීමට පුහුණුකාරිනිය වූ තිලකා ජිනදාස කටයුතු කළාය. 

ඉන්පසු තරගයේ පෙරමුණ තබා ගැනීමට සමත් වූ සැමෝවා කණ්ඩායම දෙවන අර්ධයේ දී ලකුණු 19ක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 10කට සීමා කරමිනි. දෙවන කාර්තුව නිමා වූයේ ලකුණු 27-32ක් ලෙස සැමෝවා කණ්ඩායම පෙරමුණ ගනිමිනි. (දෙවන කාර්තුව: ශ්‍රී ලංකාව 10-19 සැමෝවා)

තුන්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ වීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර සැමෝවා කණ්ඩායම තමන් ලබා ගත් ලකුණු පරතරය පවත්වා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කරන ලදි. 

ලෝක ශූරියෝ හමුවේ දුලංගිගේ දස්කම් කැපී පෙනෙයි

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු…

තුන්වැනි කාර්තුව ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක එකක් නොවූවද ලකුණු පරතරය ලකුණු 4ක් බවට පත්කර ගනිමින් කාර්තුව නිමා කළේය. සැමෝවා කණ්ඩායම මෙම කාර්තුවේ දී ලකුණු 17ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13ක් වාර්තා කිරීමට සමත් විය. කාර්තුව අවසන් වන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 40-49ක් ලෙස දැක්විය. (තුන්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 13-17 සැමෝවා)

තුන්වැනි කාර්තුව අවසන් වන විට සැමෝවා කණ්ඩායම ලබාගෙන තිබූ ලකුණු 9ක පරතරය එලෙසම තබා ගැනීමට ඔවුන් උත්සාහ කළ අතර සිව්වැනි කාර්තුවේ දී දුලංගි වන්නිතිලක shooter ස්ථානයට මාරු විය. එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට දුලංගි සමත් වූයේ තර්ජිනීට මනා සහයක් ලබා දෙමින් ඇයට ලැබුණු අවස්ථාවන් තුනම සාර්ථක කරගනිමිනි. 

කෙසේ වෙතත් සැමෝවා කණ්ඩායම තම ග්‍රහණය මඳක්වත් ලිහිල්  නොකළ අතර ලකුණු පරතරය අඩු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් උත්සාහයන් ව්‍යර්ථ වූයේ සැමෝවා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩා විලාසය නිසාවෙනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15ක් සිව්වැනි කාර්තුවේ දී වාර්තා කළ අතර සැමෝවා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 16ක් පමණි. නමුත් තරගයේ මුල් කාර්තු තුන අවසන් වන විට තිබූ ලකුණු පරතරය නිසාවෙන් තරගයේ ජයග්‍රහණය සැමෝවා කණ්ඩායමට හිමි විය. සැමෝවා කණ්ඩායම වෙනුවෙන් Toa Tanimo 95%ක සාර්ථකත්වයක් වාර්තා කරමින් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය. (සිව්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 15 – 16 සැමෝවා)

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ෆීජි කණ්ඩායම සමඟින් හෙට (17) පැවැත්වීමට නියමිතයි. 

මේ අතර තවත් තරග කීපයක් අද පැවති අතර එම තරගයේදී ෆීජි, නවසීලන්තය, සිම්බාබ්වේ හා ඕස්ට්‍රේලියා කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කලහ.

ෆීජි හා සිංගප්පූරුව 

  • පළමු කාර්තුව : ෆීජි 22 – 12 සිංගප්පූරුව 
  • දෙවන කාර්තුව : ෆීජි 13 – 14 සිංගප්පූරුව 
  • තුන්වන කාර්තුව : ෆීජි 17 – 14 සිංගප්පූරුව 
  • සිව්වන කාර්තුව : ෆීජි 19 – 16 සිංගප්පූරුව 

අවසන් ලකුණු තත්ත්වය : ෆීජි 71 – 56 සිංගප්පූරුව


උතුරු අයර්ලන්තය හා නවසීලන්තය 

මෙම තරගයේදී උතුරු අයර්ලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. උතුරු අයර්ලන්තය ලකුණු 10 සීමාව පසුකර ගියේ එක් කාර්තුවකදී පමණි. 

  • පළමු කාර්තුව : උතුරු අයර්ලන්තය 7 – 22 නවසීලන්තය
  • දෙවන කාර්තුව : උතුරු අයර්ලන්තය 4 – 22 නවසීලන්තය
  • තුන්වන කාර්තුව : උතුරු අයර්ලන්තය 6 – 17 නවසීලන්තය
  • සිව්වන කාර්තුව : උතුරු අයර්ලන්තය 11 – 16 නවසීලන්තය

අවසන් ලකුණු තත්ත්වය : උතුරු අයර්ලන්තය 28 – 77 නවසීලන්තය


ඕස්ට්‍රේලියා හා මලාවි

ප්‍රබල ඕස්ට්‍රේලියා ප්‍රහාරය හමුවේ මලාවි කණ්ඩායමට එල්ලවූ අභියෝගය ජයගැනීමට ඔවුන් අසමත් විය. 

  • පළමු කාර්තුව : ඕස්ට්‍රේලියා 21 – 2 මලාවි
  • දෙවන කාර්තුව : ඕස්ට්‍රේලියා 20 – 3 මලාවි
  • තුන්වන කාර්තුව : ඕස්ට්‍රේලියා 20 – 9 මලාවි
  • සිව්වන කාර්තුව : ඕස්ට්‍රේලියා 13 – 11 මලාවි

අවසන් ලකුණු තත්ත්වය : ඕස්ට්‍රේලියා 74 – 25 මලාවි


සිම්බාබ්වේ හා බාබඩෝසය

තරමක තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. 

  • පළමු කාර්තුව : සිම්බාබ්වේ 17 – 11 බාබඩෝසය
  • දෙවන කාර්තුව : සිම්බාබ්වේ 16 -8 බාබඩෝසය
  • තුන්වන කාර්තුව : සිම්බාබ්වේ 15 – 13 බාබඩෝසය
  • සිව්වන කාර්තුව : සිම්බාබ්වේ 18 – 9 බාබඩෝසය

අවසන් ලකුණු තත්ත්වය : සිම්බාබ්වේ 66 – 41 බාබඩෝසය

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<