දයාසිරිගෙන් දැල්පන්දුවට ඇගයීමක්

230

පසුගිය දා නිමාවට පත්වූ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ තෙවැනි වරටත් අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඇගයීමේ උත්සවයක් අද (26) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව යලිත් ශූරතාවට පියවරක් පසුපසින් නවතියි

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මෙම උත්සවයේ දී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් කණ්ඩායමට උණුසුම් සුභාශිංසන පිරිනැමු අතර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම බොහෝ ගැටලු රාශියක් මැද කැපවීමෙන් පුහුණුවීම් සිදුකර මෙවන් තත්ත්වයක ජයග්‍රහණයක් ලබාගනිමින් රටට කීර්තියක් අත්කර දීම ගැන තමන් සතුටට පත්වන බවද අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදි.

“Netball කණ්ඩාමේ සභාපතිනියට මං ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම විවිධ බාධක, කම්කටොළු, ප්‍රශ්න මැද ජයග්‍රහණය ලබා ගන්න එතුමියත්, එතුමියගේ කණ්ඩායමත් කරපු මහන්සිය සහ ශක්තිය පිළිබඳව ඔබ සියළු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියේ මෙම ජයග්‍රහණය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා දැන් සිටම තවත් කණ්ඩායම් පුහුණු කිරීම් ආරම්භ කිරීමට අවශ්‍ය බවයි.

“අපිට ලොකුම ප්‍රශ්නය වෙලා තිබුනේ සිංගප්පූරුව පරාජය කරන එක. ඉතිං මට ලැබිච්ච කාල සීමාවයි, තිබිච්ච අභියෝගයි ඔක්කොම එකක් ඒ කාල සීමාවෙදි අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා සතුටු වෙන්න පුළුවන්” යැයි කණ්ඩායම් පුහුණුකාරිනි දීප්ති අල්විස් මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වන ලදි.

මෙහිදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අනුශූරතාවය ලබාගනිමින් විශේෂ දක්ෂතා දැක්වීමට සමත් වීම නිසා ඔවුන්ව දිරිගන්වනු පිණිස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙවැනි උත්සවයක් සංවිධානය කල අතර මෙහිදී එම කණ්ඩායමේ පුහුණුකාරිනී දීප්ති අල්විස් මහත්මිය සඳහා රුපියල් 450,000 ක මුදලක්ද ,  ක්‍රීඩිකාවන් 12 දෙනා සඳහා එක් අයෙකුට රුපියල් 150,000 බැගින් වූ මුල්‍යමය ත්‍යාග ප්‍රදානය කරමින් ඔවුන්ව දිරිමත් කිරීම සිදුකරන ලදි.

කණ්ඩායම් නායිකා ගයනි දිසානායක කණ්ඩායම පිළිබදවත් ඉදිරියේදි සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවත් විමසු විට පැවසුවේ “අපිට ජාත්‍යන්තර අත්දැකීම් හමුවෙනවා නම්, පුහුණුවීම් සඳහා හොඳ කාලයක් ලැබෙනවා නම් සහ හොඳ පුහුණුකරුවෙක් අපට හමුවෙනවා නම් මං හිතන්නේ ශූරතාවලිය ඊලඟ අවුරුද්දේ අපේ රටට ගේන එක අමාරු දෙයක් නොවන” බවයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයානි දිසානායක, පුහුණුකාරිනී දීප්ති අල්විස් මහත්මිය, ශ්‍රී ලංකා දැල්පන්දු සංග්‍රාමයේ සභාපති යසා රාමචන්ද්‍ර ඇතුළු නිළධාරි මණ්ඩලයක් සහභාගි විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට