පැසිපන්දු ක්‍රීඩාව නරඹන්නන් වෙනුවෙන්ම නිර්මාපිත ක්‍රීඩාවක් යැයි විටෙක හැඟේ. පැසිපන්දු ක්‍රීඩකයන් විලාසිතා මවන්නන්ය. ඔවුන් ක්‍රීඩා කරන ආකාරය, ඔවුන්ගේ හැසිරීම, සැමරුම් යන සියල්ල උප සංස්කෘතියකි.

ක්‍රීඩකයන්, ක්‍රීඩා සමාජ, රූපවාහිනී ආයතන යන සියල්ලන්ම ඉන් අධික මුදලක් ඉපයීමට හේතුව මේ ක්‍රීඩකයන්ට ලැබෙන උණුසුම් මහජන ප්‍රතිචාරයයි. ලොව ප්‍රමුඛතම පැසිපන්දු තරගාවලිය වන NBA (National Basketball Association) හි ක්‍රීඩකයෙකුගේ දළ ආදායම ඇ.ඩො. මිලියන 5 සිට 50 දක්වා පමණ වන පරාසයක තුලනය වේ.

මුදලටත් වැඩි ආදායමක් එම ක්‍රීඩකයන්ට උපයාගත හැකි බව 50 දශකයේ අගභාගයේ සිටම ඔප්පු වී ඇත. ඒ නොමියෙන  ප්‍රේක්ෂකාකර්ශනයයි. එයිනුත් සමහර ක්‍රීඩකයන් වෙත ලැබෙන ආකර්ෂණය උන්මාදනීය වේ. මේ උත්සාහය, එතෙක් මෙතෙක් ලොව පහල වූ ජනප්‍රියතම පැසිපන්දු ක්‍රීඩකයන් දසදෙනෙකුගේ ලැයිස්තුවක් ඔබ හමුවේ තැබීමටයි.

ස්ටීවන් කරී

Photo by Ezra Shaw/Getty Images
Photo by Ezra Shaw/Getty Images

අනෙකුත් NBA ක්‍රීඩකයන් මෙන් දේහධාරී ක්‍රීඩකයෙකු නොවන කරී, පැසිපන්දු ඉතිහාසයේ සාර්ථකම පන්දු විදින්නා ලෙස බොහෝ විශ්ලේෂකයන් විසින් පිළිගනියි. කුඩා කාලයේදී තමන්ගේ ශරීර ප්‍රමාණයේ මඳකම නිසා ඈත සිට පන්දුව පැස වෙත විදීම මැනවින් පුහුණු වූ ඔහු එහි නිරවද්‍යතාවය අතින් අන් සියලු ක්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන් සිටියි. කරී විසින් වසර 40කට පමණ පසුව ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් (Golden state warriors) කණ්ඩායම NBA ශූරතාවයක් සඳහා ඔසවා තැබීය. 2014/15 තරගවාරයේ “වටිනාම ක්‍රීඩකයා” යන සම්මානයද හිමිකරගත්තේ ඔහුයි. එතැන් සිට මේ දක්වා තෙවසරක් පුරා ශූරතාවය පවතින්නේ ඔහුගේ කණ්ඩායම සතුවයි.

විල්ට් චැම්බර්ලේන්

Photo by Vernon Biever/WireImage
Photo by Vernon Biever/WireImage

ලකුණු ලබාගැනීම සහ පන්දුව නැවත ලබාගැනීම අතින් ඔහු තරම් පැසිපන්දු පිටිය තුළ ආධිපත්‍ය පැතිරවූවන් ඇත්නම් ඒ එක් අයෙකු හෝ දෙදෙනෙකි. 60 දශකයේ පැසිපන්දු තරු දෙකෙන් එකක් වූයේ ඔහු යැයි අවිවාදාත්මකව පැවසිය හැකිය. 1961/62 තරගවාරයේදී ඔහුගේ තරගයක ලකුණු සාමාන්‍යය 50.4ක් වූ අතර පන්දුව නැවත ලබාගනිමින් ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 25.7කි. 1966/67 තරගවාරයේදී ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Los Angeles Lakers) කණ්ඩායම NBA ශූරතාවයක් වෙත මෙහෙයවීමට ඔහුට හැකිවිය.

බිල් රසල්

courtesy - primermagazine.com
courtesy – primermagazine.com

පැසිපන්දු ඉතිහාසයේ දක්ෂතම පන්දු අවහිර කරන්නා ලෙස හැඳින්වෙන්නේ බිල් රසල් ය. විල්ට් චැම්බර්ලේන් 60 දශකයේදී තම දක්ෂතාවයන් අතර මුදුනත සිටියදී ඔහුට අභියෝගයක් වූ එකම ක්‍රීඩකයා මොහු ය. බෝස්ටන් සෙල්ටික්ස් (Boston celtics) කණ්ඩායම NBA ශූරතාවයන් 11ක් කරා රැගෙන යාමට ඔහුගෙන් ලැබුණු දායකත්වය ඉමහත් ය. 5 වරක් “තරගවාරයේ වටිනාම ක්‍රීඩකයා”ට හිමි සම්මානය දිනා ඇති රසල්, ශ්‍රේෂ්ඨතම පැසිපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

ලැරී බර්ඩ්

courtesy - wordpress.com
courtesy – wordpress.com

නම්‍යශීලීත්වයෙන් හෝ වේගයෙන් යුක්ත නොවුණද මානසික ශක්තියෙන් සහ උපක්‍රමශීලීත්වයෙන් හෙබි ඔහු අප්‍රිකානු – ඇමරිකානු ක්‍රීඩකයන්ගේ තරුගුණයෙන් ගහණ පැසිපන්දු පිටියට සුදු ජාතිකයෙකුගේ නියෝජනයක් එක්කරයි. විශේෂ දක්ෂතා සහිත වූ බර්ඩ් බෝස්ටන් සෙල්ටික්ස් (Boston celtics) කණ්ඩායමට NBA ශූරතාවයන් 3ක් ගෙන ඒම සඳහා නායකත්වය දුන්නේය. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වීමේ ගෞරවය තෙවරක් දිනාගත් ඔහු වසර 13ක් පුරාවට ප්‍රමුඛ පෙලේ පැසිපන්දු ක්‍රීඩා කළේය.

කරීම් අබ්දුල් ජබාර්

courtesy - abcnews.go.com
courtesy – abcnews.go.com

දස්කම් එකදිගට පවත්වාගෙන යෑමේ විරල හැකියාව ඔහුට තරගවාර 20ක් පුරා රඳවා ගැනීමට හැකි විය. ඔහු විසින් තරගයක ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 24.6ක් විය. තරගවාර 6කදී වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ ජබාර්, NBA තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු එකතුවක් සහිත ක්‍රීඩකයා බවටද පත්ව ඇත්තේ ලකුණු 38,387ක් ලබාගනිමිනි. වසර 6කදී මිල්වෝකී බ්ලූස් (Milwaukee blues) සහ ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Los Angeles Lakers) යන කණ්ඩායම් දෙක සමඟ NBA ශූරතාවන් 6ක පහස විඳින්නටද ඔහුට හැකි  විය.

ශකීල් ඔ’නීල්

courtesy - cleveland.com
courtesy – cleveland.com

දැවැන්ත සිරුරකින් හෙබි ඔහුගේ ආවේගශීලී ක්‍රීඩා ශෛලිය නිසාම පැසිපන්දු ප්‍රේක්ෂකයන් ඔහුට ඇලුම් කරයි. විටෙක නළුවෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සහ විශ්ලේෂකයෙකු වශයෙන්ද ඔහුගේ සේවය ලබාගැනීමට නිෂ්පාදකයන් කටයුතු කරන්නේ එබැවිනි. පිටියේදී ශක්තිමත් සලකුණක් වූ ශකීල් ඉදිරියේ සිටගැනීමම ප්‍රතිවාදීන්ට අභියෝගයක් විය. NBA ශූරතාවයන් 3ක් සහ “තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා” සම්මානය එක්වරක් දිනා ඇති ඔහු ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Los Angeles Lakers) සහ මියාමි හීට් (Miami heat) යන කණ්ඩායම් දෙකම නියෝජනය කළේය.

අර්වින් “මැජික්” ජොන්සන්

courtesy - wordpress.com
courtesy – wordpress.com

ඔහුගේ ක්‍රීඩාවේ මනස්කාන්ත ස්වභාවය නිසාම ඔහුට “මැජික්” යන සුරතල් නාමය යොදා ඇත. පිටියේදී කලාත්මක ක්‍රීඩකයෙකු මෙන්ම ඉන් පිටතදී මිත්‍රශීලී පුද්ගලයෙකු සේ හැඳින්වෙන “මැජික්” ජොන්සන් NBA ශූරතාවන් 5ක පහස විඳ ඇත. ආධුනික ක්‍රීඩකයෙකු ලෙස NBA අවසන් මහා තරගයක “වටිනාම ක්‍රීඩකයා”ගේ සම්මානය දිනාගත් ජොන්සන්, ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Los Angeles Lakers) කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිවාදී ආරක්ෂක බැමි හරහා යෑමේ විශේෂ හැකියාවකින් යුක්ත විය. පන්දුව ලකුණු ලබාගන්නා ක්‍රීඩකයාට භාරදීම අතින් ඔහු NBA ඉතිහාසයේ පළමුවැන්නා ය.

ගෞරවනීය සිහිකැඳවීම්

වඩාත් ජනප්‍රියම පැසිපන්දු ක්‍රීඩකයන් තිදෙනා වෙත යන්නට පෙර මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට නොහැකි වූ, එහෙත් ජනප්‍රියත්වයෙන් ලොව ඉහළම රැඳුනු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හඳුනා ගනිමු.

කෙවින් ඩුරාන්ට් – NBA ශූරතාවන් 1යි
හකීම් ඔලාවුයොන් – NBA ශූරතාවන් 2යි
ටිම් ඩන්කන් – NBA ශූරතාවන් 5යි
ඩ්වේන් වේඩ් – NBA ශූරතාවන් 3යි
යාඕ මින් – ශූරතා දිනා නැත
ඇලන් අයිවර්සන් – ශූරතා දිනා නැත
කාමෙලෝ ඇන්තනී – ශූරතා දිනා නැත
කයිල් අර්වින් – NBA ශූරතාවන් 1යි
චාල්ස් බාක්ලි – ශූරතාවන් දිනා නැත
රසල් වෙස්ට්බ්රූක් – ශූරතාවන් දිනා නැත

හොඳයි, අපි දැන් ජනප්‍රියතම තරු 3 වෙත යොමු වෙමු.

කෝබි බ්‍රයන්ට්

courtesy - washingtonpost.com
courtesy – washingtonpost.com

ලාබාල වයසකදීම NBA කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමේ වාසනාව ලැබූ කෝබි, වසර 20ක් පුරාවට පැසිපන්දු පිටිය වර්ණවත් කළේය. තනිවම කණ්ඩායමක් ගොඩගැනීමේ හැකියාවෙන් යුක්ත වූ ඔහු 2000 වසරේ සිට 2003 වසර දක්වා පිට පිටම NBA ශූරතාවන් 3ක් ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Los Angeles Lakers) කණ්ඩායමට ලබාදීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේය. 2006/07 තරගවාරයේ පිට පිට තරග 4කදී තනිවම 50ට වැඩි ලකුණු සංඛ්‍යාවන් වාර්තා කරන්නට ඔහු සමත් විය. පැසිපන්දු ක්‍රීඩකයෙකු වශයෙන් ලොව පුරාම ඔහු ප්‍රසිද්ධ ය.

ලෙබ්‍රෝන් ජේම්ස්

Credit: Richard Mackson-USA TODAY Sports
Credit: Richard Mackson-USA TODAY Sports

NBA ශූරතාවන් 3ක්, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මාන 3ක් දිනා ඇති මොහු වත්මන් පැසිපන්දු ක්‍රීඩකයන් අතුරින් ජනප්‍රියතමයා ය. මියාමි හීට් (Miami heat) සහ ක්ලීව්ලන්ඩ් කැවලියර්ස් (Cleveland Cavaliers) කණ්ඩායම් දෙක වෙනුවෙන්ම ක්‍රීඩා කොට ඇති ලෙබ්‍රෝන්, ශක්තියෙන් සහ දක්ෂතාවයෙන් මෙන්ම නුවණ අතින්ද ඉහළ මට්ටමක සිටින බව ඔහු දෙස බැලීමේදී පැහැදිලි වේ. මේ වන විට ඇමරිකානු ජාතික පැසිපන්දු කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව ඔහුයි.

මයිකල් ජෝඩන්

courtesy - cdn-s3.si.com
courtesy – cdn-s3.si.com

එතෙක් මෙතෙක් පැසිපන්දු ලෝකයට පහළ වූ ජනප්‍රියතම ක්‍රීඩා තරුව ඔහුය. ඔහු නමින් පේටන්ට් ලබා ඇති සපත්තු, ඇඳුම්, සුවඳ විලවුන් ප්‍රමාණය බොහෝය. චිකාගෝ බුල්ස් (Chicago Bulls) කණ්ඩායම නියෝජනය කළ ජෝඩන් නිසා ලොව පුරා ක්‍රීඩාලෝලීන් පැසිපන්දු වෙත ඇදී ආවේය. 1988/89 තරගවාරයේදී වටිනාම ක්‍රීඩකයා, වසරේ හොඳම ආරක්ෂක ක්‍රීඩකයා, වැඩිම ලකුණු ලාභියා යන සම්මාන ත්‍රිත්වයම තමන් සතුකරගනිමින් විශ්මය දනවනසුළු දස්කම් ඔහු ප්‍රකට කළේය. එබැවින් එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම පැසිපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ඔහුයි. NBA ශූරතාවයන් 6ක අයිතිය තම කණ්ඩායමට පැවරූ ඔහු ඒ සෑම අවස්ථාවකදීම වටිනාම ක්‍රීඩකයා බවටද පත්විය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට