Dialog අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතා කුසලානය සඳහා පැවති අවසන් මහා තරගයේ දී නාවික හමුදා A කණ්ඩායම ලකුණු 21-17ක් ලෙස CR & FC A කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය. දින දෙකක් පුරා පැවති තරගාවලිය ඊයේ (11) කොළඹ තුරඟ තරග පිටියේ දී නිමාවට පත්විය.

කණ්ඩායම් 4ක් අපරාජිතව ඉදිරියට

තුරඟ තරග පිටියේ අද (10) පැවති ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය…

තරගාවලියේ දෙවන දිනය ආරම්භ වූයේ ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරග සමඟයි. තරගාවලිය ආරම්භයේ දී සහභාගී වූ සියලුම කණ්ඩායම් කාණ්ඩ හතරකට බෙදා දක්වා තිබූ අතර එම එක් එක් කාණ්ඩයෙන් පළමු ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගත් කණ්ඩායම් දෙක තරගාවලියේ ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා තිබුණි.

ඒ අනුව දිනයේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රබල කණ්ඩායම් දෙකක් වන නාවික හමුදා A කණ්ඩායම සහ හැව්ලොක් SC කණ්ඩායම අතර පැවැත්විය. එහි දී හැව්ලොක් ක්‍රීඩකයින් පරාජයට පත්කරමින් ලකුණු 19-07ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට නාවික හමුදා A කණ්ඩායම සමත් විය. ඉන් අනතුරුව පැවති අර්ධ අවසන් පූර්ව තරගවල දී පොලිස් කණ්ඩායම හමුවේ නාවික හමුදා B කණ්ඩායම පරාජයට පත්වූ අතර යුද හමුදා කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කරන්නට ගුවන් හමුදා A කණ්ඩායම සමත් විය. පැවති අවසාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල CR & FC A කණ්ඩායම හමුවේ පීටර්සන් SC කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත් විඳින්නට සිදු වූ අතර ඒ අනුව මෙම අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී ජයග්‍රහණ වාර්තා කළ කණ්ඩායම් හතර ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීය .

ශූරතා කුසලානය සඳහා පැවති අර්ධ අවසන් පූර්ව තරග වටයේ ප්‍රතිඵල

  • නාවික හමුදා A කණ්ඩායම 19 – 07 හැව්ලොක් SC
  • පොලිස් SC 35 – 12 නාවික හමුදා B කණ්ඩායම
  • යුද හමුදා කණ්ඩායම 05 – 27 ගුවන් හමුදා A කණ්ඩායම
  • CR & FC A කණ්ඩායම 62 – 00 පිටර්සන් SC

ශූරතා කුසලානය සඳහා පැවති උද්වේගකර අර්ධ අවසන් පූර්ව තරග වටයෙන් අනතුරුව ඊළඟට පැවතියේ බඳුන ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරග වටයයි. එම තරග වටය, ශූරතා කුසලානය සඳහා පැවති අර්ධ අවසන් පූර්ව තරග හතර පරාජයට පත්වූ කණ්ඩායම් හතර සහ තරගාවලියේ පළමු දිනයේ ප්‍රතිඵලවලට අනුව එක් එක් කාණ්ඩවල තෙවන ස්ථානය දිනා ගත් කණ්ඩායම් හතර අතර පැවැත්විය.

බඳුන ශූරතාවය සඳහා පැවති අර්ධ අවසන් පූර්ව තරග වටයේ ප්‍රතිඵල

  • හැව්ලොක් SC 17 – 12 CR & FC B කණ්ඩායම
  • නාවික හමුදා B කණ්ඩායම 12 – 19 CH & FC B කණ්ඩායම
  • යුද හමුදා කණ්ඩායම 40 – 12 ගුවන් හමුදා B කණ්ඩායම
  • පීටර්සන් SC 05 – 17 CH & FC A කණ්ඩායම

බඳුන ශූරතාවය සඳහා පැවති අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී ජයග්‍රහණය කළ කණ්ඩායම් හතර බඳුන ශූරතාවය සඳහා වන අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ අතර එහි දී පරාජයට පත්වූ කණ්ඩායම් හතර පලිහ ශූරතාවය සඳහා වන අර්ධ අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලැබීය.

ඉන් අනතුරුව නැවතත් තරගාවලිය ශූරතා කුසලානය දෙසට යොමු වූයේ ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් තරග වටය ආරම්භ වීමත් සමඟයි. එහි දී පැවති අර්ධ අවසන් තරගවල දී නාවික හමුදා A කණ්ඩායම හමුවේ පොලිස් කණ්ඩායම පරාජයට පත්වූ අතර CR & FC A කණ්ඩායම නැවතත් ගුවන් හමුදා A කණ්ඩායම පරාජයට පත්කරන්නට සමත් විය. ඒ අනුව එහි දී පරාජයට පත්වූ පොලිස් කණ්ඩායම සහ ගුවන් හමුදා A කණ්ඩායම පළඟ ශූරතාවය සඳහා වන අවසන් තරගයට යොමු කෙරිණ.

ශූරතා කුසලානය සඳහා පැවති අර්ධ අවසන් තරග වටයේ ප්‍රතිඵල

  • නාවික හමුදා A කණ්ඩායම 33 – 05 පොලිස් SC
  • ගුවන් හමුදා A කණ්ඩායම 12 – 31 CR & FC A කණ්ඩායම

බඳුන ශූරතාවය සඳහා පැවති අර්ධ අවසන් තරග වටයේ ප්‍රතිඵල

  • හැව්ලොක් SC 33 – 07 CH & FC B කණ්ඩායම
  • යුද හමුදා කණ්ඩායම 19 – 10 CH & FC A කණ්ඩායම

පළිහ ශූරතාවය සඳහා පැවති අර්ධ අවසන් තරග වටයේ ප්‍රතිඵල

  • CR & FC B කණ්ඩායම 24 – 19 නාවික හමුදා B කණ්ඩායම
  • ගුවන් හමුදා B කණ්ඩායම 21 – 12 පිටර්සන් SC

අවසන් තරගවල ප්‍රතිඵල

පලිහ ශූරතාවය

  • CR & FC B කණ්ඩායම 36 – 00 ගුවන් හමුදා B කණ්ඩායම

බඳුන ශූරතාවය

  • හැව්ලොක් SC 26 – 12 යුද හමුදා කණ්ඩායම

පළඟ ශූරතාවය

  • පොලිස් SC 22 – 19 ගුවන් හමුදා A කණ්ඩායම

ශූරතා කුසලානය සඳහා වන අවසන් මහා තරගය

(නාවික හමුදා A කණ්ඩායම – CR & FC A කණ්ඩායම)

තරගාවලියේ අවසන් මහා තරගය නාවික හමුදා කණ්ඩායමේ තිලිණ වීරසිංහ විසින් ආරම්භ කළ අතර තරගයට හොඳ ආරම්භයක් ලබා ගන්නට CR & FC ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව CR & FC කණ්ඩායමේ කවිඳු පෙරේරා නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් පසුකර යමින් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට තරින්ද රත්වත්තේ සමත් වූයේ නැත. ඊට ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දුන් නාවික හමුදා කණ්ඩායමේ මොහොමඩ් අබ්සාල් CR & FC ක්‍රීඩකයින් අතර තිබූ හිඩැසකින් ප්‍රයෝජන ගනිමින් නාවික හමුදා කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කරන්නට තිලිණ වීරසිංහ සමත් විය. (නාවික 07 – CR 05)

ඉන් අනතුරුව ද ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් CR ක්‍රීඩකයින් විසින් දියත් කළ අතර තරින්ද රත්වත්තේ ලබා දුන් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් CR කණ්ඩායම වෙනුවෙන් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගන්නට කවිඳු පෙරේරා සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට රත්වත්තේ සමත් විය. පසුව නාවික හමුදා කණ්ඩායමේ නිවංක ප්‍රසාද් CR කණ්ඩායමේ පසුපෙළ බිඳ දමමින් තම කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට වීරසිංහ සමත් විය.

පළමු අර්ධය – නාවික හමුදා A කණ්ඩායම 14 – 12 CR & FC A කණ්ඩායම

තරගයේ දෙවන අර්ධයට ද සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් CR කණ්ඩායමේ කවිඳු පෙරේරා තරගය තුළ සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කරන්නට සමත් විය. ඒ අනුව නැවතත් තරගයේ පෙරමුණ ගන්නට CR & FC කණ්ඩායම සමත් වූ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට රත්වත්තේ අපොහොසත් විය.

CR කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර නැවත වරක් ඇති වූ ඉඩකින් ප්‍රයෝජන ගත් නාවික හමුදා කණ්ඩායමේ බුද්ධිම ප්‍රියරත්න CR ක්‍රීඩකයින් පසු කර පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තම කණ්ඩායමට අත්‍යවශ්‍යව තිබූ උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. ලැබුණු ප්‍රවර්තන අවස්ථාව නැවත වරක් තිලිණ වීරසිංහ විසින් සාර්ථක කර ගත්තේ ය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ප්‍රතිවාදී CR & FC කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගන්නට නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා නොදුන් අතර ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව Dialog අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට නාවික හමුදා A කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධය – නාවික හමුදා A කණ්ඩායම 21 – 17 CR & FC A කණ්ඩායම

තරගයේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කරන්නාට හිමි සම්මානය හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නිෂෝන් පෙරේරා විසින් දිනා ගන්නා ලදි.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ නාවික හමුදා A කණ්ඩායමේ බුද්ධිම ප්‍රියරත්න විසිනි.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට