වැස්සට සේදුණු දෙවැනි දිනයේ ආරම්භක රන් පදක්කම නිමාලිට

492

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අද (13) ක්‍රියාත්මක වූ අතර දිනයේ උදෑසන තරග සාර්ථකව ක්‍රියාත්මක වුවද, සවස් කාලයේ පැවති තරග වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සංවිධායක මණ්ඩලයට සිදු විය.

එක් තරගාවලි වාර්තාවක් වයඹ දිනා ගනිද්දී මංජුල කීර්තිය රැක ගනියි

පුලතිසි පුරවරයේ දී පැවැත්වෙන 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය අද (12) ක්‍රියාත්මක විය.

දිනයේ ප්‍රථම ධාවන ඉසව්ව ලෙස මීටර් 800 කාන්තා ඉසව්ව ක්‍රියාත්මක විය. කඩතොළු සහිත හරිත පැහැති ධාවන පථය මතින් දිනයේ ප්‍රථම රන් පදක්කම දිනා ගන්නට නිමාලි ලියනාරච්චි සමත් විය. ආසියානු ක්‍රීඩා උළෙලේ අඳුරු මතකයන් අමතක කර දමමින් තියුණු තරගයකින් පසු මිනිත්තු 2.11.52කින් තරගය අවසන් කරන්නට ඇය සමත් වූ අතර ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 2.11.56කින් තරගය අවසන් කළ සී. දිල්රුක්ෂි හා මිනිත්තු 2.11.64කින් අවසන් කළ ආර්. දුලක්ෂි දිනා ගත්හ.

පිරිමි මීටර් 800 අවසන් තරගය ඉන් අනතුරුව ක්‍රියාත්මක විය. එහි දී ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ශූරයා වන ඉඳුනිල් හේරත් ඉසව්ව පහසුවෙන්ම ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගත්තේය. ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 1.50.60ක් වූ අතර ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 1.51.23ක කාලයක් වාර්තා කළ ආර්. චතුරංග හා මිනිත්තු 1.51.65ක කාලයක් වාර්තා කළ කුපුන් කුෂාන්ත විසින් දිනා ගත්හ.

පිටියේ ඉසව් අතරින් පිරිමි දුර පැනීමේ ඉසව්ව සේම, කාන්තා දුර පැනීමේ ඉසව්ව ද කාගේත් අවධානයට ලක්විය. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට මීටර් 6.04ක දක්ෂතාවයක් වර්තා කළ අන්ජානි පුල්වන්ස සමත් විය. එම ඉසව්වේ රිදී පදක්කම මීටර් 5.92ක දක්ෂතාවයක් වාර්තා කරමින් එච්. ජයකාන්ත විසින් දිනා ගත් අතර ලක්ෂිකා සුගන්ධි මීටර් 5.84ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව ද තරමක් උණුසුම් වූ අතර වර්තමාන ජාතික ශූරිය වන ඉෂාරා මධුරංගි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර් 41.77ක දක්ෂතාවයක් වාර්තා කරමිනි. ඉසව්වේ දෙවන ස්ථානය මීටර් 40.29ක දක්ෂතාවයක් වාර්තා කළ ඒ. මධුවන්ති ක්‍රීඩිකාව විසින් දිනා ගත් අතර වී. ලක්මාලි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීටර් 40.16ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.

පිරිමි රිටි පැනීමේ ඉසව්ව දැඩි අව් රශ්මිය මධ්‍යයේ දිවා කාලයේ දී ක්‍රියාත්මක විය. එම ඉසව්වේ රන් පදක්කම මීටර් 4.80ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉෂාර සඳරුවන් විසින් දිනා ගත් අතර ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ඒ. පුවිතරන් හා චන්න ප්‍රනාන්දු විසින් දිනා ගත්තේ මීටර් 4.50ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.

දිනයේ සවස් කාලය වන විට පිටිය පුරාවට දැඩි වර්ෂාවක් ඇද හැලුණු අතර ඒ නිසා අද දිනයට පැවැත්වීමට නියමිතව තිබූ අනෙකුත් සියලුම තරග හෙට (14) දිනය දක්වා කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය. හෙට (14) තරගාවලියේ අවසන් දිනයයි. හෙට දිනයේ ද සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින්, රැඳී සිටින්න අප සමගින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<