ජාතික රට හරහා දිවීමේ තරගාවලිය පෙබරවාරියේ දී

119

44 වැනි වරටත් පැවැත්වෙන ජාතික රට හරහා දිවීමේ තරගාවලිය ලබන මස 18 වැනිදා නුවරඑළිය ගොල්ෆ් පිටියෙන් ආරම්භ වීමට නියමිතයි.

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මෙම තරගය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි. මේ වසරේ පැවැත්වෙන පළමු ධාවන තරගාවලිය වන්නේ ද මෙයයි. මෙම තරගාවලිය සඳහා දිගු දුර හා මැදි දුර ධාවනයේ නිරත වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් නුවරඑළිය ආශ්‍රිතව සිය පුහුණුවීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

“නිකරුණේ කිසිදු අයෙක් රට සවාරි රැගෙන යන්න මම සූදානම් නෑ” – ක්‍රීඩා ඇමති

මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන ආසියානු…

ගියවර මෙහි ශූරතාවය ජයග්‍රහණය කළේ මධ්‍යම පළාත් ක්‍රීඩක ඩී. එල්. සමරජීව විසිනි. එහි දී ඔහු වාර්තා කළ කාලය 33:00කි. ඔහුට තත්පර 16කට පසුව එම ඉසව්ව අවසන් කළ බස්නාහිර පළාත නියෝජනය කළ ආර්. එම්. එස්. පුෂ්පකුමාර එහි දෙවන ස්ථානය දිනා ගන්නා ලදි. 33:32ක කාලයක් වාර්තා කළ ටී. එම්. ඊ තෙන්නකෝන් එහි තෙවැන්නා විය.

ගයන්තිකා අබේරත්න පසුගිය වර්ෂයේ දී පැවැත්වූ රට හරහා දිවීමේ තරගාවලියේ කාන්තා තරග ඉසව්වේ ජයග්‍රාහිකාව වූයේ 38:33ක කාලයක් තුළ සිය ඉසව්ව අවසන් කරමිනි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ඒ. එන්. එල් ආරියදාස (39:21) හා එස්. ඒ. ළමාහේවා (39:53) විසින් ජයග්‍රහණය කරන ලදි. එසේම 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා නිලූකා රාජසේකර විසින් මෙහි ශූරතාවය ජයග්‍රහණය කළ අතර 2016 වර්ෂයේ දී ශ්‍යාමලී අනූශා විසින් එහි ශූරතාවය දිනා ගත්තාය. එම ක්‍රීඩිකාවන් ද මෙවර තරගාවලියට සහභාගි වීමට සූදානම්ව සිටින අතරම නිමාලි ලියනාරච්චි ද මෙවර තරගාවලිය නියෝජනය කිරීමට සූදානම්ව සිටියි. ඒ නිසාවෙන් පිරිමි අංශයේ තරග ඉසව්වට වඩා කාන්තා අංශයේ තරග ඉසව්ව ඉතාමත් තරගකාරී වනු ඇත.

මෙම තරගාවලිය තුළ දස්කම් දක්වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට තෝරා ගැනීමට නියමිත අතර එම තරගාවලිය මාර්තු මස 15 වැනිදා චීනයේ දී පැවැත්වේ. එසේම දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය මාර්තු 25 වැනිදා භූතානයේ පාරෝ හිදී පැවැත්වීමට නියමිතව ඇත.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<