යුද, ගුවන් දක්ෂතා මැද ප්‍රථම දිනය නිමා වෙයි

233

මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (31) ආරම්භ වූ අතර එය හෙට (1) සහ අනිද්දා (2) යන දින තුන පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. අද දිනය තුල බොහෝ තරග ඉසව්වල මූලික වටයේ තරග පැවැත්වූ අතර ඉසව් කිහිපයක අවසන් මහා තරග ද පැවැත්විය.

මලල ක්‍රීඩාවේ ප්‍රගමනය ගැන සභාපතිගේ විශ්වාසය

90 දශකය තුළ දී ස්වර්ණමය යුගයක් පසු කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් නම් කිසිසේත් අඩු වී නැත. එහෙත් පසුගිය කාලය…

මෙවර තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ආරම්භ විය. විවෘත තරගාවලියක් වන මේ සඳහා මලල ක්‍රීඩාවේ නිරත සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට අවස්ථාව හිමි විය. මෙම තරගාවලිය එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා තේරීම් තරගයක් වශයෙන් සලකන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුද්ගලික දක්ෂතා ප්‍රකට කළ හැකි තරගාවලියක් ලෙස ද සැලකේ. මේ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

ජවන ඉසව්

තරගාවලියේ පළමු දිනය ආරම්භ කරමින් මීටර 5000 පිරිමි මූලික වටයේ තරග ඉසව් ආරම්භ විය . එහි දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ඒ. කේ. තරංග 14:58.50ක කාලයක් වාර්තා කරමින් එම වට සියල්ලම අවසානයේ පෙරමුණ ගන්නා ලදි.

සත් ප්‍රයාම ඉසව්වේ මීටර 100 කාන්තා කඩුලු මතින් දිවීමේ තරගයේ මූලික වටයේ පැවැත්වූ තරග ඉසව්වල දී යුද හමුදා ක්‍රීඩිකා ඩබ්. වී. අයි. සුගන්දි තත්පර 14.47ක කාලයක් තුල ඇයගේ වටය නිමා කළේය.

මීටර 100 ධාවන ඉසව්වේ පිරිමි අංශයේ ඉදිරි තරග ඉසව් සඳහා  සුදුසුකම් ලබා ගැනීමේ තරග වට 4ක් (preliminary) පැවැත්වූ අතර, එහි දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් කැපී පෙනෙන දස්කම් දැක්විය. එහි පළමු තරග ඉසව් සඳහා සහභාගි වූ එස්. ඩී. ඒ. ඩී. සඳරුවන් තත්පර 11.15ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කළේය.  තවද කේ. එස්. එන්. රූපසිංහ තත්පර 10.96කින් හා කේ. එච්. ඒ. සී. වී. ගුණසේන තත්පර 10.79ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කළේය.

මීටර 100 කාන්තා තරග ඉසව්වේ පැවැත්වූ මූලික වටයේ තරගවල දී (preliminary) කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන රුමේශිකා රත්නායක තත්පර 11.76ක කාලයක් සනිටුහන් කරගෙන මෙම ඉසව්වේ මීළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

මීටර 100 පිරිමි දස ප්‍රයාම ඉසව්වේ දී ආර්. ඒ. කේ. කරුණාතිලක තත්පර 11.09ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කළේ එම ඉසව්වේ දැවැන්තයා බවට පත්වෙමිනි. ඔහු යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙම ඉසව්ව සඳහා සහභාගි විය.

මීටර 400 පිරිමි මූලික වටයේ තරග ඉසව්වල දී එස්. ඒ. ඩී. කේ. අයි. සමරසිංහ තත්පර 48.60ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කරන ලදි. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මෙම ඉසව්ව සඳහා සහභාගි විය.

මීටර 1500 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරනු ලබන ආර්. ඒ. සජීව ලක්මාල් 3:57.26ක කාලයක් වාර්තා කරමින් සිය ඉසව්ව අවසන් කළේය. හේමන්ත කුමාර 3:57.31ක කාලයක් සටහන් කරමින් සිය ඉසව්ව අවසන් කරන ලදි.

මීටර 110 පිරිමි කඩුලු මතින් දිවීමේ මූලික වටයේ පැවැත්වූ ඉසව්වල දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ වොශිම් ඉල්හාම් තත්පර 14.75ක කාලයක් වාර්තා කරගෙන එම ඉසව් තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. මීටර 100 පිරිමි මූලික වටයේ තරගයේ දී ශෙහාන් අඹේපිටිය තත්පර 10.81කින් සිය ඉසව්ව අවසන් කළ ද, ඔහුව අභිබවා යාමට යුපුන් අබේකෝන් සමත් වූයේ 10.72ක කාලයක් වාර්තා කරමිනි.

මීටර 400 පිරිමි මූලික වටයේ තරගයේ දී දිලීප රුවන් තත්පර 47.05ක කාලයක් වාර්තා කරමින් සිය ඉසව්වට තිත තබන ලදි. මීටර 200 කාන්තා සත් ප්‍රයාම ඉසව්වක් නියෝජනය කළ ඩබ්. වී. අයි. සුගන්දි තත්පර 25.22ක කාලයක් සනිටුහන් කරමින් ඇයගේ ඉසව්ව නිමාවට පත් කළාය.

මීටර 10,000 පිරිමි ධාවන තරගයේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ඒ. ලේකම්හේවාගේ 36:02.56ක කාලයක් සනිටුහන් කරගෙන සිය ඉසව් අවසන් කළ අතර, ඒ. එන්. එල්. ආරියදාස (36:02.82) හා එම්. එස්. පී. එම්. පෙරේරා (36:56.58) පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කරන ලදි.

පිටිය ඉසව්

කවපෙත්ත විසිකිරීම තරග ඉසව්වේ කාන්තා අවසන් මහා තරගයේ දී පළමු ස්ථානයන් පහම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර එහි දී පී. කේ. ඒ. ඒ මදුවන්ති මීටර 41.67 ක දුරකට කවපෙත්ත විසිකිරීමෙන් මෙම ඉසව්වේ පළමු ස්ථානය ජයග්‍රහණය කළාය. එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කිරීමට ඩබ්. එම්. එස්. කේ. වීරසේකර (මීටර 41.50) හා ඒ. ජී. වී. වී. ලක්මාලි (මීටර 39.04) සමත් වූවාය.

දුර පැනීම කාන්තා අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ඩී. වී. සී. එම්. තිලකරත්න මීටර 5.93ක දුරක් සාර්ථක කරගෙන එහි පළමු ස්ථානය ඇයගේ නම ඉදිරියෙන් සටහන් කරගන්නා විට, ඇයට තියුණු සටනක් දුන් අංජනී පුලවංස මීටර 5.92ක දුරක් සාර්ථක කරගෙන එම ඉසව්වේ දෙවන ස්ථානය ජයග්‍රහණය කළාය. මීටර 5.43ක දුරක් තරණය කළ පී. වී. ආර්. එස්. දිලංකි එහි තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි.

පිරිමි හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගවල දී යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ  ඩී. එස්. රණසිංහ මීටර 70.07ක දුරක් වාර්තා කරගෙන එම ඉසව්වේ පෙරමුණ ගන්නා ලදි.

දස ප්‍රයාම ඉසව්වේ දෙවන ඉසව්ව වන පිරිමි දුර පැනීම තරග වටය නියෝජනය කළ ආර්. ඒ. කේ. කරුණාතිලක මීටර 7.12ක දුරක් තරණය කරමින් එම ඉසව්ව ද සාර්ථකව නිමා කරන ලදි.

කාන්තා සත් ප්‍රයාම ඉසව්වේ උස පැනීම තරග වටයේ දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවන් වන එච්. එම්. ඩී. හේරත් හා පී. එස්. එන්. ප්‍රනාන්දු මීටර 1.54ක උසක් සාර්ථකව තරණය කරමින් එහි තමන්ට හිමි ප්‍රසාද ලකුණු ප්‍රමාණයන් ලබා ගන්නා ලදි. ඔවුන් දෙපල සමඟින් කරට කර තරගයක් දුන් සචිත්‍රා හර්ෂනී ද එම උසම තරණය කළාය.

පිරිමි යගුලිය දැමීමේ තරග ඉසව්වක් ද දස ප්‍රයාම ඉසව්වට සමගාමීව පැවැත්විය. එහි දී පී. ඩී. ගුරුසිංහ මීටර 11.58ක් ලෙස තම දස්කම් දැක්විය.

පිරිමි කවපෙත්ත විසිකිරීමේ අවසන් මහා තරගයේ දී කේ. ජී. යූ. පී. ජයවර්ධන මීටර 50.77ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් එහි ප්‍රථමයා බවට පත්විය. මීටර 42.48ක දක්ෂතාවයක් හා මීටර 41.32ක දක්ෂතාවයක් දැක්වූ  ටී. එම්. ආසික් හා එච්. එම්. පී. ජී. ඩී. බී. රත්නායක පිළිවෙළින් එම ඉසව්වේ දෙවැන්නා හා තෙවැන්නා බවට පත්විය.

මෙම තරගාවලියේ  දෙවන දිනය හෙට (1) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට