අභිරහස් ලෙස මියැදුණු බොක්සිං පාතාලයාගේ කතාව

©Chicago Sun-Times

ලොව ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයා කවුරුන් දැයි විමසුවොත් බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ මොහොමඩ් අලී යන්නයි. 1964 දී අලී විසින් පළමු වරට හෙවිවෙයිට් ලෝක ශූරතාවයක් දිනා ගත්තේ කාට එරෙහිව ද? මේ ලිපිය, ඒ මැකී ගිය අප්‍රකට ශූරයා “සනී ලිස්ටන්ගේ අභිරහස් මරණය” පිළිබඳවයි.

මරණය අභිරහස් වූ සේම සනී ලිස්ටන්ගේ උපත පිළිබඳව ද කිසිදු වාර්තාවක සටහන් වී නැත. ඔහුගේ පියා වූ ටෝබි ලිස්ටන් සහ මව හෙලන් බැස්කින්, ඇමරිකාවේ ආකැන්සා ජනපදයේ ඈත ගොවිපලක අඳ ගොවියන් විය. 1965 වර්ෂය වන තෙක් ආකැන්සා දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීම අනිවාර්ය වූයේ නැත. 

අනෙක් අතින් සනී ලිස්ටන්ගේ මව, පියාට වඩා වසර 30කින් පමණ බාල දැරියක වූවාය. ලිස්ටන්ගේ මතකයට අනුව ඔහුගේ උපත 1932 වසරේ දී සිදුවී ඇතැයි ඔහු විසින් නිල කටයුතුවල දී යොදා ගනු ලැබීය. එහෙත් ඇතැමුන් පැවසුවේ ඔහු ඊට වඩා වැඩිමහල් වන්නට ඇති බවයි.

චාල්ස් “සනී” ලිස්ටන්

ඔහුගේ කුඩා කාලය ගෙවී ගියේ කළු ඇමරිකානු වහල්භාවය දැඩිව ස්ථාපිත වූ යුගයකයි. තම පියාගෙන් ලද එකම දායාදය ගුටි බැට බව ලිස්ටන් විසින් නොයෙක් වර පවසා තිබේ. යොවුන් වියට එළඹෙද්දීම පාතාලය සහ කළු ව්‍යාපාර කටයුතු සඳහා එක්වුණු ලිස්ටන් කුඩා පාතාල කල්ලියක නායකයා විය. 1950 දී ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වසර 5ක් සඳහා ඔහුව සිරගත කරනු ලැබීය.

දිනකට කෑම වේල් තුනක් අනිවාර්යයෙන් ලැබුණු නිසා සිරකඳවුර ගැන කිසිදු චෝදනාවක් නොකොට දඬුවම විඳීමට ලිස්ටන් කැමති විය. සිර කඳවුරේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා වූ ඇලෝයි ස්ටීවන්ස් ඔහුට බොක්සිං ක්‍රීඩාව උත්සාහ කර බලන්නටැයි ආරාධනා කළේ ඒ අතරතුර දී ය. 

වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වූ තර්මන් විල්සන්ට එරෙහිව පුහුණු තරග සැසියකට ලිස්ටන්ව ඉදිරිපත් කළ අතර එහි දෙවැනි වටයේ දී ම තර්මන් බොක්සිං වළල්ලෙන් ඉවත් වූයේ “මූ මාව මරන්නයි හදන්නේ” යැයි කියමිනි.

©Bill On The Road – ලිස්ටන්ගේ පළමු සිර කඳවුරේ (Missouri State Penitentiary) මැදිරියක්.©

වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වීමෙන් පසුවත් පාතාලයේ පෞද්ගලික තරහ මරහ පියවන්නෙකු ලෙස වරින් වර කටයුතු කළ නිසා සනී ලිස්ටන් සහ පාතාලය අතර සම්බන්ධතා තවත් තර විය. 1956 දී ලිස්ටන්ව මහමඟ දී නවත්වන්නට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකුගේ දණහිස කැඩූ ලිස්ටන් ඔහුගේ මුහුණට ද දරුණු තුවාල සිදු කළේය. ඉන්පසුව සිරගත වූ ඔහු නැවත බොක්සිං ක්‍රීඩාවට පැමිණියේ 1958 වසරේ දීයි.

“The Big Bear” ලෙස හැඳින්වුණු ලිස්ටන් 1962 දී ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූරතාවය දිනා ගත්තේය. එතැන් සිට මාස 17ක් සිය ශූරතාවය දරාගෙන සිටි ලිස්ටන් හට මොහොමඩ් අලී නම් තරුණ බොක්සිං ක්‍රීඩකයෙකුගෙන් අභියෝගයක් එල්ල විය. ඒ වන විට ලිස්ටන් කෙතරම් ප්‍රබල ශූරයෙකු වූයේ ද කියතොත්, බොක්සිං රචකයන් 46 දෙනෙකුගෙන් 43 දෙනෙකු විසින්ම ලියා තිබුණේ, ලිස්ටන් නොක්-අවුට් ආකාරයෙන් ජය ගනු ඇති බවයි.

තරගය ඇරඹී වට 7ක් ගත වන විටත් දෙදෙනාම සිටියේ එකම ලකුණු මට්ටමක ය. එහෙත් එතැන දී කෙටි විවේකයට තරගය නතර වීමෙන් පසු ලිස්ටන්ගේ වම් උරහිස් ඛණ්ඩරාව බිඳී තිබිණි. අලීගේ (ඒ වන විට කැෂියස් ක්ලේ) දෑස්වල ද දැවිල්ලක් හටගෙන තිබුණි. එහෙත් අලී මීළඟ වටයට බොක්සිං වළල්ල මධ්‍යයට පැමිණියත් ලිස්ටන් පැමිණියේ නැත. සීනුව නාද වෙද්දී අලී හට ජයග්‍රහණය හිමි විය. අලී පාර්ශවය විසින් කියා තිබුණේ එම ආබාධය සාවද්‍යයක් බවයි. තවත් පැත්තකින් කියවුණේ ලිස්ටන් තරගයට පෙර දිනයත් මධ්‍යසාර සමඟින් ගෙවා දමා බවයි.

©theundefeated.com – සනී ලිස්ටන්, “අලී – ලිස්ටන්” තරගයේ දී

පසුව නැවත තරග කිරීමට දෙදෙනා වෙන වෙනම පුහුණු විය. ලිස්ටන් ඉතා හොඳින් පුහුණුවීම් වල යෙදී සිටිය ද ඔහුට තිබූ මධ්‍යසාර ඇබ්බැහිය විසින් ඔහුව පෙළන්නට විය. ඊට අමතරව වෙනත් මත්ද්‍රව්‍ය වෙත ද ඔහු යොමුවී තිබුණි. මාස 9කින් පසුව “ලිස්ටන් – අලී දෙවැනි තරගය” ඇරඹිණි.

තරගයේ පළමු වටයේ දෙවැනි මිනිත්තුවට එළඹෙන විට දෙදෙනා ප්‍රහාර එල්ල කරගනිමින් සිටියේය. ලිස්ටන් විසින් අලී වෙත ජැබ් පහරක් එල්ල කළේය. අලී ඊට දකුණත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ අතර ලිස්ටන් බිම ඇද වැටිණි. නැවත නැගිටීමට උත්සාහ දැරූ ලිස්ටන් බිම වැටුණේය.

තරගයේ ජය අලී හට හිමි වූ අතර එය විවාද රැසක ඇරඹුම විය. ලිස්ටන් සහ පාතාලය අතර ඇති සබඳතාවය නිසා තරගය පාවාදීමක් සිදු වූ බව ද කියැවිණි. තවත් පිරිසක් ලිස්ටන්ගේ මත් ඇබ්බැහිය ගැන චෝදනා එල්ල කළේය. එහෙත් මේ කුමන හෝ විවාදයක් ඔහුගේ මරණය තරම් අභිරහසක් වූයේ නැත.

ලිස්ටන්ගේ දිගුකාලීන බිරිඳ වූ ජෙරල්ඩීන් චේම්බර්ස්, 1971 ජනවාරියේ දී ඇගේ මව බැහැදකින්නට දුරක ගොස් සිටියාය. ඒ සනී ලිස්ටන් ලාස් වේගාස්හි තම නිවසේ තනිව සිටිය දීයි. සති දෙකක කාලයක් ඔහුට දුරකතනයෙන් ඇමතීමට ජෙරල්ඩීන් උත්සාහ කොට තිබුනත්, ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. අවසන් වරටත් ඒ සඳහා උත්සාහ කළ ඇයගේ දුර ඇමතුම ප්‍රතිචාරයක් නොමැතිව අවසන් වූ නිසා තම මවගෙන් සමාව ඉල්ලූ ජෙරල්ඩීන් නැවත ලාස් වේගාස්හි නිවසට පැමිණියාය.

©ලිස්ටන් සිය බිරිඳ ජෙරල්ඩීන් සමඟ

නිවසේ දොරවල් අගුලු ලා තිබුණේ නැත. නිවස අඳුරෙහි ගිලී තිබුණි. ලිස්ටන් සිටිය යුත්තේ ඔහුට සුපුරුදු රූපවාහිනිය ඉදිරිපිට හෝ මිතුරෙකු සමඟ කාඩ් ක්‍රීඩා කරමින් බව ජෙරල්ඩීන් සිතුවාය. ඒ ගැන සිතමින් තම විශාල නිවස තුළට ඇතුළු වන ඇයට දැනුණේ අපුල දුර්ගන්ධයකි.

මම හිතුවේ ඔහු මොනවහරි උයලා ඒවා භාජන වලම තියලා ඇති කියලා. ඒත් මම කුස්සියට ගිහින් බැලුවහම මම මොකුත් දැක්කේ නැහැ.” සිද්ධියෙන් වසර ගණනාවකට පසුව ජෙරල්ඩීන් එසේ පවසා තිබුණේ BBC වෙබ් අඩවියටයි.

දුර්ගන්ධය එන දිශාව සොයමින් ඉහළ මාලයට ගිය ඈ ඇගේ සැමියාව සොයාගත්තාය. ඇමරිකානු ඉතිහාසයේ ප්‍රබල බොක්සිං ශූරයෙකු වූ ඔහු ඔහුගේ යට ඇඳුමින් පමණක් සැරසී ඇඳ මත වැතිර සිටියේය. ඔහු වැතිර සිටියා නොව, කුණුවෙමින් තිබූ ඔහුගේ මළසිරුර ඇඳ මත වැටී තිබුණේය. දුර්ගන්ධයට අනුව එය අවම වශයෙන් දින 6ක් වත් පැරණි මළසිරුරක් විය යුතුය. ඔහුගේ නාසයෙන් වැගිරී කැටි ගැසී තිබූ ලේ දුටු ජෙරල්ඩීන්, ඈ හා සිටි ඔවුන්ගේ සත් හැවිරිදි දරුවාව පහත මාලයට පිටත් කළාය.

ඇයගේ පළමු දුර ඇමතුම ලැබුණේ පොලිසියට නොව පවුලේ නීතිඥයාටය. පසුව ඇය වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළාය. පැමිණි වෛද්‍යවරයාට කිරීමට ඉතිරිව තිබුණේ චාල්ස් “සනී” ලිස්ටන්ගේ මරණය තහවුරු කිරීම පමණි. එහෙත් එය සිදු වුයේ කෙසේ දැයි යන්න අභිරහසක් විය.

මධ්‍යම රාත්‍රියත් ඉක්මයන මොහොතක පොලිස් නිලධාරීන් සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණියේය. නිවසේ ජනේල කිහිපයක් අඩ වශයෙන් විවෘත කොට තිබුණි. දිනපතා බෙදාහරින ලද විවර නොකළ කිරි බෝතල් සහ නොකියවන ලද පුවත්පත් ප්‍රධාන දොර අසල ගොඩ ගැසී තිබිණි. මරණය සිදු වූ දිනය නිර්ණය කරගැනීමට පොලිස් නිලධාරීන් හට උපකාර වූයේ ඒ පුවත්පත් වල දිනයන් ය.

බලහත්කාරයෙන් ඇතුල් වූ බවට කිසිදු සාක්ෂියක් හෝ අවි ආයුධ භාවිතයක් හෝ පොරබැදීමක් ගැන කිසිදු ඉඟියක් බැලු බැල්මට තිබුණේ නැහැ.” සිද්ධිය සම්බන්ධ පර්යේෂණ වලට ගිය සාජන් ඩෙනිස් කැපුටෝ දැනට 69 වන වියෙහි පසුවන පුද්ගලයෙකි. ඒ ඔහුගේ වචනයි.

ඒක ලස්සන නිවසක්. දුර ඇමතුම එනකොටම අපි දැන ගත්තා ඒක ලිස්ටන් පදිංචි වෙලා හිටපු ස්ථානය කියලා.” මතකය අවධි කරමින් ඔහු BBC වෙත කියයි.

©nydailynews.com – සනී ලිස්ටන් ජීවත් වූ නිවස

ලිස්ටන්ගේ කාමරයේ තිබූ ඔහුගේ නිසල දේහය අසල කංසා පැකට්ටුවක් සහ වොඩ්කා වීදුරුවක් විය. තවදුරටත් සොයාබැලීම් සිදු කිරීමේ දී මුළුතැන්ගෙය තුළ තිබී හෙරොයින් ස්වල්පයක්ද හමු විය. එහෙත් සිරින්ජරයක් ඒ අවට නොතිබිණි.

ලිස්ටන්ගේ අප්‍රාණික දෑත් මත ඉදිකටු ප්‍රමාණයේ සිදුරු කිරීම් දැකගැනීමට හැකි විය. ඒවා හෙරොයින් භාවිත කරන්නන්ගේ වර්ගයේ සිදුරු ය. එහෙත් හෙරොයින් භාවිතා කිරීම සඳහා අවශ්‍ය වන සිරින්ජරයක් ඔහුගේ නිවස තුළින් හමු නොවීම පුදුමයකි. ඇතැම් විට පොලිසියට ඇමතුම  එහි රැඳී සිටි ජෙරල්ඩීන් සහ ඇගේ නීතිඥයා විසින් එය සැඟ වූයේ ? ජෙරල්ඩීන්, දුරකතනයෙන් පොලිසියට අමතන්නට පෙර නීතිඥයාට ඇමතීම පුදුමයක් බව කැපුටෝ පවසයි.

එහෙත් ලිස්ටන්ගේ ළඟම මිතුරන් ඇතුළු සමහරුන් පැවසුවේ ලිස්ටන් විසින් හෙරොයින් භාවිතා කිරීමේ හැකියාවක් නොතිබූ බවයි. ඊට හේතුව කටු සහ ඇනීම් වලට ඔහු තුළ තිබූ බිය බවයි ඔවුන් පවසන්නේ.

දොස්තර කටු අනී කියලා ඔහු පරීක්ෂණයකටවත් දොස්තර ළඟට යන්න බිය වුණු කෙනෙක්.”   

ජොනී ටෝකෝ නම් වූ ලිස්ටන්ගේ පුහුණුකරුවෙකු 1989දී පුවත්පතකට එසේ පවසා තිබුණි.

පිහි ඇනුමින් දිවි බේරා ගත් ටෙනිස් ශූරිය – පෙට්‍රා ක්විටෝවා

පසුව ලිස්ටන්ගේ දේහය ගිලන් රථයකට ඇතුල් කරන ලදි. එසේ කිරීමට යාමේ දී ඔහුගේ හැඩිදැඩි සිරුර කිහිපවරක්ම බිම ඇද වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවන් පවසයි. පහර කෑ බොක්සිං ක්‍රීඩකයෙකු බොක්සිං වළල්ලෙන් ඉවත් කිරීමට වඩා මළ සිරුරක් යම් ස්ථානයකින් ඉවත් කිරීම අපහසුය.

කරන ලද මරණ පරීක්ෂණයෙන් ලිස්ටන්ගේ සිරුර තුළ තිබී මෝෆීන් සහ කෝඩීන් නම් සංඝටක හමු විය. එය හෙරොයින් මත්ද්‍රව්‍යය නිසා සිදු වූ බව පැහැදිලි වුනත් ලිස්ටන්ව මරණයට පත්කළ හැකි තරමේ ප්‍රමාණයක් ඔහුගේ සිරුර තුළ නොතිබිණි. පරීක්ෂණයෙන් කියැවුනේ ඔහු පෙනහළු අවහිර වීමක් සහ හෘදය අක්‍රිය වීමක් නිසා මරණයට පත්ව ඇති බවයි.

එහෙත් ක්‍රියාකාරී හෙවිවෙයිට් බොක්සිං ක්‍රීඩකයෙකු හදිසියේ එලෙස මිය යා හැකි ද යන්න පිළිගැනීමට ප්‍රේක්ෂකයන්ට එතරම් පහසු වූයේ නැත. ඔහු පුහුණු වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අතරතුර ද? එය එසේ විය හැකි ද? නැතිනම් ඔහු කලක් සේවය කළ පාතාලය ඔහුව හඹා ආවේ ද?

ලිස්ටන්ගේ චරිතාපදානය රචනා කළ රොබ් ස්ටීන් පවසන්නේ,

ඔහුට හෘදයාබාධයක් තිබුණා කියලා කෙනෙක් විශ්වාස කරයි කියලා මම කවදාවත් හිතන්නේ නෑ.” යනුවෙන්.

ආකැන්සා ජනපදයේ උපන්, උප්පැන්න සහතිකය අහිමි සනී ලිස්ටන් මියයන විට වයස අවුරුදු 40ක පුද්ගලයෙකු බව කියැවුනත් ඇතැම් දෙනා කියා සිටියේ ඔහු 50 වැනි විය ආසන්නයටම පැමිණ සිටින්නට ඇති බවයි.

ඔහුට ලියන්නට සහ කියවන්නට නොහැකි වුණු නිසා කුඩා කාලයේ දී ඔහුව නොසෑහෙන්නට විහිළුවට ලක්වුනා. ඔහු අධ්‍යාපනය අතෑරලා අපරාධ වෙත යොමුවුනා. පොලිසියත් එක්ක ඔහු ගොඩක් කරදර වල පැටලුණා.” ස්ටීන් කියයි.

“1953 දී ඔහු වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වුනා. මෙතන දී තමයි පාතාලය වැඩට බහින්නේ. වෙන කාටවත් සටන් කරන්න බැරි විදිහේ බොක්සිං සටන් පාතාලය විසින් ඔහුට නිර්මාණය කර දුන්නා. බොක්සිං වලදී පාතාලය විසින් කරන ලද විශාල ආයෝජනයක් තමයි ඔහු.” ස්ටීන් තවදුරටත් පැහැදිලි කරයි.

මාරාන්තික සටන් කලාවන්

ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ……..

වෘත්තීය හෙවිවෙයිට් සටන් 50ක ජයෙන් 39ක දී ම ලිස්ටන් ජය ගත්තේ ප්‍රතිවාදියාව සම්පූර්ණයෙන්ම බිම හෙලමිනි (KO). ඔහුට ලැබී තිබුණේ වෘත්තීය පරාජයන් 4ක් පමණි. ලිස්ටන්ගේ වමත් ජැබ් පහර සහ ඔහුගේ මුහුණේ රෞද්‍ර පෙනුම, ඔහුගේ බොක්සිං දිවියේ නොමැකෙන සටහන් ය.

මම සටන් කරපු හැම බොක්සිං ක්‍රීඩකයෙක් අතුරින්ම, ලිස්ටන් තමයි භයානකම.” මොහොමඩ් අලී විසින් ක්‍රීඩා දිවියෙන් සමුගත් පසුව කියා තිබුණි.

ලිස්ටන් සහ මාධ්‍ය අතර තිබූ සබඳතාවය ලිහිල් එකකි. එනම් මාධ්‍යකරුවන් හෝ ප්‍රේක්ෂකයන් ඔහුට එතරම් ළං වූයේ නැත. ඒ ඔහුගේ අපරාධ පිරි අතීතය ගැන තිබූ සැකය මෙන්ම බිය නිසාය. ඔහුව සැලකුණේ සම්පූර්ණයෙන්ම පිටස්තරයෙකු ලෙසයි. ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ෆ්ලොයිඩ් පැටර්සන්ට එරෙහිව 1962 දී හෙවිවෙයිට් කිරුළ ජය ගැනීමෙන් පසුව ඔහු මාධ්‍ය ඉදිරියේ කළ යුතු කතාව පවා තනිව පුහුණු වී තිබුණේය. එහෙත් කිසිවෙකු ඔහුට කතා කරන්නට නොපැමිණියේය. ඔහු නැවත සිය අඳුරු දිවිය තුළ තනි වුණේය. සුදු ඇමරිකානුවන් ඔහුව කළු ජාතිකයෙකු ලෙස පහතට හෙළුවේය. සිවිල් සංවිධාන ඔහුව පහතට හෙලුවේ ඔහුගේ පාතාල සබඳකම් නිසාය.

©thesun.co.uk – “ඔහුගේ කළමනාකරුවන් වුනේ පාතාලයයි.”

ඔහුගේ කළමනාකරුවන් වුනේ පාතාලයයි.” රොබ් ස්ටීන් සිහිකරයි.

වෘත්තීය බොක්සිං දිවියේ මුල් අවධියේ දී ෆ්‍රෑන්ක් පැලෙර්මෝ නම් පාතාල කළමනාකරුවා විසින් පාලනය වූ ලිස්ටන් පසුව ජෝන් විටේල් නම් පාතාල නායකයා යටතට පත්විය. ලිස්ටන් ඔවුන් වෙනුවෙන් මෝටර් රථ පදවන්නෙකු ලෙස සේවය කළේ යැයි පැවසුනත් ඔහුගේ සේවය ඔවුනට අවශ්‍ය වුනේ බලහත්කාරකම් කරන්නෙකු ලෙසය. අත් පා කඩා දමන්නෙකු ලෙසය. බිය ගන්වන්නෙකු ලෙසය.

ලිස්ටන්, නගරයේ අඳුරුම ප්‍රදේශයන් තුළ බොහෝ සබඳකම් තිබූවෙකි. රූපලාවන්‍යාගාරයක හිමිකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නෙකු වූ අර්ල් කේජ්, පාතාල නායකයෙකු වූ මෝ ඩැලිට්ස් යනාදීන් සමඟ මෙන්ම නගරයේ මත්ද්‍රව්‍ය ජාලා ගැන හොඳින් දැන සිටි සහ සබඳතා පැවැත්වූ කෙනෙකු ලෙස ලිස්ටන් ප්‍රසිද්ධව සිටියේය. එබැවින් ඔහුගේ මරණය සහ මේ කරුණු අතර සම්බන්ධයක් ඇතැයි සැකයක් මතුවිය.

කුමන හේතුව නිසා සිදුවුවත්, ලිස්ටන්ගේ ජීවිතය සහ මරණය යන දෙකම පාතාල ක්‍රියාකාරකම් සහ සම්බන්ධකම් වලින් ගැලවිය නොහැකි ස්වභාවය සහ එහි ඇති අඳුරු පැතිකඩ පැහැදිලි කරන සුළුය. පාතාල ඔට්ටු තැබීම්, මත්ද්‍රව්‍ය සහ මුදල් ගැවසෙන බොක්සිං ලොවම කැලඹූ මරණයක් ලෙස ඔහුගේ මරණය බොක්සිං ප්‍රේක්ෂකයන්ගේ මතකයෙහි තිබේ.

දේවල් කොපමණ නරක මට්ටමක තිබුණේ ද යන්න ගැන ඔහුගේ මරණය සංඥා පුවරුවක් වගේ. ඒ වගේම ඔහුගේ මරණයෙන් පස්සේ මොහොමඩ් අලී කරළියට පැමිණීමට තරම් බොක්සිං ක්‍රීඩාව කොතරම් වාසනාවන්ත ද කියන එක ගැනත්.” ලිස්ටන්ගේ චරිතාපදානය රචනා කළ රොබ් ස්ටීන්, වැදගත් පැතිකඩක් විවර කරමින් එසේ කීවේය. කෙසේ වෙතත්, ශක්තිමත් ක්‍රීඩකයෙකුගේ මරණයෙහි අභිරහස ඉන් වසර 50ක් අවසන් වන්නට ආසන්නව තිබියදීත් විසඳී නැත. ඇත්තේ ප්‍රශ්නාර්ථ ගොඩක් පමණි.

තුරුම්පු සැමදා ඔබ සතු නොවන්නේය

මට ඕන දෙයක් කියන්න, මං කරන්නම්.” ඔහු 1953දී වෘත්තීය කොන්ත්‍රාත්තුවට අත්සන් තැබුවේ එසේ කියමිනි. එහෙත් ජීවිතය තුළ වැඩිපුර ඇත්තේ ඕනෑම දෙයක් කිරීමට තරම් ශක්තිය තිබෙන අවස්ථාවන් වලට වඩා කුඩා දෙයක් හෝ කරගැනීමට ශක්තිය නොමැති අවස්ථා ය. ජීවිතය එවැනි අභියෝග පොදියකි. හෙවිවෙයිට් ශූර සනී ලිස්ටන්ට පමණක් නොව, අප කා හටත් එසේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<