පන්දු යැවීමේ සැකය මතුවුනේ මුරලිට විතර ද?

1210
AFP PHOTO

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූයේ මුරලිටම පමණ ද? නැත. ඔහුට අමතරව එදා සිට මේ දක්වා ක්‍රීඩකයින් රැසකට පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල විය. ඒ අතුරෙන් බොහොමයක් ක්‍රීඩකයින් සිය ක්‍රිකට් දිවියට නැවතීමේ තිත තබා ගන්නා විට නොසැලුණු මුරලි ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඔවුන්ගේ චෝදනාවලට සාර්ථකව පිළිතුරු ලබා දුන්හ. ඒ ICC අනුමතය හා අධීක්ෂණය පරිදි විධිමත් හා ක්‍රමානුකූල පරික්ෂණවලට පෙනී සිටිමිනි.

දක්ෂයින්ගේ පාද ස්පර්ශය ලද පරිණත ක්‍රීඩාංගණ

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නම් වොලිබෝල්. ඒත් බහුතරයකගේ ජනප්‍රියම ක්‍රීඩාව මොකද්ද ඇහුවොත් ඒ තමයි ක්‍රිකට්.

එඩ්ගාර් විල්ෂර්

1862 දී සරේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විල්ෂර් වෙත පිටියේ විනිසුරුතුමා විසින් සය වරක් නිපන්දු ලෙස සලකා තීරණ ලබා දෙන ලදි. අනතුරුව උරහිසට ඉහළින් පන්දු යැවීම නීත්‍යනුකූල බව පිළිගත්තේය.

අර්නි ජෝන්ස් සහ ටොම් මැක්බින්

අර්නි ඉතිහාසගත වන්නේ මුල්ම ඕස්ට්‍රේලියානු දමා ගසන්නා ලෙසයි. සිඩ්නි හිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට චෝදනාව එල්ල වුනේ 1897/98 දීය. ඔහුට එම චෝදනාව එල්ල කළේ පිටියේ විනිසුරු ලෙස සිටි විනිසුරු ජිම්. ෆිලිප්ස් විසිනි.

කෙසේ වෙතත් 1896 දී ලෝර්ඩ් XI කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරගයක දී පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඩබ්. ජි. ග්‍රේස්ගේ රැවුල හරහා සිය අත යවමින් යැවූ පන්දුව ක්‍රිකට්  ඉතිහාසයේ තවමත් නොමැකී පවතින සිදුවීම් අතරින් එකක්. එම කණ්ඩායමේම දඟපන්දු යවන්නෙක්ව සිටි ටොම් මැක්බින්ගේ ඉරියව්ව ද සැක සහිත එකක් බව ක්‍රිකට් ඉතිහාසයේ සඳහන් වේ.

ජෝන් විල්ස්

එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගයක දී මොහු, මුල්ම වරට උරහිසට ඉහළින් පන්දු යැවීමේ ක්‍රමය ක්‍රිකට් ලොවට හදුන්වා දෙන ලද පුද්ගලයායි. 1822 වර්ෂයේ දී MCC කණ්ඩායමට එරෙහිව පන්දු යවද්දී විනිසුරුවරුන් මොහුගේ පන්දු යැවීම අජීවී නොඑසේ නම් ඩෙඩ් පන්දු ලෙස සලකා තීරණ ලබා දෙන ලදි. මීට අමතරව සසෙක්ස් කණ්ඩායම නියෝජනය කළ ජේම්ස් බ්‍රෝඩ්බ්‍රිජ්වි, විලියම් ලිලීවයිට් වැනි මේ පන්දු යවන්නන් දෙදෙනා ද ඉහත සඳහන් කළ අයුරින් උරහිසට ඉහළින් පන්දු යවා තහනමට ලක්වූවන්ය.

මුබාරක් අලී

දෙවන ලෝක යුධ සමයේ ක්‍රිකට් තරග පැවැත්වුනේ කලාතුරකිනි. ට්‍රිනිඩෑඩ් සහ බාබඩෝස් කණ්ඩායම් අතර පැවති තරගයක දී ට්‍රිනිඩෑඩ් දඟපන්දු යවන්නෙක්ව කටයුතු කළ අලීගේ වේගවත් ඔෆ්බ්‍රෙක් පන්දු සැක සහිත බවට තීරණය කළ පිටියේ විනිසුරු එම තරගය තුල 30 වතාවක් නිපන්දු බවට ප්‍රකාශය කරන ලද බවට ඉතිහාසයේ දැක්වේ. ඔහු ලෙග්බ්‍රෙක් පන්දු යවද්දීත් එම තීරණවල වෙනසක් නොවූ අතර පිතිකරු ඩෙරෙක් සීලි දැවී ගිය අවස්ථාවේ දී පමණක් එය නිපන්දුවක් නොවීම පිතිකරු පුදුමයට පත්කළ අවස්ථාවක් බවට ද පත්විය.

මධුසුදාන් රෙගේ

මහාරාෂ්ට්‍රා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන මොහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වූ පළමු ඉන්දියානුවයි. 1951/52 සංචාරක MCC කණ්ඩායමට එරෙහිව ලකුණු 133ක් රැස්කරමින් දස්කම් දැක්වූ රෙගේගේ පන්දු යැවීම නිත්‍යානුකුල නොවූ එකක් විය.

බිල් වෝස්

1932/33 බොඩිලයින් තරගාවලියෙන් පසු ඕස්ට්‍රේලියානු එක් විස්තර විචාරකයෙක් බිල් වෝස් පන්දු යවන්නාගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ප්‍රකාශ කරන ලදි. කණ්ඩායමේ සඟයා වෙනුවෙන් පෙනී සිටිමින් එවකට එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් එයට විරෝධය පල කළේය.

ඩග් ඉන්සෝල්

මොහු වර්ෂ 1952 දී පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වූ අතර ඔහු එතැන් සිට ක්‍රිකට් තරග තුල පන්දු නොයැවීමට තීරණය කළේය ඔහු තුන් ඉරියව්වේම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.

ටෝනි ලොක්

1952 දී ඉන්දියාවට එරෙහිව මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක ටෝනි එම තරගාවලියේම පුහුණු තරගයක දී විනිසුරු WF ප්‍රයිස්ගේ චෝදනාවට ලක්වූ තවත් එක ක්‍රීඩකයෙකි. කොදෙව්වන් සමඟ පැවති ටෙස්ට් තරගයක දී නැවතත් එම චෝදනාවටම ලක්වන ටෝනි වෙනුවෙන් ඉදිරිපත් වූ සුපිරි පිතිකරුවෙක් මෙන්ම එවකට එංගලන්ත නායක ලෙන් හටන් එයට එරෙහිව පිටියේ විනිසුරුවරුන් සමඟ යම් වදන් හුවමාරුවක ද නිරත විය.

ඉයන් මෙකිෆ්  

ඉයන් මෙකිෆ්ගේ සැක සහිත වූ ඉරියව්ව වඩාත් ප්‍රසිද්ධ වූ සිදුවීමක් ලෙස නම් කළ හැක. 1958/59 අළු බඳුන තරගාවලියේ දී මොහුගේ පන්දු යැවීම නීත්‍යානුකුල නොවන බවට එංගලන්ත නායක පීටර් මේ ප්‍රකාශ කරන ලදි. ඔහුගේ පන්දු යැවීම දැක ඉයන් පීබ්ල්ස් නැමැත්තෙක් පැවසුවේ ඔහුගේ පන්දු යැවීම ක්‍රිකට් පුහුණුකරුවෙක් කුඩා සිසුවෙකුට පන්දුව විසිකරන්නක් මෙන් බවටයි. විවිධ හැල හැප්පීම් මත මෙකිෆ්ට තවත් ටෙස්ට් තරග කිහිපයකට මුහුණ දීමට හැකි වුනත්, 1963 දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි තරගයේ ඔහු යැවූ මුල්ම ඕවරයේ දී ඔහුගේ පන්දු යැවීම නිත්‍යානුකුල නොවන බවට පිටියේ විනිසුරු ලබා දුන් තීරණයත් සමඟ එය ඔහුගේ අවසාන පන්දු වාරය සහ අවසාන ටෙස්ට් තරගය බවට ද පත්විය.

ජෙෆ් ග්රිෆින්

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන ග්රිෆින් වර්ෂ 1960 ලෝඩ්ස් පිටියේ දී MCC කණ්ඩායමට එරෙහිව පවත්වන ලද තරගයක දී පිටියේ තරග විනිසුරුවරුන් දෙදෙනාම ඔහුගේ පන්දු යැවීම නිත්‍යානුකුල නොවන නිසා එම පන්දු නිපන්දු බවට තීරණ ලබා දෙන ලදි. නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී අවස්ථා 8ක දී නිපන්දු බවට එම තරගය විනිශ්චය කළ විනිසුරුවරුන් විසින් ප්‍රකාශ කරන ලදි. අනතුරුව ග්රිෆින් ඔහුගේ ඉරියව්ව ඇල්ෆ් ගවර් ක්‍රිකට් පුහුණු පාසලෙන් නිවැරදි කර ගෙන එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ දී තරග වැදුණු අතර එහි දී ද 11 වරක් නිපන්දු බවට විනිසුරු ෆ්‍රෑන්ක් ලී හට තීරණ ලබා දීමට සිදු විය.

ඩේවිඩ් ගවර්

1986 නවසීලන්තයට එරෙහිව ට්‍රෙන්ට්බ්‍රිජ් තරගයේ අවසානම පන්දුවේ දී හිතාමතා පන්දුව දමා ගැසීමක් සිදු කරන ලදි. මේ සිදුවීම නිසා ඔහු ඉතිහාසගත වුනේ එංගලන්තයේ ටෙස්ට් තරගයක දී පන්දුව දමා ගසන බවට චෝදනා ලැබූ මුල්ම එංගලන්ත ක්‍රීඩකයා ලෙසයි.

කර්ට්ලි ඇම්බ්‍රෝස්

වේගපන්දුවේ විශිෂ්ටයෙක් වන ඇම්බ්‍රෝස් හට ද පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක් වීමට සිදු විය. ඔහුගේ වාසනාවට එය සිදු වුනේ පළමු පෙළ තරගයක් ලෙස පැවැත්වූ ඒ ලීව්ර්ඩ් දූපත් සහ ට්‍රිනිඩෑඩ් පිල අතර තරගයක දීය.

හෙන්රි ඔලොන්ගා

වර්ෂ 1995 හරාරේ හිදී පාකිස්ථානයට එරෙහිව පවත්වන ලද තරගයක දී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ ඔලොන්ගා වාර්තා පොත් අතරට යන්නේ මුල්ම කළු ජාතික සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

ඔහු එම තරගයේ දී සයිඩ් අන්වර්ගේ කඩුල්ල දවා ගන්නා අතර ඉයන් රොබින්සන් විනිසුරුගෙන් පන්දුව දමා ගසන බවට චෝදනාවට ලක්විය. එම ටෙස්ට් තරගය ජය ගන්නා සිම්බාබ්වේ කණ්ඩායම ඉතිහාසගත වූයේ ඔවුන්ගේ පළමු ටෙස්ට් තරග ජය ගැනීම ලෙසටයි. ඩෙනිස් ලිලීගේ මඟ පෙන්වීම යටතේ පන්දු යැවීමේ ඉරියව්වේ සුළු වෙනස්කමක් කරමින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙතට පැමිණෙන්නට තරම් වාසනාවන්ත වීමට  ඔලොන්ගාට හැකි විය.

.

මුත්තයියා මුරලිදරන්

මේ දිනවල මුරලි හට සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම යළිත් ඉහළට නැගෙන්නේ පසු ගිය දා ස්‌ටීව් වෝගේ අදහස් දැක්වීමත් සමඟිනි. මීට දශක දෙකකට පෙර එනම් 1995 දී බොක්‌සිං දින ටෙස්‌ට්‌ තරගයේ දී මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඕස්ට්‍රේලියානු විනිසුරුවෙකු වන ඩැරල් හෙයා සංඥා කළේ මුරලිව අගෞරවයට පත් කිරීමට බව හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්‌ටීව් වෝ එහි දී සඳහන් කළේය.

”මම හිතන්නෙ ක්‍රීඩකයකුට එසේ නොවිය යුතුයි. මුරලිට වුන දේ ටිකක්‌ අසාධාරණයි. ඔහුව අගෞරවයට පත්කරන්න තමයි ඩැරල් හෙයාර් එහෙම කරන්න ඇත්තෙ. මුරලිගෙ පන්දු යැවීමේ යම් සැකයක් හෝ විශේෂත්වයක්‌ තිබුණ නම් එය තරගයට පෙර විසඳා ගන්න තිබුණා.” යනුවෙන් ස්‌ටීව් වෝ ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සමඟින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පවසන ලදි.

මෙයට පාදක වූ සිදු වීම ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් වැදගත් සංධිස්ථානයක් සහ වඩාත් කතාබහට ලක්වූ පන්දුව දමා ගැසීමේ චෝදනාවයි. 1995/96 ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වූ දෙවන ටෙස්ට් තරගයේ දී විනිසුරු ඩැරල් හෙයාර් විසින් මුරලි පන්දුව දමා ගසන බවට නිපන්දුවකින් පෙන්වා දුන්නා. ඔහු ඕවර 3ක දී 7 වරක් එය සිදු කිරීම කැපී පෙණුනි. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාව සිටි අර්ජුන රණතුංග විනිසුරු හෙයාර් සිටින අන්තයෙන් මුරලි කැඳවීම වළක්වා ස්ටීව් ඩන් විනිසුරු අන්තයෙන් ඔහුට පන්දු යැවීමට අවස්ථාව ලබා දුන්නේය. මේ සිදුවීමට දින 10කට පසුත් රොස් එමර්සන් ද ඔහු පන්දුව දමා ගසන බවට චෝදනාවක් එල්ල කළා.

පසුව නායක අර්ජුන සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය මුරලි වෙනුවෙන් පෙනී සිටින ලදි. බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ දී සිදු කළ පරීක්ෂණයෙන් අනතුරුව මුරලි එම චෝදනා සියල්ලෙන්ම නිදහස් වූ අතර එය ICC විසින් තහවුරු කරන ලදි.

1998/99 ඇඩ්ලේඩ් හිදී එංගලන්තයට එරෙහි තරගයේ දී රොස් එමර්සන් නැවතත් ක්‍රියාත්මක වෙමින් ඔහු පන්දුව දමා ගසන බවට ප්‍රකාශ කළේය. එම සිදුවීමෙන් පසු නැවතත් විවිධ පරීක්ෂණ සඳහා යොමු වන්නට මුරලිට සිදු වූ අතර ඒ සියලු චෝදනාවලින් නිදහස් වීමට ඔහුට හැකි විය. අනතුරුව අංශක 15, දූස්රා පන්දුවට අදාළ නීති සම්පාදනය සිදු වුනේ මෙම සිදුවීම් මාලාවෙන් පසුවයි.

ෂේන් ශිලින්ග්ෆෝර්ඩ්

2010 වසරේ දී මුල්ම වරට පන්දුව දමාගසන බවට ඔහුට චෝදනා එල්ල වූ අතර ඔහු ඉරියව්වේ සුලු වෙනස්කම් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ඉදිරිපත් විය. 2013 නොවැම්බර් මස දී ඔහුට නැවතත් එම චෝදනාවටම ලක්වෙන්නට සිදුවීමෙන් පසු පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරන තෙක් ඔහුට තරග තහනමක් ලබා දෙන්නට ICC තීරණය කළේය. එම වසරේ දී ම දෙසැම්බර් මස මාලන් සැමුවෙල්ස් හටත් ඉහත චෝදනාව එල්ල වීමෙන් ඔහුටත් පන්දු යැවීම තහනම් විය.

සචිත්‍ර සේනානායක, ප්‍රෝස්පර් උට්සෙයා, කේන් විලියම්සන්, සොහාග් ගාසි, සයිඩ් අජ්මාල්, අල් අමීන් හුසේන්, මොහොමඩ් හෆිස් යන ක්‍රීඩකයින් ද පන්දුව දමා ගසන බවට සහ නිත්‍යානුකුල නොවන පන්දු යැවීම් කළ බවට චෝදනාවට ලක් වූවන්ය.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<